බබා හිට්ලර් කරන වැඩවල හැටියට හූවකින්, දෙකකින් ගැලවෙන්නට හැකිද ?

බබා හිට්ලර් කරන වැඩවල හැටියට හූවකින්, දෙකකින් ගැලවෙන්නට හැකි යැයි හිතන්නට බැරි ය. බබා හිට්ලර්ට හෝ ඒ බබාගේ ආවතේව කරන්නට සිටින ඇත්තන්ට මේ හූවලින් ගැලවෙන්නට අවශ්‍ය නම් කළ යුත්තේ, හරියට වැඩක් කරන්නට උත්සාහ කරන එක ය. ‘උත්සාහ කරන එක ය’ යනුවෙන් ලිව්වේ, පහුගිය අවුරුදු දෙකේ දී තමන්ට කරන්නට බැරි බව ඔවුන් පෙන්වා ඇති නිසා ය.

බබා හිට්ලර් යනුවෙන් හැඳින්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ය. “මට ඕනෙ ජාතියකින් වැඩ කරන්න පුළුවන්” යනුවෙන් කියමින්, විවේචන යටපත් කර ගැනීමේ උත්සාහයක ගෝඨාභය රාජපක්ෂ යෙදී සිටී. ඔහු කියන ඒ ජාතිය කුමක් ද යන්න බහුතරය දනී. බලය ගන්නට සහ බලය පවත්වා ගන්නට ඕනෑම දෙයක් කරන්නට සූදානම් අයවලුන් ය, ඒ මහත්තුරුන්.

ඒත් දැන් වැඩේ ඇත්තේ අවුල් වී ය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට, එහෙම නැත්නම් දෙවැන්නකු විදිහට වැඩ කරමින්, අයියාගේ පවර්ස් පෙන්වා නාපු වැඩවලින් බේරුණාට දැන් තත්ත්වය වෙනස් ය. දැන් ගෝඨාභය කියන්නේ රටේ නායකයා ය. නායකයකුට මොනවා නැතත්, අවශ්‍ය වෙලාවට නිවැරැදි තීන්දුව ගැනීමේ හැකියාව තිබිය යුතු ය. මම මෙහෙමයි, මම මස් කන්නෙ නෑ, ආදී කතන්දර එතැන දී වැදගත් නැත.

සාපේක්ෂව තර්ක කළ හැකි වුවත්, මේ කතාවට අදාළ උදාහරණයක් මේ විදිහට කියන්නට හැකිය. එය තර්කවලට යටත් ප්‍රකට කතාවකි. කතාවේ හැටියටම මෙසේ දැක්විය හැකිය.

එකම කාලයක ප්‍රබල රටවල් තුනක් පාලනය කළ නායකයෝ තිදෙනෙකි. මේ තිදෙනා X” Y” Z ලෙස හඳුන්වමු.
X – මත්පැනට ඇබ්බැහිවූවෙක්. ස්ත්‍රී ලෝලියෙක්. සූදු කෙළින්නෙක්. කරන්න ඕනෙ හැමදේම කරනවා…

Y – දවල් වෙනකම් හොඳට නිඳාගන්නවා. නැඟිටපු ගමන් බියර් එකක් බොනවා. ඞ තරම්ම නැතත්, ඒ පුරුදු සෑහෙන්න තියෙනවා.
Z – වෙජිටේරියන්. සත්තුන්ට හරිම ආදරෙයි. වැඩ ඉතාම පිළිවෙළයි. ඒ පිළිවෙළට අනෙක් අයත් ඉන්න ඕනෙ වගේම ඉලක්ක හඹාගෙන යන්න, සැලැසුම් හදන්න හුඟක් මහන්සි වෙනවා. මැරෙනකම් ම හිටියෙ තමන්ගෙ නීත්‍යනුකූල බිරිඳ එක්ක.

මේ කවුද?

X – දෙවැනි ලෝක යුද සමයේ ඇමෙරිකාව පාලනය කළ, ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්

Y – දෙවැනි ලෝක යුද සමයේ බි්‍රතාන්‍යය පාලනය කළ, අගමැති වින්ස්ටන්ට් චර්චිල්

Z – දෙවැනි ලෝක යුද සමයේ ජර්මනිය පාලනය කළ, ඇඩොල්ෆ් හිට්ලර්

ඒ කියන්නේ අවශ්‍ය තීරණ හරියට ගැනීම මිස, වෙනත් කතන්දර අදාළ නැති බව ය. වෙනත් කතන්දර කියමින් අවශ්‍ය වැඩේ කරන්නට අසමත් වූ විට, ‘හූ’ අහන්නට සිදු වේ. හූවෙන් නැවතුණොත් ලොකු දෙයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෝට්ටේ, උපෝසථාගාරය විවෘත කිරීමේ අවස්ථාවේ දී පැවසුවේ, තමන්ට එල්ල වන විවේචන සාධාරණ විය යුතු බවයි. ඒවාට තමන් බාධා නොකරන බවක් ද ඔහු ප්‍රසිද්ධියේ කීය. එහෙත් පසුගිය කාලයේ වැඩ සිද්ධ වූයේ එහෙම නොවේ. කොරෝනා මර්දන වැඩසටහන හමුදාව මඟින් පමණක් කළ බව පෙන්වන්නට ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය විය. ඒ සඳහා මාධ්‍ය ඇතුළු සියලු බලය යෙදවිණි. වාහන සිය ගණනක් යෙදවිණි. සෞඛ්‍ය අංශ අසීරුවෙන් කළ කටයුතු සඟවනු ලැබිණි.

පොහොර වැඩේ ද එසේ ම ය. මේ හමුදාවේ වරදක් නොවේ. හමුදාවට කරන්නට පුළුවන් වැඩ වෙනුවට, හමුදාව සියල්ලට බෙහෙත කරගන්නට යෑමේ ඵලවිපාක ය. හමුදා මානසිකත්වයේ සිටිමින්, සිවිල් කටයුතු කරන්නට යෑමේ ඵලවිපාක ය. හමුදාවෙන් පැන ගියාය යන අවලාදයෙන් ගැලවෙන්නට යොදන මේ උපක්‍රම සාර්ථක ඒවා නොවේ.

දැන් මේ සියල්ල මධ්‍යයේ අලුතින්ම සිදු වී ඇත්තේ හූ කියන්නන් පස්සේ පැන්නීම ය. ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාල මාධ්‍යයෙන් හෝ වෙනත් මාධ්‍යයකින් හෝ ප්‍රකාශ නිකුත් කිරීම මෙන්ම හුවමාරු කිරීම සිදු කළ නොහැකි යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසා තිබිණි. කිසියම් අයෙකු එසේ කළහොත් එම පුද්ගලයාට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාව පොලිසියට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ.

ජනාධිපතිවරයා මිරිහාන ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියදී ඔහුට අපහාස වන අයුරින් පිරිසක් හූ කීමේ සිදුවීමට අදාළ දෑ සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ය, නිහාල් තල්දූව මේ අදහස් පළකර තිබුණේ. මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේ සිවිල් ක්‍රියාකාරිනියක වන ආශා දිල්රුක්ෂි පෙරේරාගෙන් ය.

මේ සිදුවීමට මුහුණ පෑ කාන්තාව සඳහන් කළේ සමාජ මාධ්‍ය ජාලයක් හරහා හුවමාරු වූ ඡායාරූප අඩංගු සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අපරාධකාරියක් අත්අඩංගුවට ගන්නා ආකාරයෙන් තමන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. එහිදී පොලිස් නිලධාරීන් තමන්ගේ ජංගම දුරකථනයේ දත්ත ද ලබාගෙන මෙවැනි ක්‍රියා නැවත සිදු නොකරන ලෙස අවවාද කළ බව ද ඇය මාධ්‍යයට සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ තිෂ්‍ය වේරගොඩ පවසන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවයි. වාහලතන්ත්‍රී එදිරිව පොලිස්පති (FC/FR /768/2009) නඩුවේ තීන්දුව උපුටා දක්වමින් නීතිඥවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය නායකයන්ව හාස්‍යයට, උපහාසයට හෝ අපහාසයට ලක්කිරීම අපරාධමය වරදක් නොවන බවයි. එසේම මෙවැනි හේතුවක් පාදක කරගෙන යම් කිසි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයේ දත්ත පිටපත් කරගැනීමේ හැකියාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැති බව ද ඔහු අවධාරණය කර සිටී.

කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමත්, ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ කරුණුත් සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් එල්ලවීමත් සමග කැබිනට් ප්‍රකාශක, ඇමැති ඩලස් අලහප්පෙරුම කිව්වේ ජනාධිපතිවරයා විවේචනය කිරීමට නොහැකි බවට පොලිස් නිලධාරියෙකු පවසා ඇත්නම් එය වැරදි ප්‍රකාශක් බවයි. ඒ පසුගිය 31 දා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය. විවේචන තහනම් කිරීමක් සම්බන්ධව කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයාගේ හෝ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී නැති බව ද ඇමැතිවරයා පවසා තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ මාධ්‍යයට පවසා තිබුණේ සාපරාධී අපහාස නීතිය ඉවත් කළ පමණින් මිනිසුන්ට අපහාස කළ නොහැකි බවයි. එවැනි සිද්ධියක් වී ඇත්නම් චේතනාව සහ ක්‍රියාව පිළිබඳ සලකා බැලිය යුතු බව ද ප්‍රකාශ කරන නීතිඥ ලොකුගේ, අපරාධමය වරදක් වී ඇත්නම් චේතනාවක් සහ ක්‍රියාවක් තිබිය යුතු බව ද අවධාරණ කරයි.

පත්වන රාජ්‍ය නායකයා ආරක්ෂා කිරීම පොලීසියේ වගකීමක් යැයි පවසන නීතිඥවරයා, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමටත්, නීතිය කඩවීමක් වී ඇත්දැයි විමර්ශනය කිරීමටත් පොලිසියට කටයුතු කළ හැකි බව ද සඳහන් කරයි. ඔහු ප්‍රකාශ කරන්නේ හූ කීමේ ස්වභාවය අනුව නීතිමය අපහාසයක් වේ නම්, අපහාසයක් ලෙස සිවිල් නීතිය අනුව කටයුතු කිරීමට හැකි බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු ඇමැතිවරයෙකු වන නීතිඥ අජිත් පී. පෙරේරා පවසන්නේ මෙසේය.
‘හූ කීම අපේ සංකෘතියේ කොටසක්. හූ කියන එක ඇතැම් වෙලාවට සතුටටත්, ඇතැම් වෙලාවට විරෝධය ප්‍රකාශ කරන්නත්, අසතුට ප්‍රකාශ කරන්නත් භාවිත කරන සන්නිවේදන උපක්‍රමයක්. ඒ නිසා හූ කිව්වා කියලා, ජනාධිපතිට හූ කිව්වා කියලා, අගමැතිට හූ කිව්වා කියලා, මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට හූ කිව්වා කියලා, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ අත්අඩංගුවට ගන්න බැහැ.‘

ප්‍රචණ්ඩත්වයෙන් රජයට එරෙහිව කටයුතු කළහොත් පමණක් 120 වගන්තිය අදාළ කර ගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
‘120 වගන්තියේම කියලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන අයට මේ වගන්තිය අදාළ කරගන්න බැහැ කියලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියේ තිබෙන සාරයට පටහැනියි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලින් කරලා තියෙන ආර්ථ විවරණවලට පටහැනියි. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවට පටහැනියි‘ යනුවෙන් ද ඔහු සඳහන් කරයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියේ සඳහන් වන්නේ ‘ශ්‍රී ලංකාවේ ජනතාව අතර විරුද්ධත්වය ඇති කිරීම හෝ විරුද්ධත්වය ඇති කිරීමට උත්සාහ කිරීම හෝ විවිධ පන්තීන්ට අයත් ජන කොටස් අතර වෛරය සහ අසමගිය පිළිබඳ හැඟීම් ප්‍රවර්ධනය කිරීම වරදක් වේ’ යනුවෙනි. ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති ආකාරයට මේ වගන්තියේ හරය වන්නේ ප්‍රශ්නගත වචන තුළින් ප්‍රචණ්ඩකාරී හා කැළඹිලිකාරී ක්‍රියා සිදුකිරීමට ජනතාව පොළඹවනවා ද යන්න මිස, වචන අපහාසාත්මක ද නැද්ද යන්න නොවන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන නීතිඥ ලිහිණි ප්‍රනාන්දු පවසා තිබුණේ ‘නායකයෙක් වුණාම ප්‍රතිවිරුද්ධ මත ඉවසීමෙන් දරාගැනීමේ හැකියාව තියෙන්න ඕනෙ. ඒක තමයි පරිණත නායකයෙකුගේ ලක්ෂණය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, රටක ජීවත්වෙනවා නම් මිනිස්සුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්න ඕනෙ. මේ රටේ හැම නායකයෙක්ම සීයට සීයක් හරි නැහැනෙ. නායකයා තුළ වැරදි දේවල් තියෙනවා. ඒ වැරදි දේවල් ජනතාව විසින් පෙන්වලා දෙන අවස්ථාවේදී නායකයෙක් කරන්න ඕනෙ ඒ හැමදෙයක්ම උපේක්ෂාවෙන් දරාගෙන, ඒ වැරැද්ද නිවැරදි කරගැනීම මිස ඒ වැරැද්ද වෙනුවෙන් ප්‍රතිරෝධය දක්වන මහජනතාව යටපත් කිරීම නොවෙය’ යනුවෙනි.

විරෝධය පුළුල් වීම නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් වැඩේ අකුළා ගත්තේය. ආණ්ඩුවත් එය මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ඇඟේම තිබ්බේය. එහෙත් පවතින නීති අවභාවිත කරමින් ආණ්ඩුව කළ පළමු වැඩේ මෙය නොවන්නා සේම, අවසාන වැඩේ ද මෙය නොවන බව සහතික ය. විවේචන දරාගත නොහැකි මේ බබා හිට්ලර්ලා වෙන කරන්නට දෙයක් දන්නේ නැත.

– ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

three + 2 =