වැන්දඹුවන්ගේ නගරය

“මට එතකොට අවුරුදු දාසය ලැබුව විතරයි… මට හිංදුත් උර්දුත් කියවන්න ලියන්න පුළුවන් වුනේ ගමේ ඉස්කෝලෙට මම හැමදාම ගිය හින්දයි..

එක දවසක ඒ ඔක්කොම ඉවරයි… තාත්තා කීව හෙට ඉඳන් ඉස්කෝලෙ යන්නෙ නෑ.. සඳුදා මාව කසාද බන්දල දෙනව කියල.”
අම්ම කීව “දෑවැද්ද විදිහට ඉල්ලපු හැම දේම ලෑස්ති කරල තියෙන්නෙ” කියල.

“හනුමන්තාගෙ ආශිර්වාදය.. පවුලෙ නම්බුව… අපේ ජාතියේ ගෞරවය රකින්න අවස්ථාවක් ඇවිත්” කියල තාත්තා කීව.

“එයා මේසන් කෙනෙක්. අවුරුදු හතරක් යද්දි මට දරුවො දෙන්නෙක් ලැබුන. නැන්දම්මා යක්ශණියක් වගේ.. ඒත් එයාගෙ හැබෑ මූණ මං දැක්කෙ මගෙ මහත්තයා මැරුණු දවසට පහු වෙනිද.”

“උඹගෙ මූසල කම අපේ පවුලට අවාසනාව ගෙනාවෙ.. අපේ දෑසට නොපෙනී පලයන් “කියල ඒ අය මාව ගහල එලියට ඇදල දැම්ම.

“මට මගෙ දරුවො දෙන්න වත් බලන්න වුනේ නෑ. තනපට අස්සෙ හංගගෙන තිබුනු රුපියල් හතලිහයි ඇඳුම් කඩමාළු ටිකයි ඇරෙන්න මට මොකුත්ම නෑ.”

“බයිස්කෝප් වල පෙන්න්න ලස්සන ඉන්දියාව තියෙන්නෙ ඒවයෙම විතරයි.

උඹ මිනිහ නැති ගෑනියෙක්ද… උඹ පාරෙ දඩාවතේ යන බැල්ලියෙක් තරම් වටින්නෙ නෑ.

උඹගෙ මිනිහ මැරිලද.. එහෙම නම් උඹට ජීවත් වෙන්න කිසිම අයිතියක් නෑ..

උඹට පාට සාරි අඳින්න තහණම්..මාල වලළු දාන්න තහණම්.. මිනිස්සු දිහා ඔළුව උස්සල බලන්න තහණම්… හිනාවෙන්න තහණම්. මිනිස්සු උඹව මගාරිනව.. උදේම මූණට හම්බ වුනොත් ඒක මූසල කමක් කියනව. කෙල ගහනව.. ගෙදරකට කඩේකට වැද්ද ගන්නෙ නෑ මහත්තයෝ.”

“කොටින්ම ඒ ගෑණි අවලංගු කාසියක්..”

“මට වුනෙත් ඒ ටිකම තමයි මහත්තයෝ… “

“ඒ නිසයි මම ව්‍රින්දවාන් වලට ආවෙ.. කවුදෝ කෙනෙක් මට කීව රාධා දේවි උඹ ව්‍රින්දවාන් වලට පලයන්. ඒක ගඟට පනිනවට වඩා හොඳයි” කියල.

“අතේ තිබ්බ සල්ලි වලින් වාරානාසි වලට යන්න සල්ලි මදි…
වාරානාසි ශාඛ්‍ය ගෞතමගෙ නගරෙ හිංද ගෑනුන්ට සලකනව කියල ඒ කරුණාවන්ත මනුස්සයා කීවෙ.”

“ දවසකට කිට්ටුවෙන්න හොරෙන් කෝච්චියේ ගියා .. සමහරු මාව කෝච්චියෙන් එලියට ඇදල දැම්ම.. පයින් ගැහුව… මං ඇඳන් හිටපු සුදු සාරියෙන් හැමෝම දැනගත්ත මං වැන්දඹුවක් කියල.”

“කොයිතරම් දුර පයින් ආවද මට මතක නෑ.
ඒත් ව්‍රින්දාවාන් තියෙන්නෙ වාරානාසි වල නෙවේ අග්‍රා වල..
ආයෙත් දවස් ගාණක් පයින් ගියා..
අන්තිමේදි රාධා දේවිත් ව්‍රින්දාවාන් වලට ආව මහත්තයෝ.”

දැන් මම මෙහෙ ඇවිත් අවුරුදු පණහකටත් වැඩී…
ඒ රාධාදේවීගේ කතාව.

මේ තමයි බුදුන්ගේ දෙවියන්ගේ දේශය. මේ දේශයේදී තමයි අවුරුදු දෙදාස් හත්සීයකට කලින් ගෞතම බුදුන් විසින් කාන්තාවන්ට නිදහස හා සමානාත්මතාව ලබා දුන්න කියල ලෝකෙම ප්‍රසිද්ධ වුනේ.
අග්‍රා වල ටජ්මහල් කවුද නොදන්නෙ. ප්‍රේමයේ සංඛේතය.. ලෝකෙ පුරාම ප්‍රේමවන්තයින්… අඹු සැමියන් මේ ප්‍රේමයේ අද්විතීය නිර්මාණය නරඹන්න එනව.

ටජ් මහල් පේන දුරින් .. හරියරම කීවොත් අග්‍රාවල ඉඳල පැයයි විනාඩි විස්සක වාහනේකින් ගියොත් මේ දුප්පත් ගමට ලඟා වෙන්න පුළුවන්.

ව්‍රින්දාවාන් ගමේ ඉන්නෙ කවුද.? අසරණ වැන්දඹුවන්.. අවුරුදු තිහේ හතලිහේ ඉඳල අවුරුදු සීය වෙනකල් විවිධ වයස් වල කාන්තාවන් මේ ගමේ ජීවත් වෙනව.

වැඩිපුරම ඉන්නෙ සැමිය මියගිය වැන්දඹුවන්. ඒ අතරෙ දෑවැද්ද මදි නිසා.. ගෙදර සිද්ධ වෙච්ච අතපසු වීම් නිසා.. පවුලෙ කෙනෙක් මියගිය එකේ අවාසනාව කරපිට පටවපු නිසා.. ගෙවල් වලින් එලියට ඇදල දාපු කාන්තාවන් තමයි මේ ගමේ ජීවත් වෙන්නෙ.

බරණැස් හා අග්‍රා නගර දෙක බලන්න ගිය ගමනක මම ව්‍රින්දාවාන් ගමට ගියා.

භාශා පරිවර්තකයෙකුගේ මාර්ගයෙන් එක් කාන්තාවක් කියපු කතාවක සාරාංශය තමයි කලින් සටහන් කලේ.

ඒ එක්ක්ම තව කෙනෙක් කීවෙ තරුණ මිනිහෙක් එක්ක කතා කරත් ඇති ආයෙත් පද හැදෙන්න කියල.

දැනගන්න තියෙන විදිහට වින්ද්‍රාවාන් ( Vrindavan ) ප්‍රදේශයේ 20,000 ත් 30,000 ත් අතර වැන්දඹු කාන්තාවන් වාසය කරනව.

වින්ද්‍රාවාන් කියන්නෙ රාධා ක්‍රිශ්ණාට කැපවූ විශාල නගරයක්.

නමුත් තැනින් තැන තනිවූ ගැහැනුන්ගේ කුඩා ගම්මාන තියනව.

ගම්මාන කීවට පැලපත් විස්සක් තිහක් එකතු වුණු කුඩා පැල්පත් ජනාවාස.

මේ එක ගමකට වත් , පැල්පතකටවත් හරි පහසුකමක් නෑ. ලංකාවෙ අපිට පැල්පත්.. ලයින් කාමර… දුප්පත් ගම්මාන අළුත් දේවල් නෙවේ.

නමුත් අතෑරල දාපු.. පන්නල දාපු දුප්පත් ගැහැණුන්ගේ කුඩා ගමක් දකිද්දි ඇස් දෙකට කඳුළු එන එක නවත්තන්න බෑ.

බටහිර බෙංගාලය.. ඔඩිස්සා.. ඇසෑමය වගේ ඈත ප්‍රදේශ වල ඉඳල හැතැප්ම සිය දාස් ගාණක් ගෙවාගෙන මේ කාන්තාවො මේ නගරෙට එන්න නින්දා අපහාස ඉවසන්න බැරි නිසයි.

කාජල්.. මධුරි ඩික්සිත්.. අයිස්වර්‍යා රායි ලෝකෙට පෙන්නන සෙලෝලයිට් සරුව පිත්තල ලෝකෙ ඉන්දියානු සමාජයේ නෑ.
තිබුනත් ඒ ඉහල පංතියේ ධනවත් මිනිසුන්ගේ ගෙවල් වල පමණක් විය යුතුයි.

මේ අයගෙන් බොහෝ දෙනෙක් අහල පහල රාධා ක්‍රිශ්ණා පංසල්වල භජන් කියල කෑමට යමක් හොයා ගන්නව.
තවත් අය වැසිකිසි පිරිසිඳු කරනව.. පාරවල් අතු ගානව.

වැන්දඹු කාන්තාවො නිසා අද වුනත් මේ අයට වෙන පිලිගත් රැකියාවක් කරන්න පහසු නෑ.
බීබීසී හා ද හින්දු පුවත් පත් කියන විදිහට මේ අයට සහන දෙන්න 2012 අවුරුද්දෙ නීති සකස් වුනත් කිසිම සෙතක් ..වෙනසක් මේ අයට අද වෙනකල් ලැබිල නෑ.

නරේන්ද්‍ර සිං මෝධිත් 2015 වසරේ මේ කුඩා පැලපත් ගම්මාන බලන්න ඇවිත් තියනව.

2019 දී මේ අයගෙන් සමහරක් වෙනුවෙන් ආශ්‍රමයක් ගොඩ නැගිල තියනව. නමුත් සැබෑ ප්‍රශ්ණය තවමත් ඒ විදිහම බවයි විචාරකයන් කියන්නෙ.

මේ තමා හිංදු බමුණු සමාජයේ සැබෑ ස්වරූපය.

මේ අයට තිබ්බෙ විසඳුම් දෙකයි. එකක් ව්‍රින්දාවාන් වගේ වැන්දඹුවන්ට වෙන්වූ කොන්වෙච්ච ගමකට යන එක.
අනිත් එක සති පූජා.

බුදුන්ගෙ කාලෙ ඉඳල ඉන්දියාවෙ මහ ඉහලින් පිලිගත් පූජාවක් තමයි සති පූජා කියන්නෙ.
ඒ කියන්නෙ සැමියා මිය ගියාට පස්සෙ බිරිඳත් සැමියාගෙ සිරුර එක්ක දර සෑයේ දැවෙන එක.

මියගිය සැමියාගේ සිරුර තමන්ගෙ උකුළෙ තියාගෙන භජන් කියමින් මේ ගැහැණියට මිය යන්න සිද්ධ වුනේ ඇයි.?

හේතුව ජීවත් වෙලා ඉඳල සමාජයෙන් නින්දා අපහාස විඳිනවට.. ගල් පාර කනවට වඩා මැරෙන එක හොඳ නිසයි.

එහෙම නැතුව කපටි බමුණු සමාජය කියන විදිහට මේක ප්‍රේමයේ පරිත්‍යාගයක් නෙවේ.

ප්‍රේමයේ පූජාවක් නම් බිරිඳ මැරුණු සැමියත් සෑයට නැගල සති පූජා කරන්න ඕනෙ.

ඒ ගැන කතා කරොත් විදේශිකයන්ට වුනත් ලැබෙන්නෙ පොළු පාර තමයි.

නමුත් උගත් ඉන්දියානු සමාජයෙන් මේ ප්‍රශ්ණය ඇහුවොත් ඒ ය හිනාවෙලා කියයි… “මේ පුරුදු ඒ කාලෙ තිබ්බට ඉන්දියාව දැන් හරි දියුණුයි… අපි බොහොම දුර ගමනක් ඇවිත්.. හැමෝම සංතෝසෙන් ජීවත් වෙනව” කියල.

ඒවත් දිල්වාලේ දුලානියා ලේ ජයන්ගේ වගේ කතන්දරම තමයි.
“යෙස් යෙස්.. කරෙක්ට්” කියල ඔළුව හොල්ලන්නයි තියෙන්නෙ.

බ්‍රිතාන්‍ය පාලනයට ස්තුති වන්ත වෙන්න 1920 ඉඳන් මේ ම්ලේච්ඡ සති පූජාව ඉන්දියාවෙ නීතියෙන් තහණම්. අධිරාජ්‍ය පාලනයට පක්ශ නොවුනත් මේ වැනි ක්‍රියා අගය කල යුතුමයි.

ඒ ගැන හින්දු සමාජය ඉංග්‍රීසීන් එක්ක අදත් තියෙන්නෙ පුදුම තරහක්.
නමුත් අද වුනත් රහසින් සති පූජා ඉන්දියාවෙ සමහර ගම්මාන ඇතුලෙ සිද්ධ වෙනව.

ඇයි මේක ගැන අද මං කතා කරන්න හිතුවෙ. එකක් තමයි ලංකාවෙ සමාජයේ බෞද්ධ ඉගැන්වීම් යට කරගෙන බෞද්ධ නමින් ඉස්මතුවෙන ඉන්දියානු හිංදු සංස්කෘතිය.

යශෝධරාගෙ පතිවත හෝ මහාමායාගෙ මිය යෑම චතුරාර්‍ය සත්‍ය යට කරගෙන අද ඉදිරියට ඇවිත්.
මේක තමයි කපටි බමුණු සමාජය එදා ඉඳන්ම කරේ.

හේතු ඵලවාදය හෝ පංච නීවරණ තේරුම් කරනව වෙනුවට ඉන්දියානු බමුණන් යශෝධරා ගුණ ගායනා කරන්න ගත්තෙ පතිවෘතාව… පිරිමින් ලඟ දණින් වැටී සැලකීම.. බවෙන් බවේ එකම පිරිමියා පතා ඒම වගේ අමුතුම නාඩගම් බෞද්ධ සංස්කෘතියට රිංගවමින්.

මේ නිසා තමයි සුජාතා.. ගෝතමී වගේ අය ගැන අමුතුම වර්ණනා කරන්නෙත් ඉතා ඉකමනින් සත්‍ය වටහාගත් අම්භපාලී නමින් බස් නැවතුමක්වත් නම් නොකරන්නෙත්.

සිනා නොමසෙන් දසන් දක්වා සිට ලඳුනේ නොකරනු සති පූජා වගේ විලාප ලාංකික සමාජයට රිංගවන්නෙ මෙන්න මේ බමුණන් විසිනුයි.

ව්‍රින්දාවාන් හරහා අපි තේරුම් ගත යුත්තේ මෙන්න මේ තිත්ත ඇත්තයි.
අදත් මෝඩිගෙ පාලනය අන්තවාදී හිංදු ක්‍රමයට ඇදිල යන එකක් බව පැහැදිලිව පේන්න තියනව.

නිල නොවන ආරංචි මාර්ගයකින් දැන ගන්න තියෙන්නෙ හිංදු බමුණන් පිරිසක් විසින් ලිඛිතව ඉන්දියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සති පූජාවට ඇති නීති ඉවත් කරන ලෙසයි.

බෞද්ධ දර්ශණය හැමටම සමානව සලකන විවෘත්ත ධර්මයක් බව සිහි තබා ගැනීමෙන් ලංකාව වැනි රටවලත් ව්‍රින්දාවාන් බිහි වීම වලක්වාගත හැකියි.

අග්‍රාවල ඉඳන් වාරානසියට එද්දි මට හිතුනෙ මේ ගම් වල ඉන්නෙ කාගෙ හරි අම්ම කෙනෙක්.. අක්කෙක් හෝ
නංගියෙක්.. තවත් කෙනෙක්ගෙ දුවෙක් නේද කියල.

ගෞතම බුදුන් ඉපදුනු මේ සමාජය කොයිතරම් දරුණු වෙන්න ඇතිද?. අදත් මේ ම්ලේච්ඡ සමාජය පොඩ්ඩක් වත් දියුණු වෙලා තියනවද.?… ප්‍රේමයේ ස්මාරකය නරඹන මිනිස්සු වැන්දඹුවන්ගේ කඳුළු නොදකින හැටි පුදුමාකාර නැද්ද.?

– Malcolm Sang (fb)
Picture Curtesy. The Hindu.

Leave A Reply

Your email address will not be published.

nine − two =