“ගවයා සැමදාම කළේ රන් කෙවිට ගොපල්ලා අතට දී බලා සිටීමටය”

79

ගොපල්ලෙක්- අපට කෝ ගොපල්ලෙක්
නන්දා මාලනී සහ දර්ශන රුවන් දිසානායක එක්ව නව ගීතයක් නිර්මාණය කර තිබේ. එහි පද රචනය පල්ලේගම හේමරතන හිමියන් ගෙනි.
ගොපල්ලෙක්- අපට කෝ ගොපල්ලෙක්
ගව රැලට හිතවත්
කෙම්බිමක් තනාදී ඒ බිමට කැඳවනා
අපට කෝ ගොපල්ලෙක්
දුර දකින මහ ගොපල්ලෙක්
රන් කෙවිට හිමි ගොපල්ලෙක්
ගොපලු දරුවන් කරන නොපනත් සැහැසිකම් ඉවසා
නිහඬ වී තලු මරති ගව රැල සිරස මල් ගවසා
ගොපලු පරපුර එකට එක්වී
මිහිරි පස්ගෝ රසම සොයමින්
ගව රැලත් මං මුලා කරමින්
විටින් විට නෙක උපා යොදමින්
මධු බඳුන් පුරවමින් මසවුළුද බුදිමින්
සුර සැපම වළඳමින් සිනාසේ ගොපල්ලන්
පීඩිතව පිපාසෙන්
තොල තෙමන තරමින් දිය බිඳක් අයදිමින්
හඬයි වහු දරුවන්
එහි අරමුණ ඉතා පැහැදිලිය. පුරා දශක හතකට අධික කාලයක් ජනතාවගේ නාමයෙන් ඔවුන් රවටමින් ගෙන ගිය පාලනයන් වෙත තියුණු විවේචනයක් එල්ල කිරීම මේ ගීතය මගින් සිදුවෙයි. පසුගිය කාලය පුරා ලංකාවේ මැති සබයේ පරිහාණිය මෙන්ම පාලයන්ගේ පරිහාණයෙහිද උච්චස්ථානය ගැන කරනා විවේචනය පැහැදිලිය. ඒ අර්ථයෙන් ගත් කල සමාජ විචාරය සම්බන්ධයෙන් මෙහි ඇති මැදිහත්වීම වැටහෙයි. එහෙත් ඒ සමගම අප‍ට ඉතිහාසය පුරාම පැවති දැක්මෙහි අර්බුදයද මේ ගීතය තුළින්ම එළියට පනින බවද අප අමතක නොකල යුතුය.
ගීතයෙන් පුන පුනා අසන්නේ අපට කෝ ගොපල්ලෙක් යනුවෙනි. ඒ ගොපල්ලාගෙන් අප අපේක්ෂා කරනා දේවල්ද එහි කියවෙයි. ඒ ගොපල්ලා ගව රැලට හිතවත් විය යුතුය. කෙම්බිමක් තනාදී ගව රැල එහි කැඳවිය යුතුය. ගොපල්ලා අත රන් කෙවිට තිබිය යුතුය.
පසුගිය මැතිවරණයේදීද ජයග්ර හණය කළේ මේ මතයමය. ඉන් ඉල්ලා සිටියේ අපට කෝටුවෙන් තලා හෝ හරි මග කියන ප්රි්න්සිපල් කෙනෙකි. නැතිනම් සැර රජ කෙනෙකි. එහිදී ජනයා තම නිහීනකම පිලිගෙන තිබේ. අනේ අපට තලා අපව හරි මග ගෙන යන්නැයි ඔවුහු අයදිති. පෙර රජ දවස පරිදිම රජු ගෙන් බත් මුඛය පාදා ගන්නට අවසර ඉල්ලා සිටි පරිදිම අප තවමත් සූදානම් අපට කෝටුවෙන් තලා නිසි මග ගෙන යන රජෙකි. දැන් ඒ සිහිනය මරුවට එලිවෙමින් යයි. ඒ අතරේ අපි යළි ගොපල්ලෙක් ඉල්ලන්නට පටන් ගෙන සිටිමු.
අපට අද ඇවැසි ජනයා පුරවැසියක් බවට පත් කරනා දේශපාලන ව්‍යාපාරයකි. එය පුද්ගලබද්ධ එකක් නොව ජනතා සාමූහික ශක්තිය කැටි කරනා එකක් විය යුතුය. එහි පළමු තැන තිබිය යුත්තේ වැඩ පිලිවෙලටය. මෙත්පල් නිරිඳු පොදු අපේක්ෂක කතන්දරයෙහි ගාන්නට ඇති සියළු අසූචි තවරා දැම්මේය. දැන් වැඩ කරන මිනිසාද ඇලඩින්ලාට පුදුම පහනින් කල හැකි දෙයක් නැති බව ඔප්පු කරමින් සිටී. අද අප ඉන්නා අර්බුදයේදී ඉන් ගොඩ යා හැක්කේ සංවිධිත වැඩ පිලිවෙලක් හරහාම මිස දියසෙන්ලා මගින් නොවන බව අප වටහා ගත යුතුව තිබේ. එහිදී නායකත්වය වැදගත් බවට සැක නැති. එහෙත් නායකත්වය වුව ලැබිය යුත්තේ නිසි වැඩ පිලිවෙලකටය. සොරුන් නැති කිරීමටත් වඩා වැදගත් වනුයේ සොරකම් කළ නොහැකි ක්ර මයක් නිර්මාණය කිරීමය.
ගව රැලට හැමදාම වෙන වින්නැහිය වනුයේම තමන්ට ආදරය කරනා ගොපල්ලෙක් ගැන අපේක්ෂා දල්වා සිටීමය. එහිදී ගවයන් තේරුම් නොගන්නා සත්ය ය වනුයේ ගොපල්ලා ගවයාට ආදරය දැක්වුවද ඒ තම කිරි ටික, දොවා ගන්නට, ගොම ටික ගන්නට, කෙත සී සා අස්වනු පාගා ගන්නට සහ අවසන තමන් මස් කඩයට දක්කන්නට බවයි. එය හුදෙක් පාරිභෝජනවාදී සම්බන්ධතාවයකි. කෙතරම් හොඳ ගොපල්ලෙක් වුව ගව රැලෙහි වස්සන් වැඩියෙන් ඉන්නවාට සතුටු නැත. එය නඩත්තුවට අපහසුවකි. අනෙක අතින් ආර්ථික ලාභයක්ද නැත. එහෙයින් කෙතරම් අවිහිංසාවාදී ගොපල්ලෙක් වුව වස්සන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ තමන්ට වස්සා මස් කඩයට විකිණිය නොහැකි නම් ඒ වෙනුවට අවංක කෙනකුට හදාගන්නට කියා බාරදෙන එකය. එහිදී ඔන්න මසට හෙම විකුණනවා නෙවෙයි කියා ඔහු පොරොන්දුවක්ද ගනී. එහෙත් අවසන වැඩේ වට වංගුවෙන් සිසු වෙයි. එකම වෙනස ගොපල්ලා පාපය විතැන් කර දැමීම පමණි.
අද අප අත්දකිනා අර්බුදය හුදු ගොපල්ලාගේ අසමත්කම ලෙසින්ම දැකීම තරම් මංමුලාවක් තවත් නැත. අප ඉන්නේ මුළුමනින්ම අසාර්ථක දේශපාලන ක්රලමයක් යළි යළි පවත්වා ගනිමිනි. එහෙයින් විකල්පය අවශ්යා වනුයේ එයටය. ඒ ඉතා පුළුල් සංවාදයක් හරහා තීරණය කළ යුත්තකි. පවත්නා යථාර්තය වනුයේ කවර ගොපල්ලෙක් ආවද ඔහු බටහිර සහ පෙරදිග යනුවෙන් බෙදී ඉන්නා දේශපාලන කඹ ඇදිල්ලෙහි ගොදුර බවට පත්විය යුතුය යන්නයි. අප තවදුරටත් ඡන්දය පාවිච්චි කරන්නේ විධිමත් වැඩ පිලිවෙලක් සහිත සාමූහික ශක්තිය මත විශ්වාසය තබනා ව්‍යාපාරයක් වෙනුවෙන්ද නැතිනම් ලෝක බලවතුන්ගේ දුරස්ථ පාලකය අනුව වැඩ කරනා කුලීකරුවකුටද යන්න තීරණය කළ යුත්තේ ජනතාවමය.
පවත්නා තත්වය යටතේ අප ශක්තිමත් කළ යුතුව ඇත්තේ ජනතා බලයයි. තම ඡන්දය ඔහේ සිල්ලර අරමුණු වලට පාවිච්චි කර පාලකයා වැඩ ටික කරදෙන තුරු බලා සිට එයට කෙලවුණු විට තවත් පොදු අපේක්ෂකයකු හොයනු වෙනුවට සැබෑ වැඩ පිලිවෙලක් වෙනුවෙන් තමන්ද සජීවීව සහභාගි විය යුතු බවත් ඒ තම වගකීම බවත් පුරවැසියා වටහා ගත යුතුය. එහෙයින් අද අවශ්ය ව ඇත්තේ මේ විවේචනයද පුරවැසියාහට එල්ල කරමින් ඔහු අවංක මැදිහත්කරුවකු, ක්රිඅයාකාරිකයකු බවට පත් කිරීමට සමත් වැඩ පිලිවෙලකි. එහිදී කලාවද යොමු විය යුත්තේ එයටමය.
අපට වේදනාවක් තිබේ. අපේ දරුවන්ට අනාගතයක් නැති බවද අපි දනිමු. එහෙත් මේ අප වැපිරූ කෙතමය. ඒ සම්බන්ධයෙන් පුරවැසියාට ගැලවීමක් නැත. ඉතා අවංක චේතනාවෙන් වුව වැරදි කතිරය යනු තම දේශපාලන අඥානභාවය බව ඔහුට වටහා දිය යුතුය. එසේ නැතිව අරක වෙනුවට මේක යනු තවත් පීලි පැනීමක් පමණි.
ගවයා සැමදාම කළේ රන් කෙවිට ගොපල්ලා අතට දී බලා සිටීමටය. ගොපල්ලා රන් කෙවිටෙන් වැඩ ගෙන ගොපලු වරිගයා සුඛිත මුදිත කර රන් කෙවිටෙන්ම ගවයාගේ සට්ටමට දී තිබේ. ගවයා කරනුයේ වල්ගය ලෙව කමින් ඉන් පස්ස තවා ගැනීම පමණි. එහෙයින් රන් කෙවිට ගවයා භාරයේ තබා ගැනීමට ගවයාට නුවණ දිය යුතුව තිබේ.
ගවයා හට තමන්ට අං කුට්ටමක් ඇති බවත් අවශ්‍ය විට සැර පහරක් පයින් දිය හැකි බවත් මතක් කළ යුතුව තිබේ. එහෙත් ගවයා තමන් දිගටම ගොපල්ලාට තම අං වල යකඩ විලි ලන්නට ඉඩදුන් බවත් කුර ගෙවෙන තුරු කෙතෙහි දක්කන්නට ඉඩ දුන් බවත් විවේචනාත්මකව පෙන්නා දිය යුතුය. එසේ නැතිව ගවයා හට සෙත සාදන ගොපල්ලෙක් වෙනුවෙන් සිහින දැකීම තේරුමක් නැත.
අප කළ යුතුව ඇත්තේ සාමූහික ශක්තිය නිසි වැඩ පිලිවෙලක් වෙත ගොනු කිරීම ය. අද අවශ්‍යතාව එයයි. ඒ සඳහා අප සියල්ලන්ම දැඩි කැප කිරීම් කළ යුතුව තිබේ. සියළු බෙදීම් මකා දමා විනාශයෙන් ගොඩ එන වැඩ පිලිවෙලක් වෙනුවෙන් සියල්ලෝම තම පුද්ගලික කෝන්තර පසෙක ලෑ යුතුය. එය අද නොකරන්නේ නම් හෙට අපි සියල්ලෝම කුනු බක්කියෙහි සිටිනු ඇත.
ජනතාව ඥාණනය කිරීම සඳහා කලාවට සුවිශාල මෙහෙවරක් කළ හැකිය. එහෙත් අවංක චේතනාවෙන් වුව කලාකරුවා අතින් වන අතපසුවීමක්, දැක්මෙහි අවුලක් මාරාන්තික වනු ඇත. අප මේ වටහා ගත යුතුව තිබේ.
ගොපල්ලෙක් ගීතය අසන විට මගේ මතකයට එක් වරම ආවේ නිදි නැති නදියේ නාදය කැසට් පටයෙහි ආ එක් ගීතයකි.
අසන්න සගයිනේ මෙය නෑසුනා යයි කියන්නෙපා
මහ පොලවෙ කුනු කසල වලලන්න කාලයයි මේ
එය වඩා තාර්කිකය. කුනු කසල වලලා දැමිය යුත්තේ පුරවැසි සාමූහික ශක්තිය මගින්ම පමණි. දේශපාලනය එයයි. අප ඇරඹිය යුත්තේ එවන් ගමනකි. මහ ගොපල්ලා දුර දකියි. ඒ දකින දුර ඔහුගේ පැවැත්මටය. එය ගොපල්ලාගේ කාර්යයි. දුර දක්නා නුවන දැන් අවශ්‍යව ඇත්තේ ගවයන්ට බව ගවයන් හට සිහිපත් කළ යුතුව තිබේ.
– චූලානන්ද සමරනායක

Previous articleවිනී හෙට්ටිගොඩ කාටූන් – ලංකා – 2022.01.09
Next articleරන් සංචිතය 54%කින් පහත වැටී තිබේ, ආණ්ඩුව රන් සංචිත විකිණූ බව තහවුරුයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here