ප්‍රභාත් කරන්නෙ අතාර්කික නිමේෂයෙ අත්දැකීම හරහා පාඨකයට විනෝද වෙන්න ඉඩ සලස්වන එක

කෙනෙක් තමන්ගෙ ඇතුලාන්තයෙ අගාධයට පැන්නහම දකින්නෙ තිත්ත කළුවරක්.හැබැයි ටිකක් වෙලා යනකොට ඒ කළුවර ඇතුලෙ ම මොනවදෝ යාන්තමට පේන්න ගන්නවා. ඒත් ඒ මොනවද කියලා හරියටම කියන්න බෑ. ඒ වුණාට මේ විදිහට එක දිගටම සෑහෙන වෙලාවක් ඉන්න කොට ඒ පුද්ගලයට තමන්ගෙ අතාර්කික කලාපය ඡායාවක් වගේ පේන්න ගන්නවා. අවදානමයි ආශාවයි විනෝදයයි සැරිසරන්නෙ මේ කලාපයෙ. මෙහෙම හිතෙන්න පටන් ගත්තෙ ප්‍රභාත් ජයසිංහගෙ අලුත්ම කෙටිකතා සංග්‍රහය වන පස් ලෝ කියෙව්වහම.

ප්‍රභාත් කවදත් බාහිර යථාර්ථය ලුහුබැඳ යන කෙටිකතාකාරයෙක් නෙමේ. ඔහුගෙ කෙටිකතාවල තියෙන්නෙ ම මේ බාහිර යථාර්ථයෙන් වහලා දාලා තියෙන අපේ ඇතුලාන්තයෙ අතාර්කිකත්වය. ප්‍රබන්ධයකින් බාහිර යථාර්ථය තොරොම්බොල් කරන එක හරි ලේසියි. හුගක් අය කැමතිත් ඒකට. එතකොට තමන්ගෙ ඇතුලාන්තය මගහැරලා අනෙකාගෙ අඩවියට ඇතළු වෙලා බඩපිනුම් ගහන්න පුළුවන්. මේගොල්ලො උත්සාහ කරන්නෙ හැමදේම තාර්කික රාමුවකට කොටු කරන්න. හැබැයි ඒ උත්සාහය හරිම නීරසයි. ප්‍රභාත් කරන්නෙ අතාර්කික නිමේෂයෙ අත්දැකීම හරහා පාඨකයට විනෝද වෙන්න ඉඩ සලස්වන එක.

මේ කෙටිකතා එකතුවෙදි ප්‍රභාත් මේ වැඩේ කරන්න එක වෙලාවකදි මලවුන් ආපහු කැඳවනවා. පණ තියෙන මිනිස්සුත් එක්ක මලවුන් කරන සංවාද ඔස්සේ අර ⁣අන්ධකාරයෙ තැනින් තැන පුංචි පුංචි එළි මතු වෙන්න ගන්නවා.  නාඳුනන තුවක්කුකරුවා නාඳුනන්නෙ නැති බව හැඟෙනවා.කොටස් වෙළඳපොලේ බබාලා හම්බ වෙන හැටි දකිනවා. රන් පිළිම පස් වෙනවා. ලිංගික ආශාවෙයි ශුන්‍යත්වයෙයි වෙනස හොයා ගන්න බැරිව අතරමං වෙනවා. මේ සේරම අතරින් විනෝදය දෝරෙ ගලනවා.මට හිතෙන්නෙ පාඨකයො හැටියට අපි ප්‍රභාත්ගෙ කතා ලතාව තර්කයට කොටු කරන්න හැදුවොත් මේ විනෝදය අපිට අහිමි වෙනවා. මේ කෙටිකතාවල රහ උරා ගන්න පුළුවන් වෙන්නෙ අපිත් ඒ අතාර්කික ලක්ෂ්‍යයෙ ම රැඳිලා හිටියොත් විතරයි.
ප්‍රභාත්ගෙ සුපුරුදු භාෂා රිද්මය ඒ විනෝදය අත් කර ගැනීමෙ ලාලසාව තවත් වැඩි කරනවා. ඒක ඒ තරම් ම නිරායාස භාෂාවක්. මේ භාෂාව හරිම අපූරුවට තේමාත්මකය එක්ක රමණයෙ යෙදෙනවා. ඒක පාඨකයා සුරතාන්තයට පත් කරන රමණයක්. ඒක තමයි ප්‍රභාත්ගෙ කෙටිකතා කලාවෙ ප්‍රභාතය.

– උදිත අලහකෝන්

Leave A Reply

Your email address will not be published.

seven − one =