තීන්දුවට පෙර දින වැලිකඩ චූදිත රංගජීවට ප්‍රමෝෂන් !

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතන අපරාධය සම්බන්ධයෙන් වන නඩුවේ ප්‍රධාන චූදිතයකු වන පොලිස් පරීක්ෂක මෝසෙස් රංගජීව නෙවමාල් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබේ.

පොලිස් පරීක්ෂකවරයා ප්‍රකටව සිටින්නේ නියොමාල් රංගජීව නමින් ය. අදාළ නඩුවේ තීන්දුව පසුගිය 06 දා ලබාදීමට නියමිතව තිබූ අතර, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එය ලබන 12 වැනිදාට කල් තැබිණි. ඊට පෙර දින, එනම් 05 දා පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ අත්සනින් නිකුත් කරන ලද පොලිස් පරීක්ෂකවරයාගේ උසස්වීමට අදාළ ලිපියේ සඳහන් වන්නේ දීර්ඝ කාලීනව උසස්වීම් නොලබා සිටින පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේ ක්‍රියාවලියට අදාළ ව මේ නියෝගය සිදුකරන බවයි.

ඒ අනුව 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මේ උසස්වීමට අදාළ වැටුප් සහ වරප්‍රසාද හිමිවිය යුතු බව ද එහි සඳහන් ය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් පරිදි 2018 දෙසැම්බර් 19 දා පොලිස් පරීක්ෂකවරයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සිට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කෙරිණි. කෙසේ වෙතත් නඩුවට අදාළව අධිචෝදනා භාරදීමෙන් පසු ඔහුගේ වැඩ තහනම් කෙරිණි. එම වැඩ තහනම් කිරීමේ නියෝගය අහෝසි කර, නැවත සේවයේ පිහිටුවන ලෙස ඔහු විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාග කිරීමෙන් පසු, කොමිෂන් සභාව 2019 දෙසැම්බර් 19 දින තීරණය කර තිබුණේ පොලිස් පරීක්ෂකවරයා නැවත සේවයේ පිහිටුවීමට ය.

විධිමත් විනය පරීක්ෂණයකට හා අධිකරණ ක්‍රියාවලියට යටත්ව සහ වැඩ තහනම් කිරීමට අදාළ හිඟ වැටුප් ගෙවීම විනය පරීක්ෂණ ක්‍රියාවලියෙන් පසු සිදුකිරීමේ කොන්දේසි යටතේ රංගජීව නැවත සේවයේ පිහිටුවීමට අදාළ නියෝගය වර්තමාන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් නිකුත් කර තිබේ. ඒ, 2019 දෙසැම්බර් 26 දා ය.

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතන අපරාධයට අදාළ ව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස රංගජීව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකරන ලද පෙත්සම 2018 මාර්තු 28දා විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරිණි. ඉන්පසු ඔහු අදාළ චෝදනාවට අත්අඩංගුවට ගන්නා ලදි.
– තරිඳු ජයවර්ධන

Leave A Reply

Your email address will not be published.

7 + 20 =