තෙල් ටැංකි සමාගම නීතවිරෝධියි!

87

ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම නමින් නව සමාගමක් ලියාපදිංචි කර ත්‍රීකුණාමල වරායේ තෙල් ටැංකි 61ක් සහ ඒවා අයත් භූමිය එම සමාගමට පැවරීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කරමින් සිටිය ද, ලංකා ඛනිජ තෙල් සංස්ථා පනතට අනුව එය නීති විරෝධී කටයුත්තක් බව ජාතික භික්ෂු පෙරමුණ පෙන්වා දෙයි.
මෙරට සමාගම් මැඳුරේ ලියාපදිංචි PV00250578 දරන ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම ලියාපදිංචි කිරීමේ දී 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ වෙනත් වගන්ති අතර පවතින 5 (B), 5(D) හා 5(E) යන වගන්ති උල්ලංඝනය වී ඇති බව ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් සමාගම් ජෙනරාල් රෙජිස්ට්‍රාර්වරයාට දන්වා ඇත්තේ ය.
උන්වහන්සේ තව දුරටත් සිය ලිපියෙන් දන්වා ඇත්තේ, පනත උල්ලංඝනය කරමින් සිදු කර ඇති මෙම ලියාපදිංචි කිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය ද උල්ලංඝනය වී ඇති බව ය. එබැවින්, මෙම සමාගම පිහිටු වීමේ දී මතුව ඇති නීති විරෝධී තත්ත්වය පිළිබඳ විධිමත් සොයාබැලීමක් සිදු කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගෙන අදාළ සමාගම ඈවර කරන ලෙස ඒ හිමියෝ වැඩි දුරටත් ඉල්ලා සිටිති.
මෙම සමාගම පිහිටුවීම සඳහා පසුගිය 04 වැනිදා කැබිනට් අනුමැතිය හිමි විය. මේ වන විට ඉන්දියානු අයි.ඕ.සී. සමාගම නෛතික පදනමකින් තොරව භාවිත කරන තෙල් ටැංකි 14ක බදු කාලසීමාව වසර 50ක් දක්වා දිගු කිරීමටත්, තෙල් ටැංකි 61ක් ඉහත සමාගමට පවරාගෙන ඉන් 49%ක කොටස් අයි.ඕ.සී. සමාගමට පැවරීමටත් කටයුතු කරමින් තිබේ.
2003 පෙබරවාරි 07 වන දා අත්සන් තැබු තාවකාලික ගිවිසුමකින් මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට බදු දෙනු ලැබී ය. එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් චරිත රත්වත්තේ තෙල් සංස්ථා සභාපති දහම් විමලසේන හා ඉන්දියානු තෙල් සමාගම් පාර්ශ්වයෙන් එම්. නාගේෂ්වරන් යන අය අත්සන් කළ තාවකාලික ගිවිසුමේ 1.2 කොන්දේසියේ සඳහන් වන්නේ උක්ත දින සිට මාස හයක් ඇතුළත විධිමත් බදු ගිවිසුමකට එළැඹෙන බව ය. නමුත්, මෙතෙක් එවැනි විධිමත් ගිවිසුමකට එළැඹ නැත.
ඒ නිසා 2003 අගෝස්තු 6න් පසුව ඉන්දියන් තෙල් සමාගමට චීනවරාය තුළ රැඳීසිටීමට නෛතික බලයක් නොමැති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙයි. මෙහි නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කරමින් වෘත්තීය සමිති හතරක් ඇතුළු පාර්ශ්ව පහක් විසින් 18/318 හා 18/319 ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු
එසේම 2004 ජනවාරි මස 22 වැනිදා කරු ජයසුරිය අත්සන් තබා ඉන්දියානු තෙල් සමාගමට අප රට තුළ තෙල් වෙළෙඳාම සඳහා වසර 20කට වලංගු බලපත්‍රයක් ලබා දුන්නේ ය. එම බලපත්‍රයේ වලංගු කාලය 2024 ජනවාරි 21 දිනෙන් අවසන් වන්නේ ය. එවිට ඉන්දියානු තෙල් සමාගමට අප රටේ තෙල් වෙළෙඳාමෙන් ඉවත් වන්නට සිදුවේ. කඩිමුඩියේම අණපනත් වෙනස් කරමින්, ඉන්දියාව මෙසේ මැදිහත් වීමට මේ සියලු කරුණු හේතු වී ඇති බව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානය ප්‍රකාශ කරයි.
මෙම ව්‍යාපෘතිය මඟින් සිදුවන අපරාධය වැළැක්වීම සඳහා 07වන සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් භාරදීමට නියමිත බව ජාතික භික්ෂු පෙරමුණේ නියෝජිතයෙක් ‘ලංකා’ වෙත ප්‍රකාශ කළේය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ගිවිසුම’ නමින් වූ ගිවිසුමකට භාණ්ඩාගාර ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල්, ඛනිජ තෙල් සංස්ථාව, ඉන්දියන් ඔයිල් සමාගම හා ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම බ්‍රහස්පතින්දා (06) සවස අත්සන් තැබූ බව වාර්තා විය.

Previous articleලංකා e-paper (2022.01.09)
Next articleචෝදනා පවත්වාගෙන යන්න බෑ – කීර්ති රත්නායක නිදහස් කරන්න : අධිකරණයේ තීරණය 21දා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here