බෙංගාලයේ දරිද්‍ර ජන දිවිය හා ඉරණම පමණක් ඇදහූ, අධ්‍යාපනය ගැන නොදත් ඒ අහිංසක ප්‍රජාව කවියා සොලවා දැමු හැටි

නදී ගීතය කියෙව්වෙමි. රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ හෝ ඒ හා බැඳුනු කවර නම් ලියවිල්ලක් වුව ද සිංහලට නගන්නා මගේ අපමණ ගෞරවයටත් ආදරයටත් බඳුන් වේ. මේ පරිවර්තනය කළ පුෂ්කර වන්නිආරච්චි සොයුරා සම්පූර්ණ කර ඇත්තේ මගේ තාගෝර් අඩවියේ තිබූ අදිසි පරතරයකි. එනම් පද්මා නදී චාරිකාව තාගෝර් නිර්මාණ ප්‍රවාහයට බලපෑ ආකාරය ගැන යටපත් ව තිබූ කතාව යි. මේ වෙලාවේ පුෂ්කර ගැන උපන් සෙනෙහස නොසඟවමි.

පරිවර්තන කාර්යයට අමතර ව ඔහු ලියා ඇති පෙරවදන ද අගී. ජාතිකත්වයෙන් අප ව අවුළුවා රාජ්‍ය බලය මංකොල්ල කන ලංකා සමාජයට මතු නොව සමස්ත ලෝක සිතියමට ම තාගෝර්තුමාගේ විශ්වීය පුරවැසි සංකල්පය එකම විසඳුම බව මම තරයේ විශ්වාස කරන්නෙක්මි. තාගෝර් ප්‍රේමියෙකු වන මා ලද මේ කෘතිය කියවීමට ඔබ සැමට ඇරයුම් කරමි. පරිවර්තිත බස නදී ගීතයට ම පිරිමැසී ඇත.

කවියෙකු සහ පුරවැසියෙකු ලෙස එක හීයට පරිනත වූ තාගෝර් මනස නිවැරදි ව වටහා ගැනුමට මේ ගත කියවුව මනා ය. අප ආදරය කළ “තැපැල් ස්ථානාධිපති ” ආදී කෘතිවල වස්තු බීජ කවියාගේ ඇස ගැටුණු හැටි, ඒ හැඟුම් ඔහු ව රිදවූ හැටි , සජීවී ලෙස එදිනෙදා ම කෙටිකතාව ලියවුනු හැටි දකින්නට නදී ගීතය සමග ගලා යා යුතු ය. කෙටි වැකි, ලගන්නා සුළු වදන් තෝරා ගැනීම, රිද්මය හා සුසුම රැකෙනා සේ පද අඩුක් කිරීම ආදියේ පුෂ්කර හොඳ සටනක් කර ඇති සේ ය. බෙංගාලයේ දරිද්‍ර ජන දිවිය හා ඉරණම පමණක් ඇදහූ, අධ්‍යාපනය ගැන නොදත් ඒ අහිංසක ප්‍රජාව කවියා සොලවා දැමු හැටි මේ පොතේ ඇත. ඒ කම්පනය කවියෙකු ද දේශපාලනය පැරදවූ දේශපාලකයෙකු ද අපට දායාද කර ඇත. 1941 කවියා මිය ගියේ ය. 1947 වන විට බෙංගාලය ද මුළු ඉන්දියාව ද ගිනි ගති. 2020 වන විට අලුත්ගම ද දිගන ද ගිනි ගති. මේ සියලු ගිනිදළු කෙරෙන් මා දකින්නේ තාගෝර්ගේ විසඳුම පමණි. නදී ගීතය දිනේවා.

– හිනිඳුම සුනිල් සෙනෙවි

Leave A Reply

Your email address will not be published.

1 × 4 =