ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී ඉදිරිපෙළ හා ‘ජනතා ප්‍රේමී’ පසුපෙළ

76
පවතින ආණ්ඩුව වේගයෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් තිබේ. නමුත්, ඡන්දදායක බහුතරයක් රාජපක්ෂලාට කතිරය ගැසුවේ වසර පහකට බලපැවැත්වෙන ආකාරයට ය. දුන් වරම නියමිත කාලයට පෙර එහි විශ්වාසය කඩවීම නිසා ආපසු ගන්නේ කෙසේ දැයි දැන් ජනතාව කල්පනා කරමින් සිටිති. ආණ්ඩුවේ බලය මෙහෙයවන කණ්ඩායම කල්පනා කරන්නේ ලැබුණු කතිරවලට අදාළ ඉතිරි වසර කිහිපය පවතින්නේ කෙසේ ද යන්න ය.

රටේ ඩොලර් බඩගින්නට රුපියල් දමා ගසන්නේ ඒ පැවැත්ම හදා ගන්න ය. බැසිල් කියන රුපියල් පන්දාහේ පැකේජය එවැන්නකි. එහෙත්, ආණ්ඩුවට ඇත්තේ ඒ ප්‍රශ්නය පමණක් නොවේ. දැන් ඇතුළෙත් ගින්දර ය. පිටත් ගින්දර ය. එළියේ ගින්දර වන ආණ්ඩුවට එරෙහි ජනතාවගේ හඬ බලහත්කාරයෙන් කිසිසේත් පාලනය කර ගත නොහැකි ය. ජනතාවගේ ‘හූ’ හඬට තහංචි දමන්නට ගොස් හතරගාතෙන්ම ඇදවැටීමට සිදු විය. ආණ්ඩුව ඇතුළේ ගින්දර බලහත්කාරයෙන් පාලනය කරන්නට ගත් එක් උත්සාහයක් වූයේ රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත රාජ්‍ය ඇමැතිකමින් ඉවත් කිරීමයි. එහෙත්, සුසිල් දැන් පෙරටත් වඩා ආණ්ඩුව ඇතුළේ ඇති සැබෑ කුණුගොඩ එළියට අදින්නට පටන්ගෙන සිටියි. මේ දිනවල රට පුරා එහි දුගඳ පැතිර යනු දැනේ.\

අද බොහෝ ප්‍රගතිශීලී වී සිටින මැති ඇමතිවරු 20වන සංශෝධනය ගෙන එන විට එය අද පවතින අත්තනෝමතිකත්වයට පාර කපන්නක් බව කිව්වේ නැත. ඒ වෙනුවට ජනතාව දුටුවේ පොරකකා ඊට අත ඔසවන තමන්ගේ මහජන නියෝජිතයන් ය. අවම දේශපාලන සදාචාරයවත් රකින්නේ නැතිව දේශපාලන අපරාධකරුවන් නිදොස් කොට නිදහස් කරන විට මේ අය කට ඇරියේ නැත. දූෂිතයන් තනතුරුවලට පත් කරන විට හෝ ආණ්ඩුවට සමීප ජාවාරම්කරුවන් මහ දවාලේ මහා හොරකම් කරන විට මේ කටවල් ඇරුණේ නැත.

ආණ්ඩුවට කතිරය ගැසූ ජනතාවගෙන් බහුතරය බලාපොරොත්තු වූයේ යහපත් රටක් බවට විවාදයක් නැත. එහෙත්, ජනතාවගේ මේ අහිංසක බලාපොරොත්තුව කොල්ලකමින් ගෝඨාභය රාජපක්ෂලා වෙනුවෙන් දර දිය අදිනු ලැබූ දේශපාලකයන්ට එවන් අරමුණක් තිබුණා යයි සිතන්නට තරම් ජනතාව දේශපාලන සාක්ෂරතාවයෙන් තොර යැයි අප සිතන්නේ නැත. අද ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතළ විවේචන ඉදිරිපත් කරන ආණ්ඩුවේ මැති ඇමතිවරු ජනතාව ගැන මහත් දුක්බරව කතා කරනු පෙනේ.
එසේ අද බොහෝ ප්‍රගතිශීලී වී සිටින මැති ඇමතිවරු 20වන සංශෝධනය ගෙන එන විට එය අද පවතින අත්තනෝමතිකත්වයට පාර කපන්නක් බව කිව්වේ නැත. ඒ වෙනුවට ජනතාව දුටුවේ පොරකකා ඊට අත ඔසවන තමන්ගේ මහජන නියෝජිතයන් ය. අවම දේශපාලන සදාචාරයවත් රකින්නේ නැතිව දේශපාලන අපරාධකරුවන් නිදොස් කොට නිදහස් කරන විට මේ අය කට ඇරියේ නැත. දූෂිතයන් තනතුරුවලට පත් කරන විට හෝ ආණ්ඩුවට සමීප ජාවාරම්කරුවන් මහ දවාලේ මහා හොරකම් කරන විට මේ කටවල් ඇරුණේ නැත. රටේ ජාතික සම්පත් විකුණන විට ඒවාට අත් එසවූහ. තවත් බොහෝ ආණ්ඩුවේ තකතිරු තීරණවලට මේ සියලු දෙනා අත් එසවූහ. මොවුන් පරිණත හෝ ජනතාවාදී දේශපාලකයන් නම්, ඔවුන්ට එසේ කළ හැකි ද?
ඒ නිසා අප දකින්නේ ප්‍රශ්නය ඇත්තේ වෙනත් තැනක බව ය. එනම් තනතුරු හා වරදාන සියල්ල ආණ්ඩුවේ එක්තරා සීමිත පිරිසක් පමණක් භුක්ති විඳීම ගැන මේ අයට ප්‍රශ්නයක් තිබීම ය. ඒ නිසා තනතුරු හා වරදාන නමැති මස් කටු නොලැබීම නිසා අද මේ අඳෝනා මතු වන්නේ දැයි ජනතාව තුළ සාධාරණ සැකයක් මතු වීම වැළැක්විය නොහැකි ය. ඒවා ලැබුණේ නම්, අද මේ විරෝධයන් දකින්නට නොලැබෙනු ඇත.
ඒ නිසා ජනතාවාදී කඳවුරට එන්නට කතා කරන මේ අය මුලින්ම කළ යුත්තේ, අඩුම තරමින් තමන් කළ බරපතළ වැරැදි ගැන සමාජය හමුවේ විවෘත පාපොච්චාරණයක් කිරීමයි. ඒවා ද තවත් එක් රංගනයකට සීමා වන්නේ නම් පලක් වන්නේ නැත. අප මේ බව සටහන් කරන්නේ සිදු වන කලබැගෑනිවලින් ඇතැමුන් ඇස් නිලංකාර කර ගන්නා නිසා ය. අද සමාජය මුහුණ පා සිටින බරපතළ සමාජ – දේශපාලන අර්බුදයට විවිධ පැලැස්තර ඉදිරිපත් කරන සමහරු යළිත් රැවටීමේ ක්‍රම යෝජනා කරති.
අගාධයකට වැට්ට වූ අඳුරු රටක ප්‍රගතිශීලී ජනතාවට නව කාර්යභාරයක් ඇත. ඒ මෙතෙක් පැමිණි වැරැදි දේශපාලන ගමන වෙනස් කිරීමයි. එවැනි වුවමනාවක්, ධෛර්යයක්, මැදිහත් වීමක් ජනතාව තුළ වේ නම්, එය ඉතාමත් අගය කළ යුත්තකි. එහෙත්, එය මෙතෙක් සිදු වූ ආකාරයේ කුමන හෝ වෙනසක් නොවිය යුතු ය. ජන සහභාගිත්වයක් සහිත ජනතාව බලගැන්වෙන, ජනතාවාදී වැඩපිළිවෙළක් උදෙසා වන ප්‍රතිපත්ති සහිත වෙනසක් අවශ්‍ය ය. මෙතෙක් පැවැති සාම්ප්‍රදායික දේශපාලනයන් හා ධාරාවන් උඩු-යටිකුරු විය යුතු ය. කුමන හෝ හවුලකින් කුමන හෝ සන්ධානයකින් නැතිනම් පිරිස් එකතුවකින් එය කළ නොහැකි ය. එනිසා නිවැරැදිවම සතුරා ද, අවස්ථාවාදියා ද, සටන් සගයා ද වටහා ගැනීමට තරම් දේශපාලන පරිණත බවක් ජනතා පාලනයක් අරමුණු කර ගත් ජනතා ව්‍යාපාරයකට තිබිය යුතුම ය●

Previous articleසුසිල්ලා අයින් කරලා අර්බුදය වහගන්න බැහැ!
Next articleආයිබොවන්ඩ සුසිල්..,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here