‘ඒ අසිරිමත් නොනගතය’ – බුද්ධදාස ගලප්පත්ති

ලාංකීය සිනමාවේ අර්බුදය ගැන කෙරුණ සංවාදයකදී වඩාත්ව වැදගත් නිරීක්ෂණයක් කළේ සිනමාහල් හිමියෙකි. ඔහු කියා තිබුණේ සිනමා කර්මාන්තය මේ තරමින් හෝ පවතින්නේ බොක්ස් සීට් සහ බැල්කනි අසුන් වලට ටිකට් ගන්නා පෙම්වතුන් නිසා බවයි. සැබැවින්ම මෙය මගහැරයා නොහැකි සත්‍යයකි. ඇතැම් අවස්ථාවල මම ද පෙම්වතුන් විසින් අවම ආදායම් සීමාව පන්නා දුන් පසුව සිනමාපට නැරඹීමේ අවස්ථාව ලැබ ඇත්තෙමි. එසේම යෞවන වියෙහිදී සිනමාහලේ අඩඅඳුරේ මමත්කාරයද විඳ ඇත්තෙමි.
කෙසේ වෙතත් ඒ ‘අසිරිමත් නොනගතය’ නම් සිය අභිනව කාව්‍ය එකතුවෙහි බුද්ධදාස ගලප්පත්ති කවියා අපට මුණගස්වන පෙම්වතුන් යුවලගේ පෙම්වතිය ඊට වෙනස්ය.

අඳුරු සිනමාහලට පිවිසෙන ඇගේ අරමුණ වෙනස්ය.

බැල්කනියට යමුද
පෙම්වතා අසයි
බෑ
පෙම්වතියගේ පිළිතුර
ඇයි
පෙම්වතා අසයි
මට ඕන ෆිල්ම් එකක් බලන්න
පෙම්වතියගේ පිළිතුර
(පිටුව 19)

කවි 36කින් සමන්විත ඒ අසිරිමත් නොනගතය යනු කවියාගේ එකොළොස්වන කවි එකතුවයි. මේ කවි අතර වෙසෙසින්ම කොරෝනා අත්දැකීම මත පාදකව ලියවුණු කවි කිහිපයක්ම වෙයි. කොරෝනා යනු මෑත ඉතිහාසයෙහි විශේෂයෙන්ම දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු ලෝක පරිමාණයෙන්ම මනුෂ්‍යත්වය ප්‍රශ්ණ කළ අවස්ථාව ලෙස සැලකිය හැකිය. වෙන් වෙන් කලාප වශයෙන් අනේකවිධ ඛේදයන් තිබුණද ලෝකයම එක මිටට ගත් ඛේදය වනුයේ කොරෝනාවමය. එය පෙර නොවූ විරූ අභියෝගයක් ඉදිරිපත් කරනා අතරම මිනිසාට යළි වෙන්ව දිවි ගෙවීමක් යෝජනා කර සිටියේය. සැබැවින්ම අපේ අනාගතය සුරැකෙනු ඇත්තේ ඊට මුහුණ දෙමින් වඩා දියුණු සාමූහික පැවැත්මක් ස්ථාපිත කිරීමට මිනිසා දක්වන සමත්කම මතම ය.
හුදෙකලා කළුවර යනුවෙන් රචිත කවිය හරහා අප කවියා මේ මහා ව්‍යසනය මැද තනිවන්නට බල කරනා මිනිසාගේ ආතතිය, අසරණකම මෙන්ම හුදෙකලාවද ස්පර්ශ කරයි. සැඟව දිවි රැකගැනීමට පොළඹවනු ලබන මේ දිවියෙහි අරුතක් නොමැතිය. එය හුදෙක් දවස දවස හුස්ම ගැනීමක් පමණි. මෙතෙක් අප ගෙවූ සාමූහික දිවියෙහි ශේෂයන් පවා අහිමිය. කවියා මේ හුදෙකලාවෙහි අපුල කවියට කැටි කරයි.

ගම්දොරින් ගම්දොරට යා නොහෙන
නෑසියන් මිතුරන්ද නොහමුවන
අරුතක් කොහිවෙද මෙ දිවියෙහි
රැයද දවාලද නොපෙනෙන
(පිටුව 22)

යළි ඔහු නිරෝධායන කවි තුළින්ද මතු කරනුයේ මෙ ඛේදයමය. එහිදී ඔහු සඳැස් ආකෘතිය භාවිතා කරමින් නූතන ජනකවියක හැඩ තල අපට ගෙන එයි. (පිටුව23) කොරෝනා කාලේ ආලේ නම් කවිය රෝ බිය විසින් නිදි යහනද වෙන් කරන කටුක යථාර්තයක ජීවිතය සහ ආදරය දිනා ගන්නට කරන අනුරාගී ඇරයුමකි. ජීවිතය යනු පෙමෙහි බැඳීමම බව සිහි කරන්නකි.

මේ කවි අතර ‘මම හඬමි’ නමින් එන කවිය පෙර කී කවි වලට වඩා ඉහලින් කැපී පෙනෙනා නිර්මාණයකි. යුද්ධයෙන් පසුව යළි ගිලන් රථවල සයිරන් හඬ අප සවන් පාරන, ආධාහනාගාරයේ දුම් රොටුව දෑස් පාරන පරිසරයක අනෙකා වෙනුවෙන් තමන්ටත් යුතුකමක් ඇතැයි සිහිපත් කරනා එම කවිය මනුෂ්‍යත්වය යළි ඇමතීමකි. (පිටුව 38)
තණමල්විල සහ මල් යනු එකට ගත් විට සම්මත අරුත් පද්ධතිය ඉක්මවා සිතන්නට අප පොළඹවයි. මේ වදන් දෙකම හඟවන දේ මුළුමනින්ම අදාල නාමකරණයන් ඉක්මවා යයි. එසේම එය එක්තරා ආකාරයක තහනම් මාතෘකාවකි. කවියා මේ තණමල්විල මල් යන්න සම්මතය නැතිනම් ස්ථාපිත මජරකම ප්‍රශ්ණ කිරීමට යොදා ගනියි.

තණමල්විල
මල් පිපුණට
පුද නොදෙන්නෙ
කිම බුදුනට
දන්නා කිසිවකු වේ නම්
නොදන්න මට කියා දෙන්න
(පිටුව 31)

එහෙත් ‘ලොක්ඩවුන් සමය නිමා වූදා’ යනුවෙන් එන කවිය හුදෙක් මතුපිට ස්පර්ශ කිරීමක්ම පමණකැයි මට සිතෙයි. කවියා එහිදී සුරාසැලක පෝලිමෙහි පොර කන මිනිසුන් සහ ඒ අසල ලැමෙහි දරුවෙකු හොවාගෙන සිඟමන් යදිනා මවක කැඳවමින් සමාජය වෙත හැරෙයි. කවියා මෙහිදී අසනුයේ සුරාසැලෙහි පොරකන මිනිසුන්ට අර මව සහ දරුවාගේ දුක නොපෙනේද යනුවෙනි. එහෙත් අප දන්නා යථාර්තය තුළ මේ දෙපිරිසම එකම පද්ධතියක ගොදුරුය. අධික සුරාපානයට මිනිසුන් ඇබ්බැහි වීම යනු බරපතල සමාජ අර්බුදයක ප්‍රතිඵල මිස පුද්ගල වරදක් නොවේ. මිනිසුන්ගේ අසීමිත බීමත්කම නැති කළ හැක්කේ බීම මිල ඉහල දැමීමෙන් හෝ තුන් තිස් පැයේ බණ කීමෙන් නොව මිනිසුන්ට වෙනස් සුපසන් දිවියක් යෝජනා කිරීමෙනි. එය දේශපාලන කාර්යයකි. එය ඉටු කරගන්නා තුරු යදින්නන් මෙන්ම බේබද්දන්ද බහුල වනු නියතය.
වීදියෙ පහන් කනුව වැලපෙයි යන කවිය කවියාගේ නිර්මාණ අතර කැපී වෙනස් පිවිසුමකි. එය මට නිතැතින්ම සිහිපත් කළේ ආරියවංශ රණවීර කවියාගේ 1/2/203/1975 දරණ ලිපිගොනුව වෙමි යන කවියයි. ඔහු ඒ කවිය හරහා ඉතා අපූර්ව ආකාරයකින් කාර්යාල ජීවිතය එළියට ඇද දමයි. ඒ සඳහා ඔහු පිහිටට ගන්නේ සජීවී චරිත නොව අජීවී ලිපි ගොනුවකි. එහෙත් කවියා ඒ අජීවී ලිපි ගොන්වට ජීවය කවයි.

බුද්ධදාස ගලප්පත්ති කවියාගේ වීදියේ පහන් කනුව වැලපෙයි යන කවියද මේ අයුරින්ම අජීවී වස්තුවක් ජීවී වස්තුවක් බවට පත් කිරීම හරහා ඇති කරන සදංවාදයක් තුළින් සමාජ කියවීමකට දරන තැතකි. තමන් පාමුල ජීවිතය උදෙසා ඇස් ඉස් මස් ලේ දන්දෙන කතක වෙනුවෙන් බලා සිටිනා පහන් කනුවක මුවින් කවියා සමාජය කියවයි. මේ පහන් කනුව නොදැල්වෙන්නකි. පහන් දල්වන්නාට කියා තමන් අඳුරේම තබා ගන්නා බව පහන් කනුව කියයි. ඒ ඇය කළුවරට ඉතා ලස්සන හෙයිනැයි පහන් කනුව කියයි. එහෙත් දැන් ඇය නොඑයි. පහන් කනුවෙහි විස්සෝපයට හේතුව එයයි. සුලබ මාතෘකාවකට කවියා නව පිවිසුමක් තනන ආකාරය නිසා කවියෙහි ඒකාකාරී බව නැතිව යයි.
දිගු කොරෝනා නිවාඩුවකට සහ දිගු අරගලයකට පසු පාසලට පැමිණෙන ගුරුතුමියක බුද්ධිගේ කවිය තුළ සිසු දරුවන්ට මෙසේ යෝජනා කරන්නීය.

මාලෙත් බෙල්ලේ බැඳගෙන
මම එන්නම් එදාට
ඔයාලට ලස්සන සිංදුවකුත් අරගෙන
එන්නම් මම ඉක්මනටම
එදාට
අපි ඔක්කොම සිංදු කියමු
වෙනද වගේම.

පසුගිය කාලය පුරා ගුරු සිසු ඈත්වීම සමාජය මත ඇති කළ බලපෑම ගැන තවමත් විධිමත් සමීක්ෂණයක් කෙරී නැත. රටෙහි අධ්‍යාපනයේ බිඳ වැටීම අතිශය බරපතලය. ඉදින් අපට බුද්ධි සිය කවියෙන් නිර්මාණය කරනා ඒ දයාවත් සහ දියුණු ගුරු පරම්පරාව වර්ධනය කළ හැකි නම් කෙතරම් වටනේද?

– චුලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.

20 − 19 =