“අනුරට බෞද්ධ නායකයින් හමුවී ආශිර්වාදය ලබා ගැනීමටත් ශුද්ධ වූ අයිතියක් තිබේ”

- පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

අයාලේ ගිය සිතක සිතුවිලි ——–
පසුගියදා එනම් ,2021 ජනවාරි මස 5 වැනි දින මහනුවර පවත්වන ලද ජාතික ජනබල වේගයේ මහනුවර දිස්ත්‍රික් සමුළුවට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහනායහිමිවරුන් බැහැ දැක උන්වහන්සේලාගෙන් ආශිර්වාද ලබා ගැනීම මේ වනවිට මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ හා ප්‍රබල මුහුණු පොතේ බරපතලව සාකච්ඡාවට බදුන්වන මාතෘකාව බවට පත්ව ඇත්තේ ය. මෙම සටහන ඒ වෙනුවෙනි.

මම සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වය නියෝජනය කරන ඉතා කුඩා භික්ෂුවකි. එය ද මෙම සටහන තැබීමට එක්තරා නිමිත්තක් කරගනිමින් මෙසේ ලියා දක්වමි.

●ථෙතිහාසික පසුබිම ————

නිදහසින් ඉක්බිතිව මෙරට ආණ්ඩු බලයට තේරීපත්වූ සෑම ජනාධිපතිවරයකුගේ සිට සෑම දේශපාලඥයකුම දක්වා මහනුවර විත් උත්තම ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් ඉක්බිතිව මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමිවරුන් හා අනුනාහිමිවරුන් බැහැදැක නව වසරට , රාජ්‍ය පාලනයට හා වෙනත් කුමන හෝ සුබ කටයුත්තක් වෙනුවෙන් ආශිර්වාදය ලබා ගැනීම සාමාන්‍යයෙන් සිදුවන චාරිත්‍රයකි. ඊට ථෙතිහාසික වශයෙන් හේතු කාරණා වන්නා වූ සාධක දෙකක් ඇත්තේ ය . ඒවා මෙසේ ය .

1.උත්තම ශ්‍රී ( වාම ) දළදා වහන්සේගේ තේවාව වාර්ෂිකව භාරවන්නේ සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි යන මෙම දෙපාර්ශවයන්ට වීම.

2.මහනුවර රාජධානියේ මධ්‍යතන යුගයේ සිට රජවරුන් හා මහාමාත්‍යවරුන් මෙම දෙපාර්ශ්වයෙන් ආශිර්වාදය ලබා ගැනීම.

මාතෘකාව පිළිබඳව න්‍යායාත්මක කියවීම ———-

අනුර කුමාර දිසානායක මහතා මෙරට ගම්බද ගොවි පවුලක ඉපිදී තම පාසැල් අධ්‍යාපනය ගම්බද පාසලකින් ද තම උසස් අධ්‍යාපනය රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් ද ලැබ ඉක්බිතිව මෙරට ජ.වි.පෙ සම්බන්ධ වී ක්‍රියාකාරී දේශපාලන විත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙරට බෞද්ධ ගැමි සංස්කෘතිය නියෝජනය කරන පුද්ගයකි. එහෙයින් ඔහුට සියල්ලමට වඩා බෞද්ධයකු වශයෙන් ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගැනීටත් මල්වතු අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමිවරුන් බැදැදැක ආශිර්වාදය ලබා ගැනීමටත් ශුද්ධ වූ අයිතියක් තිබේ. එපමණක්ද නොව ඔහුට මෙරට දේශපාලන පක්ෂයක නායකයකු වශයෙන් සෙසු ආගම් නායකයින් හමුවී ආශිර්වාද ලබා ගැනීමට ද අයිතියක් තිබේ . ඒකේ ඇති වරද කුමක්ද ? එය දැන් මෙරට ඇතැම් පුස්සන්ට හා ඊනියා දේශපාලන විචාරකයන්ට මහා ප්‍රශ්නයක් වී තිබෙන බව පෙනේ.

පෙරේදා දින අනුර කුමාර දිසානායක මහතා මා අසළට විත් මගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරක යෙදුණු අවස්ථාවේදී කියා සිටියේ… “අපේ .. මංගල හාමුදුරුවනේ අද මම මල්වතු මහ විහාරයට ගොස් මහනායක හාමුදුරුවරුවන් වහන්සේ හමුවූවා.ඔබ වහන්සේ අද උදෑසන දැක්කේ නැතැයි” කියා ය. “එය කොතරම් හොද දෙයක් දැයි ” මම කීවෙමි.
මෙම කාරණාව අනුර කුමාර දිසානායක මහතාට කිසිදු ප්‍රශ්නයක් වී නොමැති අතර මහනායක හිමිවරුන්ටත් කිසිදු ප්‍රශ්නයක් වී නොමැත. එනමුත් මෙරට දේශපාලන කුහකයකයන්ට නම් මහා ප්‍රශ්නයක් වී ඇති බව පෙනේ.කෙටියෙන් කිවහොත් එය මේ වනවිට මෙරට ජාතික ප්‍රශ්නයක් තරමටම පරිවර්තනය වී ඇත. එම නිසාම මුහුණු පොත නැමති බුකියේ විවිධ සටහන් හා ඡායාරූප දෝරේ ගලමින් තිබෙන බව ද නොරහසකි.

යුගයේ යථාර්තය විසින් වර්තමානයේ වනවිට සාම්ප්‍රදායික එනම් 1948 නිදහසින් ඉක්බිතිව මෙරට තුළ ක්‍රියාත්මක වූ තට්ටුමාරු දේශපාලන ද එහිලා 1956 ඉක්බිතිව මෙරට දේශපාලනය තුළ ක්‍රියාත්මක වූ ජනප්‍රිය චරිත කේන්ද්‍රගතව නිර්මිත ප්‍රතිරූප දේශපාලනය ද වෙනස් කරමින් සිටින බව නොරහසකි. අපි යුගයේ යථාර්තයට අනුව වෙනස් වෙමු. අප අතීතයේදී යුගයේ යථාර්තයට හා ලෝකයට සාපේක්ෂව නිසිපරිදි වෙනස් නොවීම වර්තමාන මෙරට අරාජිකත්වයට මූලීක පදනම වූ බව මගේ පෞද්ගලික කියවීමයි. එයට කව්රුන් වැරදිකරුද – නිවැරදි කව්ද කියා සෙවීමට වඩා යුගයේ යථාර්තය විසින් අප හමුවේ තබා ඇති බැරෑරුම් වගකීමට අපි ශ්‍රී ලාංකේය ජාතියක් වශයෙන් එකාවන්ව මුහුණු දිය යුතු වන්නෙමු. එය ඉතා කටු-කොහොල් සහිත බාධක සහිත මංපෙතකි. එහෙත් … අපි අපේ මතු පරපුර වෙනුවෙන් එමගෙහි යායුතු වන්නෙමු. කිසියම් ආකාරයකින් අපි එම වගකීම පැහැර හරිත්ද , එදාට අපේ අනාගත පරපුර අපට දෙස් දෙවොල් තබනු ඇත. එසේම අපේ මිනීවලවල්වලටත් සාප කරනු ඇත.

මෙය යුගයේ යථාර්තය කුමක්ද යන්න තවමත් මෙරට ඇතැම් ගිහි / පැවිදි උදවිය හා ඊනියා උගතුන්ට නිසි පරිදි අවබෝධ කර ගැනීමට නොහැකි වීම ඉතා කණගාටුදායක කාරණාවකි. එසේම අභාග්‍යයකි.

වර්තමානය වනවිට තවදුරටත් අපට ප්‍රතිරූප ( වීර ) දේශපාල චරිත කියා තවත් කිසිවකුත් මෙම භූමිය තුළ ඉතුරු වී නොමැත. අතීතයේදී සිටිය හා වර්තමානයේ සිටින සුදු දේශපාලන කාඩ්බෝඩ් වීරයන්ගේ සැබෑ නිරුවත හා නොහැකියාව යුගයේ යථාර්තය විසින් ඉතා මැනවින් අප හමුවේ තබා ඇත.ඔවුන්ගේ කියුම් හා කෙරුම්වලට අනුව දැන් මෙරට බිළිඳාගේ පටන් මහල්ලා දක්වාම ඉතිරි වී ඇත්තේ එකසේ දැනෙන-හැඟෙන අස්ථාවර දේශපාලන, සමාජ හා ආර්ථික වටපිටාවක් පමණි. කෙටියෙන් කිවහොත් වර්තමානය වනවිට අපට මෙරට සාම්ප්‍රදායික දේශපාලනය විසින් ඉතුරු කර දී ඇත්තේ බංකොලොත්ව ලෝකයටම ණය වූ අන්ත අසරණ රටකි.

මෙතැනින් ඔබ්බට අපි කොතැනට ද ? තවදුරටත් අපට මෙරට ගතානුගතික හැත්තෑතුන් වසරක අරාජික දේශපාලන රාමුව තුළට කොටුවී සිටිය හැකිය ද ? ඒ පිළිබඳව අඩුම තරමේ අඹමල් රේණුවක තරම්වත් බලාපොරොත්තුවක් තැබිය හැකි ද ?

මෙන්න … මෙවන් පසුබිමකයි… මෙරට සුවහසක් මැදහත්ව සිතන පතන ජනතාව හමුවේ විකල්ප දේශපාලනයක අවශ්‍යතාවය තදින්ම දැනෙන්නට පටන් ගන්නේ…. !!
මෙරට පාරම්පරික වාමාංශික ව්‍යාපාරය හුදෙක්ම මෙරට භූමිය තුළ

අතිශයින්ම අසාර්ථක වූ දේශපාලන ප්‍රපංචයකි. සැබවින්ම ඒ පිළිබඳව සිතීම හෝ කල්පනා කිරීම පවා කාලය කා දැමීමකි. යුගයේ යථාර්තයට අනුව කිසිදිනක වෙනස් නොවූ ඔවුන් සෑමදාම කලේ මෙරට මෙතෙක් පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට එනම්, එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වරින්වර ආණ්ඩු බලය ලබාගනු පිණිස පාවඩ එලීම පමණි. ඉන් ඔබ්බට ගොස් යුගයේ යථාර්තයට අනුව සාධනීය ආකාරයෙන් වෙනස්වීමක් මෙරට නූතන දේශපාලන ඉතිහාසය තුළම ඔවුන් කෙරෙන් දකින්නට නොලැබිණි. ඒ පිළිබඳව තවදුරටත් සිතීමත් මහා විහිළුවකි.
මෙරට වත්මන් සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් විරයන් තැනිය නොහැකි නිකම්ම නිකම් මුඩු බිමක් බවට පත්ව ඇත්තේ ය. එහෙයින් එබිම තුළින් තවදුරටත් සාම්ප්‍රදායික වීරයන් තැනීම යනු හුදු අර්ථ විරහිත ක්‍රියාවක් වන්නේ ය.

නැසීගිය රෝහණ විජේවීර මහතා

විසින් නිර්මිත දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ප්‍රකට ජතනා විමුක්ති පෙරමුණ තරම් මෙරට සුවහසක් ගැමි තරුණ තරුණියන් විප්ලවීය ආශ්වාදයෙන් කුළමත් කළ හා ඒ සමගින් රටේ සාමාන්‍ය ජනතාව භීතියෙන් සසල කළ වෙනත් පක්ෂයක් මෙරට තවත් නොමැති තරම් ය. එසේම නිදහසින් ඉක්බිතිව මෙරට බිහිවූ අපුරුතම දේශපාලන දෘෂ්ටියකින්ද ඊට සාපේක්ෂව දේශපාලන සදාචාරයකින් හා සම්ප්‍රදායකින් එම පක්ෂය පෝෂිත වූයේ ය. එහි ක්‍රියාකාරිත්වය දෙස විමර්ශනාත්මක බලන කල්හි එහි සන්නද්ධ නැගිටීම් ( එනම් 1971 / 1988 – 89 ) ද එහිලා පරාජයන් ද යලිදු නැගිටීම ද එම පක්ෂ ඉතිහාසය මුර්තිමත් කළේ ය.

මෙරට සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය හා ජ.වි.පෙ සන්සන්දනය කර බලන කල්හි මාක්ස්වාදය න්‍යයාත්මක හා ව්‍යුහාත්මක වශයෙන් ප්‍රායෝගික තලයට රැගෙන ඒමේදී මෙරට දේශපාලන භූමිය තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ඉතා පරස්පරතාවයන් බොහෝමයක් ඇති බව පෙනේ. මගේ පෞද්ගලික කියවීමට අනුව මෙරට සාම්ප්‍රදායික සෙසු වාමාංශික පක්ෂවලට වඩා ජ.වි.පෙ යුගයේ යථාර්තයට අනුව වෙනස් වූ බව පෙනේ. එහි ධනාත්මක කරුණුවලට වඩා රිනාත්මක කරුණු බොහෝමයක් තිබුණද ඔවුහු යුගයේ යථාර්තය තමන්ගේ දේශපාලන දෘෂ්ටිය අනුව
කියවා ගැනීමට කිසියම් වූ උත්සහයක් ගත්හ. එය ඉතා පැහැදිලිවම ඔවුන් මෙතෙක් පැමිණි ගමන්මග දෙස බලන කල්හි දකින්නට ලැබේ.

අන්න ..එවන් ආකාරයෙන් යුගයේ යථාර්තයට අනුව ජ.වි.පෙ විසින් මෙරට විවිධ සමාජ ස්ථර වල දිවිගෙවන්නන් එකතු කොට නිර්මිත දේශපාලන ප්‍රපංචයකි, “ජාතික ජන බලවේගය” .

එහි ඉදිරි ක්‍රියාකාරීත්වය පිළිබඳව මට කිසිවක් කීමට නොහැක. එනමුත් ඔවුන් මෙරට අනාගතය පිළිබඳව ඉතා පැහැදිලි කියවීමක් සහිතව මෙරට අනාගය බාරගැනීම පිවිසෙත්ද , ඔවුන් හමුවේ ඉතා අභියෝග රාශියක් ඇති බව පෙනේ. එහිලා මෙරට බෞද්ධ ගැමි ඡන්ද පදනම තම දේශපාලන ව්‍යාපාරය වෙත නතුකර ගන්නේ කෙසේද යන්න කල්පනා කිරීම ඉතාමත් වැදගත් වන්නේ ය.

මවිසින් මතු කරන ලද මෙරට බෞද්ධ ගැමි ඡන්ද පදනම වූ කලී කිනම් හෝ දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන ව්‍යාපාරයක් මෙම භූමිය තුළ ජයග්‍රහණය හෝ විජයග්‍රහණය කිරීම පිණිස මහත් සේ ඉවහල්වන තීරණාත්මක සාධකය වන්නේ ය. මෙම ඡන්ද පදනම ගතානුගතික ය. එසේම ඉතා පසුගාමී ය. එසේම නිරන්තරයෙන්ම ජනප්‍රිය ප්‍රතිරූප වන්දනා-මාන කිරීමට සැදී-පැහැදී සිටියි .කෙටියෙන් කිවහොත් මෙරට නිදහසින් ඉක්බිතිව බලයට පත්වූ සෑම රජයක් විසින්ම දඩමීමා කරගන්නා ලද්දේ මෙම ඡන්ද පදනම බව පෙනේ. මෙම පදනම තරම් දවල් සිහින- දුටු , රැවටුණු හා ඉච්ඡාභංගත්වය පත්වුණු වෙනත් ඡන්ද පදනමක් මෙරට තුළ නොමැති තරම්ය. ඊට කදීම උදාහරණයක් වශයෙන් වර්තමාන මෙරට දේශපාලන අරාජිකත්වය තුළින් නිර්මිත එම පදනමේ ඉච්ඡාභංගත්වය පෙන්වා දිය හැකියි.

[ බැරිවෙලාවත් මෙරට දියවීගිය සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාර මෙම ඡන්ද පදනම නිසි පරිදි ආමණ්ත්‍රණය කළානම් , මෙරට මෙතෙක් ආ දේශපාලන ගමන් මග මුළුමනින්ම වෙනස් වන්නේ ය – කර්තෘ. ]

තවත් ආකාරයකින් විග්‍රහ කරනවා නම් , මෙරට ගැමි බෞද්ධ ඡන්ද පදනම හා ජ.වි .පෙ දේශපාලන න්‍යයාත්මක වෙනස්කම් කීපයක් හැරණු කොට වෙනත් කිසිදු නොගැලපීමක් ඇතැයි කියා මම නොසිතමි. මොකද … ජ.වි.පෙ ආරම්භ වූයේ ද එය යටිබිම්ගත දේශපාලන ප්‍රපංචයක් වශයෙන් ක්‍රියාත්මක වූයේ ද මෙරට ගම්දනව්වල බව පෙනේ. එපමණක්ද නොව මෙරට සෑම ගමකම එක් පවුලක අතීතය පරික්ෂා කර බැලීමේදී අඩුම තරමේ එහි අතීත එක් සාමාජිකයකු හෝ ඊට වැඩි දෙනෙකු මෙරට වාමාංශික ව්‍යාපාරයට හෝ ජ.වි.පෙ සන්නද්ධ අරගලය දෙකෙන් එකකට හෝ සහභාගී වී ඇත්තේ ය. එසේම දිවිපුදා ඇත්තේ ය. එපමණක්ද නොව මෙරට ජ.වි.පෙ සමාජියන්ගෙන් පූර්ණ හෝ අර්ධකාලීන සමාජිකයන්ගෙන් වැඩි කොටස් නියෝජනය කරන්නේ ද මෙරට ගැමි සමාජ සංස්ථාව බව පෙනේ. එහෙයින් යුගයේ යථාර්තයට අනුව මේවනවිට ඉච්ඡාභංගත්වය පත්ව ඇති එම ඡන්ද පදනම ආමණ්ත්‍රණය කිරීම ජ.වි.පෙ ට අමුතු දෙයක් හෝ අසීරු කාරණාවක් නොවන්නේ ය. එම ප්‍රවේශය මෙරට ඊනියා දේශපාලන විචාරකයන්ගේ කියවීමට අනුව විචිකිච්ඡාවට කාරණාවක් වුවද හුදෙක්ම එය යුගයේ යථාර්තය අනුව අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක් වන්නේ ය.

එසේම මෙරට ජනතාව මතුයම් දිනෙක ජ.වි.පෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය තමුන්ගේ අනාගත අරඹයා තිබෙන එකම විකල්පය වශයෙන් තෝරා ගනිත් ද , එය යුගයේ යථාර්තය විසින් නිර්මිත තවත් එක් යථාර්ථක් මිස විකෘතියක් හෝ අහඹු සිදුවීමක් ද නොවන්නේ ය .

එහෙයින් මෙරට කුමන හෝ තෙවැනි දේශපාලන බලවේශ වෙත්ද , ඔවුන් නොපමාව බෞද්ධ ඡන්ද පදනම වෙත තම ව්‍යාපාරයේ හඬ රැගෙන යා යුතුය. එහි මූලය සොයා යා යුතුය . එය මැනවින් ආඝ්‍රහණය කළ යුතුය. ඒ අනුව ගත් කල්හි අනුර කුමාර දිසානායක මහතාගේ මෙම ප්‍රවේශය අතිශයින්ම සාධනීය වන්නේ ය. එය යුගයේ යථාර්තය විසින් මෙරට තෙවැනි බලවේශ වශයෙන් ඔවුන්ගේ ඡන්ද පදනම සාධනීය ආකාරයෙන් වර්ධනය කර ගැනීමට දරණ ලද ප්‍රයත්නයේ මූලික පියවර වන්නේ ය.

මම අවසාන වශයෙන් මෙරට දේශපාලන වහලුන්ගෙන් නොව සැබෑ මධ්‍යස්ථ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න දෙකක් අසමින් මෙම සටහනට නැවතීමේ තිත තබමි.

1.මෙරට දේශපාලන තුළ තවදුරටත් අපගේ අනාගතය බාරගත යුත්තේ සේනානායක , බණ්ඩාරනායක, ප්‍රේමදාස හෝ රාජපක්ෂවරුන් ද ?

  1. මෙරට ගැමි අහිංසක පවුලක ඉපිද නිදහස් අධ්‍යාපනයෙන් දෙනෙත් පාදාගෙන දේශපාලනට පැමිණි ගැමි තරුණයකුට මෙරට අනාගතය බාර ගැනීම අකැප ද ?

සියල්ල.. ඔබේ බුද්ධියේ විමසුමට…!!

[ මා මෙරට කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන ස්වාධීනව සිතන හා පතක කුඩා භික්ෂුවකි. එහෙයින් මෙම සටහන මධ්‍යස්ථව සිතා බලා කරන ලද දේශපාලන විචාරයක් වන බව ඉතා කරුණාවෙන් සලකන්න. ]

– පූජ්‍ය ඇතිපොළ මංගල හිමි (fb)

Leave A Reply

Your email address will not be published.

14 − four =