ඔවුන්ගේ ශරීර භාෂාවෙන් ප්‍රකාශමාන ලක්ෂණය ගෙත්තම් කළේ ඊයේ සමුගත් මහාලිංගම් ය

91

Mr. මහාලිංගම්
අමරදේව, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක…හා එ මඟ ගිය බොහෝ ගායනවේදීන්ගේ අඳුම් සකසන්නා ඔහු විය. ඒ අයගේ ගායන ප්‍රදානය කුමණ වර්ගයකින් හැඳින්වුවද, ඔවුන්ගේ ශරීර භාෂාවෙන් ප්‍රකාශමාන ලක්ෂණය ගෙත්තම් කළේ මහාලිංගම් මහතාය. අප නිතර අවධානය යොමු කරන්නේ ඉදිරිපත් කරන්නා වෙත වුවද, ඒ පසුපස කාර්‍යයයේ නිරත පරිවාර ශිල්පීන් බොහෝය. පද රචක, සංගීත, වාද්‍ය ශිල්පීන් සේම ඔවුන්ගේ නිර්මාණ මොහොත මත ක්‍රියා කරන තවත් පාර්ශ්වකරුවන් බොහෝ ය. ඒ අතරින් කොණ්ඩා සකස් කරන්නා, ඇඳුම් සකස් කරන්නා ද, ඒ ගායන ශිල්පීන්ගේ පැවැත්මේම අනුශාංගිකයන්ය. ඒ බහුතරය නිහඬව තම කාර්‍යයේ නිරතව, ඒ දෙස බලා තෘප්ත සිතින් සිටින්නන්ය.
අද එවන් මිනිසෙකුගේ සමු ගැන්මය. ඒ අප සහෝදරිය, නිරංජලා මංජරීගේ පියාණන්ය.
පසු ගිය මාස කිහිපය පුරා අසනීපයෙන් හිඳ පෙරදා රාත්‍රියේ සිය සුසුම් අවසන් කළේය.
විටින් විට අප මිත්‍ර සමුහයෙන් කෙනෙක් මංජරිය හා කණගාටුව බෙදා ගත්හ. හයියට ළඟින් සිටියෝය. ඉඳහිට මා ද දුරකථනයෙන් අමතා ඇගේ සිත හැදුහ.
, මචං උඹට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉදිරියේදී එක දවසක් එන බව දන්නවානේ. ඒ නිසා දැංම ඉඳං හයිය තියං හිටපං’
ඉතින් ඇගේ ඒ හයිය… අද සවස දෙහිවල සුසානයේ දී ඇය අත් හරිණු ඇත. උඔත් එක්ක ඒ මොහොතෙත්… ඉන් පසුවත් අපි ඉන්නා බව මිත්‍ර සමූහය වෙනුවෙන් ලියා තබමි.
සුබ ගමන් Mr. මහාලිංගම්.
2022.01.06
– සංජය ඈපා සෙනෙවිරත්න
සේයා රුව දයාන් විතාරණ ගෙනි
ජනප්‍රිය ගායිකා නිරංජලා මංජරීගේ පියා වන ‘මනෝ ටේලර්ස්” අධිපති මහාලිංගම් මහතා අභාවප්‍රාප්ත වේ
දෙහිවල හිල් වීදියේ “මනෝ ටේලර්ස්” අධිපතිතුමා වන කේ. ආර්. මහාලිංගම් පියාණන් අද මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ අතර මියැදෙන විට ඔහු 75 වැනි වියෙහි පසුවිය.
ඔහු ප්‍රවීණ හා ජනප්‍රිය ගායිකා නිරංජලා මංජරීගේ සහ ඇඳුම් නිර්මාණ ශිල්පිණියක වන මනෝ මංජරීගේ ආදරණීය පියාණන් වේ. ඉතා ඈත අතීතයේ සිට ඇඳුම් මැසීමේ දක්ෂයෙකු වන ඔහු කලක් හර්කියුලිස් ටේලර්ස් ආයතනයේ ප්‍රධාන මැහුම් උපදේශකයෙකු ලෙසින් සේවය කළේය.
එකල තිරගත වූ “තුෂාරා” චිත්‍රපටයේ විජය කුමාරණතුංග සහ ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් ඔහු ඇඳුම් සකසා ඇති අතර ඔවුන්ගේ උග්‍ර රසිකයෙකු වන ඔහු අද ඒ මතක අවදිකරනුයේ මහත් භක්තියෙනි. දශක හතරකට අධික කලක පටන් පණ්ඩිත් අමරදේවයන්, අබේවර්ධන බාලසූරිය වැනි අප අතර වත්මන නොමැති ශිල්පීන්ගේ සිට සංගීත් නිපුන් මහැදුරු සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක, ලක්ෂ්මන් විජේසේකර, අමරසිරි පීරිස් වැනි වත්මන් ජේෂ්ඨතමයන් දක්වාම බොහෝ දෙනෙකුගේ ඇඳුම් නිර්මාණය කළ ඔහු මගේ කුර්තා ඇඳුම් ද මනාව සකසා දෙයි.
වසර 22 ක් පුරාවට මගෙන් සත පහකුදු අය නොකොට මගේ ඇඳුම් ඉතා ඕනෑකමින් සහ විචිත්‍රවත් ලෙස මසා නිර්මාණය කරදුන් ඔහු මට කවදත් එක ලෙස හෘදයාංගම චරිතයක් වූ බව නොකියාම බැරි ය.
ඉකුත් වසරක මගේ උපන්දිනය වෙනුවෙන් ද අගනා ඇඳුම් තුනක් මා හට සකසා ගෙනවිත් දුන් ඔහු මගේ සංගත තැටි දෙක නිකුත් කළ ප්‍රසංග සඳහා ද ඇඳුම් නිර්මාණයෙන් සහය වූවේය. මවිසින් වසරක් පාසා ඔහු වෙනුවෙන් පළ කරන උපන්දින සුපැතුම ඉතා ඉහළින් අගය කරන ඔහු, සිය පාරිභෝගියකයන්ට සහ හිතවතුන්ට පවා එය පෙන්වමින් සතුටු වන බව මට දැනගැනීමටත් ලැබීමත් මා ලබනා විසල් සතුටකි.
ඉකුත් කාලයේ පටන් අසනීප තත්ත්වයෙන් පසුවන ඔහුව, පසුගිය කාලයේ මමත් මගේ කල්‍යාණ මිතුරියක වන තනූජාත් රෝහලට ගොස් හමුවූ අවස්ථාවේ ද අප පැමිණීම වෙනුවෙන් බෙහෙවින් සතුටු වූ ඔහු සමග එදින ගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් ද මේ සමග ගෙන එමි.
ඉකුත් ඔහුගේ උපන්දිනය දා මා ඔහු අමතමින් ඔහු වෙනුවෙන් ගීත ගායනා කොට සතුටු වූ අතර එය එතුමන් හට ද මහත් සතුටක් වූ බව විශ්වාස ය.
දියණියන් ඇතුළු බොහෝ දෙනෙක් එතුමන් වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවී කටයුතු කළ ආකාරය මා හොඳින්ම දන්නා අතර ආදරණීය මංජරී සහ මනෝ මංජරී නැගණියන් ඇතුළු පවුලේ සැමට මගේ සාතිශය සංවේගය ද දන්වමි.
එතුමන්ගේ නිසල දේහය හෙට සිට මහජන ගෞරවය උදෙසා කළුබෝවිල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු පසුවට දැනුම් දෙන්නෙමි.
ආදරණීය මහාලිංගම් මහතාට නිවන් සුව වැඩි ඈතක නොවේවායි පිංපෙත් පමුණුවමි !!!
– දයාන් විතාරණ (fb)

Previous articleබෙංගාලයේ දරිද්‍ර ජන දිවිය හා ඉරණම පමණක් ඇදහූ, අධ්‍යාපනය ගැන නොදත් ඒ අහිංසක ප්‍රජාව කවියා සොලවා දැමු හැටි
Next articleවැන්දඹුවන්ගේ නගරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here