කාන්තාවක් විඳින එක් වේදනාවක්….

ගොඩක් කාන්තාවන්ට ජීවිතයේ විඳීමට සිදු වන වේදනාවන්ගෙන් එක් වේදනාවක් වන්නේ ඔසප් වේදනාවයි. එනම්, එහි දැඩි වේදනාව ඉවසාගත නොහැකි වීමයි. සියයට 90ක් දෙනා මේ වේදනාව විඳිනවා. සියයට 10ක් තරම් පොඩි ප්‍රතිශතයකට මේ වේදනාව නොදැනෙන්න පුළුවන්. ඔබත් මෙම සියයට 90 සිටින කාන්තාවකගේ සැමියෙක්, පියෙක්, දරුවෙක්, සහෝදරයෙක් හෝ ආදරවන්තයෙක් ද? එසේ නම්, ඔබටයි මේ ලිපිය.

ගැහැනු කෙනකු වෙලා ඉපදෙන්නේ අවාසනාවන්තකමකට නම් නෙමෙයි. ඒ ස්වභාවධර්මයා විසින් අපව ගැහැනු කෙනකු කරන නිසා ය. පිරිමි කෙනකුට ජීවිතේ දෙන්නෙත් ගැහැනු ආත්මයක්. ඒ තරම්ම ගැහැනිය ඉතා උතුම් මවු පදවිය දැරීමට සුදුසුකම් ලබනවා. ගැහැනියක වී උපදින අපට  මසකට වරක් මේ වේදනාව විඳින්න වෙනවා. ඔසප් වීම නොව ඒ වේදනාව විඳීම එක් කරුමයක් විය හැකි ය. ඒත්, මතක තියා ගත යුතුම කරුණ වන්නේ මේ වේදනාව විඳින හැම ගැහැනියකම දිනක ආදරණීය මවක් වනවා. ගැහැනු කොයි කවුරුත් මේ වේදනාව නොඅඩුවම දන්නවා.. ඒත් පිරිමි අය මේක අහලා ඇති.. නමුත් අහලා තිබුණත්, මේ වේදනාව හරිහැටි නොදත් පිරිමි ගැහැනුන්ගේ මේ දුක හරිහැටි තේරුම් නොගනිති. මේ ලිපිය කියන්න යන්නේ ඒ වේදනාව තේරුම් නොගන්නා පිරිමි පාර්ශ්වයටයි.

“ආදරණීය පුතේ… ඔබේ මවට ඔබ ගොඩක් ආදරේ ඇති. මව මේ ඔසප් වේදනාව ඉවසා දරාගෙන ඔබ වෙනුවෙන් කාලය කැප කරන්න ඇති. මක් නිසා ද යත්, මවක් ප්‍රසූත වේදනාව වින්දා ය කියන්නේ ම ඔසප් වේදනාව ඇයට මහ ලොකු වේදනාවක් නොවේ. ඒ තරමටම ඇය ශක්තිමත් ය. ප්‍රසූත වේදනාව දන්නේ ඒ වේදනාව විඳි අයකු ම පමණි. ඒ වගේමයි ඔසප් වේදනාව, ඒ වේදනාව විඳින කෙනාට පමණයි, එහි දුක තේරෙන්නේ. කවදාවත්ම මවක් නොවුණු කෙනකුගෙන් අහන්න එපා, ඇයට කියන්න යන්න එපා. ඉතිං අම්මා මේ වේදනාව විඳිනවා දැකලා නෑ. ඇයි කෙල්ලෝ විතරක් මේ වේදනාව දැනෙනවා කියලා කෑ ගහන්නේ…? කියලා අහන්න යන්න එපා.”‍ කෙල්ලක ප්‍රසූත වේදනාව විඳින තාක් මේ වේදනාව ඇයට මහත් දුකකි..

ඔබ පාසල් යන කෙනකු නම්, සම වයසේ ගැහැනු ළමයින් මේ වේදනාව විඳින කොට, ගවුමේ ලේ පැල්ලමක් තියෙනවා දැක්කොත්, ඇයව පිළිකුල් කරන්න එපා, ඇයව උපහාසයට ලක් කරන්න එපා… ඇයට ආදරණීයව සලකන්න. එයයි විය යුත්තේ.

ඔබ සැමියෙක් නම්, තම බිරිඳගේ මේ වේදනාව දැනගන්න. ඇයව පිළිකුල් කරන්න එපා. මේ දවසට ගෙදර වැඩ ඇයට කරන්නට දෙන්න එපා. ඔබ කෙතරම් මහන්සි වී පැමිණියත්, ඒ දවසට ඇය පිළිබඳව විමසිලිමත් වන්න. එම දවසට ඇයට ලිංගික කාර්යයන්වලට අඬනොගසන්න.. විවේකීව ඇයට ඉන්නට දෙන්න. රෑ නින්දට ගිය පසු බිරිඳ තමා සමීපයට ගෙන ආදරයෙන් ඇය අස්වසන්න. එවිට ඇයට ඒ වේදනාව නොදැනෙන සේ කාලය ගත කළ හැකි ය. එයයි ස්වාමිපුරුෂයෙක් කළ යුත්තේ.

ඔබ සහෝදරයෙක් නම්, ඔබගේ සහෝදරියගේ වේදනාව දැනගන්න. මේ දවසට ඇයගේ අංගචලනවල, කතාබහේ වෙනසක් ඇතිවේවි. ඒ දේවලින් දැනගන්න. ඒ දවසට ඇයගේ කටයුතුවලට උදවු වෙන්න වගබලා ගන්න. තේ එකක් රස්නෙට හදලා දෙන්න. රස නැති වුණාට කමක් නෑ. බත් කවන්න ඕනෑ නෑ, කවන්නද කියලා අහන්න. ඒ දේවල්වලින් ඇය සතුටු වේවි. එයයි සහෝදරයකුගෙන් විය යුත්තේ.

ඔබ පියකු නම්, තම බිරිඳගේ මෙන් ම දියණිවරුන්ගේ ද මේ වේදනාව හඳුනා ගන්න. බිරිඳට මේ දවසට වැඩ කරන්න දෙන්න එපා. වැඩ කළත්, ඇයගේ වැඩවලට උදවු වෙන්න. දියණියකට මේ වේදනාව දැනෙන වේලාවල දී ඇයව ශක්තිමත් කරන්න. ඔබට කතාවක් වැනි දේ පැවසිය හැකි ය. ඒ වෙලාවට උණුසුම් තේ එකක් හදලා දෙන්න පුළුවන්.. සනීපාරක්ෂක දේවල් ළඟ තියනව ද කියලා හොයලා බලන්න පුළුවන්. ඒ දේවල්ම තම බිරිඳ වෙනුවෙනුත් කළ හැකි යි.

ඔබ ආදරවන්තයකු නම්, ඉතා විශේෂයි. මොක ද? තමන් ආදරේ කරන ආදරවන්තිය පිළිබඳ දැඩි අවධානයක් දැක්විය යුතු ය. මක් නිසා ද යත්,  දිනක ඇය විවාහ කර ගන්නා බැවිනි. ඇ⁣යගේ ඔසප් වේදනාව පිළිබඳව⁣ දෙදෙනා ආදරය කරන්න පටන්ගෙන අඩුම මාස දෙකක් ඇතුළත එය පවසනවා නියත ය. එබැවින්, ඇයගේ එම වේදනාව දවසට ඔබ ඇයට අස්වැසිල්ලක් වන්න. ඔබට ළඟ සිටින්නට නොහැකි වේවි. ඒත්, ඒ දවසට ආදරයෙන් කතා කරන්න. ඇය ඔසප් වූ වග ඔබට පැවසූ අවස්ථාවේ සිට ම එය නිම වන තෙක්ම ඇය පිළිබඳව සොයාබලන්න. එදවසට ඇය චූටි දේටත් තරහ ගනීවි. ඒත්, ඇයට බනින්නට නොගොස් ඇයව සනසන්න. එයයි ආදරවන්තයෙක් විදියට කළ යුතුම දේ.

පවුල් උපදේශනයේ දී වැඩි වශයෙන් ම කතාබහට ලක් වන්නේ සැමියා හෝ ආදරවන්තයා හෝ තමා⁣ගේ බිරිඳගේ හෝ ආදරවන්තියගේ හෝ මේ දවස පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන බවයි. එසේ නොවන්නට පිරිමි පාර්ශ්වය වගබලා ගත යුතු ය. මක් නිසා ද කියනවා නම්, තමන්ගේ බිරිඳ, ආදරවන්තිය දවසක තමන්ගේ ලෙයින් දරුවකු බිහි කරන නිසාවෙනි. එබැවින්, ඇයට ගරු කළ යුතු ය. මොක ද? මසකට වරක් නොකඩවා ඔසප් වන කාන්තාවන්ට කිසිදු කරදරයක් නොමැතිව දරුවකු බිහි කිරීමට වාසනාව ඇත. ඔබ දන්නවා ද? මේ ඔසප් වීම සම්බන්ධයෙන් බොහෝ ගැටලු කාන්තාවන්ට ඇති වේ. ඔවුහු බො⁣හෝ දුක්ගැහැට විඳිති. ඉතින්, ඔබ මොහොතක් සිතන්න ගැහැනියක් කොතරම් වේදනාවක් දරාගන්නවද කියලා..

ඔබ දන්නවා ද? මේ වේදනාව සමහර කාන්තාවන්ට දවස් තුනක්, හතරක්, පහක් හෝ හයක් පුරාවට  ඇති වේ. එය කාන්තාව⁣කගෙන් කාන්තාවකට වෙනස් ය. සමහර අයට පළමු දිනය අවසන් වන තෙක් වේදනාව ඇති වේ. පමණක් කාන්තාවන්ට පළමු දිනයේ පැය තුනක් පමණක් ඇති වේ. ඒ අතර මසකට වරක් සිදු නොවන කාන්තාවෝ ද සිටිති. මාස තුනක් එකදිගට ඔසප් නොවී සිට මාසයක් පුරාවට ඔසප් වීම සිදු  වන කාන්තාවෝ ද සිටිති. ඔවුන් හට නිසි වෛද්‍ය උපදෙස් ලබා දීමට ඔබ කාරුණික විය යුතු ය. ඔබ දන්නවා ද? මේ දවසට කාන්තාවන්ට නිසි නින්දක් නැත. කෑම අප්‍රිය වේ. යටිබඩ වේදනාව, අත පය වේදනාව, දැඩි කොන්ද කැක්කුම, වමනය, හිසේ කැක්කුම යනාදිය මෙන්ම තරහ යාම ද සිදු වේ. ඒ වාගේම අධිකව රුධිරය වහනය වීම, එම ගන්ධය උහුලාගත නොහැකි වීම, නිතර වැසිකිළියට යාමට සිදු වීම යනාදිය දැඩිව දැනෙන වේදනා සමඟ කෙලෙස විඳදරා ගනීවි ද…?

ඔබ මොහොතක් සිතන්න.. මේ වේදනා ඇය කෙසේ දරා ගන්නවා ඇති ද…? පිරිමි ඔබ වාසනාවන්තයි, මොක ද? මේ වේදනාව ඔබ නොවිඳින බැවිනි. එහෙත් ඔබ තමන්ගේ බිරිඳ, ආදරවන්තිය, සහෝදරිය, දුව, සම වයසේ මිතුරිය පිළිබඳව මොහොතක් සිතන්න. ඇයට මෙවන් අවස්ථාවක දී අවැසි වන්නේ ඇය තේරුම් ගැනීම ය. නැතිව තමන්ගේ වේදනාව පිරිමි ඔබට ගන්නට කියා නොවේ.

කෙනෙක් කියන්නට පුළුවන් මෙහෙම : “ඔයා ඕක ප්‍රශ්නයක් කර ගත්තට හැම කෙල්ලකුටම වෙන ස්වාභාවික දෙයක්… ඕක එච්චර දෙයක් නෙමේ… ඕක හැදුණ ම අමාරු වෙනවා තමයි, ඔය දවස් ටිකට ඕක විඳදරා ගන්න පුළුවන් වෙන්න ඕනෑ…”‍

ඒක ඇත්ත තමයි. කෙල්ලකට ඒ දේ  කියන්න ඕනෑ නෑ.. ඒ කෙල්ල දන්නවා තමන්ට උරුම ඒ වේදනාව විඳදරා ගත යුතුයි කියලා. ඒත්, ඒ දවසට හැම කාන්තාවක්ම ඉල්ලන්නේ හිත නිවන සැනසීමක් නොවෙයි ද…?‍ තමන්ටත් අම්මා කෙනෙක් ඉන්නවා නේද…? “මගේ අම්මත් මේ වේදනාව විඳලා ඇති දෙයියනේ… මගේ අම්මා කොච්චර පව් ද…?”‍ අම්මාට පණ වගේ ආදරේ කරන කෙනෙක් මේ විදියට හිතනවා නම් අන්න ඒ පුද්ගලයාට දවසක තමන්ගේ බිරිඳ⁣ගේ හෝ ආදරවන්තියගේ හෝ මේ වේදනාව දැනේවි.

ආදරණීය මවුවරුන් දැනගන්න ඕනෑ පිරිමි පුතෙක් ආදරයෙන් හදනවා වාගේම මේ දේත් කියලා දෙන්න. හැම ගැහැනියකටම තමන්ගේ මවට මෙන් ම ගරු කළ යුතු බවත්, මේ වේදනාව අම්මා විඳලා තියෙන නිසා හැම ගැහැනියකටම මෙවන් දවසට ආදරයෙන් සැලැකිය යුතු බවත් කියා දෙන්න. එවිට හැම පිරිමි කෙනෙක්ම ගැහැනුන් ගැන මීට වඩා අවධානය යොමු කරනු ඇත..

ආදරණීය ඔබට ආයාචනා කරන්නෙමි.

හැම ගැහැනියකගේ ම ජීවිතය දුඃඛාන්තයක්… ඔවුන් ජීවිතයේ කාලයක් පුරාවට එක එක අය යටතේ ජීවත් වෙනවා, අභියෝගවලට මුහුණ දෙනවා, හැලහැප්පීම්වලට ලක්වෙනවා. කාලයක් දුවක, තව කාලයක් බිරිඳක, තවත් කාලයක් මවක විදිහට. ඒත්, ඒ හැම කාලෙම ඔවුනට වේදනාවලට මුහුණ දීමට වන අවස්ථා එමට ය. ගැහැනියක වෙලා ඉපදීමම දුකක්. හැම මාසයකම හැම ගැහැනියක් ම ජීවිතේ අප්‍රසන්න, වේදනාබර දවස් කිහිපයක් ගත කරනවා. පිරිමි අයට ජීවිතයේ එතරම් වේදනාවක් දරා ගන්න බෑ. ඉතින්, පිරිමි ඔබට පුළුවන් ඔවුන් වෙනුවෙන් පොඩි කැප කිරීමක් කරන්න. ඔවුන්ට ඕනෑ ඒ අය වෙනුවෙන් පොඩි ආදරණීය පහසුවක්, සොයාබැලීමක්. ඒ වේදනාව අමතක වෙන්න පොඩි කතාබහක් කරන්න. ඇය සමඟ ආදරයෙන් බැඳෙන්න..!

ඩී. ජී. එම්. එස්. සෙනෙවිරත්න
මනෝවිද්‍යාව විශේෂවේදී
කැලණිය විශ්වවිද්‍යාලය

 

Leave A Reply

Your email address will not be published.

16 − 11 =