සීතා රංජනී නම් සටන්කාරියගේ හඬ ‘උරග විංසතියක කුරුළු බිත්තර’

උරග විංසතියක කුරුළු බිත්තර- සීතා රංජනී

පැණි කුරුල්ලෙකු ගේ ආගමනය විඳිනා ගේ කිරිල්ලක්. ගේ කිරිල්ල සිටින්නී නිවහනෙක හිඳ කවුළුවට හොටින් අනිනා පැණි කුරුල්ලා දෙස බලමිනි. ගේ කිරිල්ලිය පැණි කුරුල්ලාගේ ආගමනය තුළින් සිය ජීවිතය දෙස හැරී බලන්නීය. ඒ වේදනාවෙන් තොර නින්දක්, වේදනාවෙන් තොර අවදියක් මතකයේ නැති දිගු කාලයක් සහිත දිවියකි. එහෙත් ඇය ඒ අසීරු දිවිය බරක් කොට නොගන්නීය. ඒ වෙනුවට ඇය පැණි කුරුල්ලා තුළ තමාව දකින්නට තැත් දරන්නීය. සැහැල්ලුව අත්කරගෙන යලි ගුවන අරා සරන්නට පැණි කුරුල්ලාට ඇරයුම් කරන්නීය. මේ සීතා රංජනී නම් මාධ්‍යවේදිනිය ගේ නවතම කාව්ය සංග්රාහයේ පළමු කවියයි. සිය අත්දැකීම් සහ අභියෝග බහුල දිවි සැරිය තුළ අනනතවූ අසීරුතා විඳිමින් දැනුද් ජීවිතයට අභියෝග කරනා ඇය මේ පළමු කව තුළම ජීවිතයට යළි අභියෝග කරන්නීය. ඇගේ නවතම කවි එකතුව යනු ඇය මෙතෙක් ආ මගෙහි ඇය පලින් පල එක් රැස් කරගත් අස්වැන්න සිය පාඨකයනට පිලිගන්වන සොඳුරු මොහොතයි.

ඇගේ කවිය පුරා දක්නයට ලැබෙන්නේ ජීවිතයට අභියෝග කරන්නට නොපැකිලෙන දිරිය කතක ගේ පිළිරැව් දෙන ස්වරයයි. ඇය තම වර්ගයා එනම් කාන්තාවට සමාජයෙහි අත්ව ඇති ඉරණම, ඔවුන්ගේ දෛනික වදයන්, පුරුෂෝත්තමවාදී දඬු අඬු ගැන හොඳින්ම සවිඥානිකය. සම්මතයන් හමුවේ යටත්ව කරබාගෙන ඉන්නට ඇය සූදානම් නැත. එසේම ඇය සිය කවියෙන් පෙරලා පහර දෙන්නට පැකිලෙන්නේද නැත. ඒ අතරම ඇය සිය කවිය තුළ වර්තමානයේ බෙහෙවින් දුර්ලභ දෙය එනම් ප්‍රේමයද අපූර්ව ලෙස රඳවා ගන්නීය. විටෙක ඇය නැගෙන්නී වර්ගවාදයෙන් තැලී පොඩිව ගිය සහෝදර ජනයා කෙරේ සිත තුළ රළ නගනා ආදරය වදන් වලට හරවමිනි. එසේම ඔවුන් නොවැටී සිටින්නට දරන තැත අගය කරමිනි. එහෙයින්ම ඇගේ කවිය මේ පුංචි බිම් කඩෙහි ඇති සීමා මායිම් බඳ හැර නිදහසේ සරයි.

සීතා රංජනී කිවිඳිය මේ සමාජයෙහි ඇති ව්‍යාජ තවුස්දම් උපහාසයට ලක් කරන්නීය. දවස පුරා කටගැස්ම බවට පත්ව ඇති වදන් ඇය ඉඳුරාම බැහැර කරන්නී ඒ වදන් වලට මුවාවී ඇති තක්කඩිකම අනාවරණය කරමිනි. ඇගේ උපේක්ෂාව නම් කවිය ඊට මනා නිදසුනකි. අපි දේශපාලනය කරන්නෙ නෑ කියමින් පවත්නා ගොහොරුවෙන් ගොඩ යාමට තමන් තුළ වන වගකීමෙන් කර අරිනා ඊනියා ශුද්ධවන්තයන් පරිදිම අපේක්ෂාව වර නගනා කපටින්ද හෙළි කළ යුතුමය. ඇය උපේක්ෂාව යන්න අවස්ථානුකූලව තම වාසියට පාවිච්ච කෙරෙනා ආකාරය මනාව නිරූපණය කරන්නීය.

ඒක හොඳ වචනයක්
තියෙන හැටියට කනකොට
තියෙන හැටියට අඳිනකොට
දේසෙ හැටියට වාසෙ හිතමින්
ජීවිතේ රස විඳිනකොට

එහෙත් මේ තියෙන හැටියට කනකොට යනාදියම රැවටිල්ලකි. එය හරියට අන්ත දිළින්දා සරලකම තමයි ලස්සනම කියමින් කරනා ආත්ම වංචාව පරිදිමය. මේ ආත්ම වංචාවන් කෙලින්ම සේවය කරනුයේ පීඩකයා හට තව තවත් අනෙකා සූරා කන්නටමය. එය හරියට අපේ වහන්සේලා වදාරනා මෙත පරිදිමය. ඉදින් ඇය මෙසේද කියන්නීය.

ඒක මහ කැතම කැත වචනයක්
යුක්තිය වල් වැදෙනකොට
අවිචාරය රජ කරනකොට
දෑත් බැඳ කට පියං
ඔහෙ බලා ඉන්නකොට

ඇය උපාසක ඇත්තෝ නම් කවියෙන්ද එල්ල කරනුයේ මේ විවේචනයමය. අප සමාජයක් වශයෙන් අගතියට යන්නේම මේ ඊනියා උපාසකයන් නිසා බව කියනා ඇය විසඳුම මෙවන් සිල් රැකුමක් නොවන බව මතක් කර දෙන්නීය.
බෑනාට යනුවෙන් ඇය රචනා කර ඇති කවිය දැන් අපට අමතකව ඇති, එහෙත් පුරා දශක ගණනාවක තුවාල තවමත් සිත තුළ පැසවන අපේම සහෝදර කොට්ඨාශය ගැන කෙරෙනා සංවේදී සිහි කැඳවීමකි. ජීවිතයම බියකරු සිහිනයක්ව ඇති මවක සිය දියණිය දීග දෙන මොහොතේ කරනා අතීතාවර්ජනයක් ලෙස දිගහැරෙනා මේ කවිය මවකගේ සෙනෙහස මෙන්ම පුරවැසියන් ලෙස තම අයිතීන් අහිමි කර පාගා දමන ලද ජන කොට්ඨාශයක ශේෂ පත්‍රයක දිගහැරුමද වෙයි.
වර්තමානය යනු පුද්ගලිකත්වය යන්න ඉඳුරාම අහිමිව ගිය සමයකි. තවදුරටත් කිසිවකු හෝ ආරක්ෂිත නැති. විද්‍යුත් මාධ්‍ය හමුවේ අප සියල්ලෝම විහින් නග්නය. ඒ අතරම අපගේ ජීවිත බලය දරන්නන්ට ඇවැසි පරිදි මෙහෙයවීමට තාක්ෂණය යුහුසුළුය. එහෙයින් අප දැන් සිටිනුයේ දැන හෝ නොදැන සෑම මොහොතකම පරීක්ෂාවට ලක්වය. ඇගේ ආවේක්ෂණය නම කව මේ කුරිරු යථාර්තය ගෙනහැර පායි.

කාන්තාව සාහිත්‍ය තුළ අභිරමණීය වස්තුවක් ලෙස ප්‍රතිනිර්මාණය කරනු ලබනා පුරුෂ බැල්මෙහි අත් අඩංගුව යටතේ ඇය විඳිනා ගැහැට ගැන සීතා රංජනී කිවිඳිය ලියන්නෙ පුද්ගලික දිවියෙහි අත්දැකීම් පොදු අත්දැකීම් බවට හරවමිනි. පොදු ප්‍රවාහන මාධ්‍ය තුළ ගමන් කරනා සියයට අනූවකටත් වැඩි කාන්තාවන් කවරම හෝ ගැහැටකට ලක්වන පසුබිමක ඇය බසයක යන කතක හට යාබද අසුනේ නිදිබර මගියාගේ වැළමිටෙන් කෙරෙනා ඉඟි කෙරුම තියුණු උපහාසයකින් පෙරලා දමා ගසන්නීය.

වම්පසින් වාඩිගත් මගියා
අත් බැඳන් නිදිකිරයි
නිදිබර ඔළුව මගේ උරහිසේ ගාවයි
ඒ අතර වැළමිටෙන්
මගේ වම් තනය පිරිමදියි

ඉදින් ඇය පිරිමදින්නාහට දෙන මග පෙන්වීම මෙපරිදිය.

මගේ පුංචි තට්ටුවෙන්
ඔහුගේ නින්ද සුන්නද්දූලි වෙයි
නිදි සතාගේ ඇස් හිනාවෙයි
‘මේ… මෙතැන තිබුණේ
පිලිකා ශෛල පිරි තනයක්
සැත්කම් පිහියකින් එය
කපා දමලා බොහෝ කල්
ලස්සන තනය ඇත්තේ
මෙන්න මේ මෙතැන
දකුණු පැත්තේ

ඉදින් ඔහු විලිවැද පලා යයි. ඒ ඇය අසුනෙහි අනෙක් පසට එයි. දැන් ඇගේ ගැටළුව යළි මතුවෙයි.

දැන් මගේ දකුණු පැත්තෙන්

පිරිමි මගියෙක් වාඩි වෙයි

ඔහුද වැලමිටෙන් තනය පිරිමදින්නට වුවහොත්?

ලාංකීය සමාජයෙහි පහල ස්ථරයන්හී සිටිනා බොහෝ දෙනෙක් විශේෂයෙන්ම කාන්තාවන් මේ වන විට ක්ෂුද්රක මුල්‍ය ණය උගුලෙහි සිරකරුවන්ව හමාරය. එසේම බැංකුවකින් ණයක් ගැනීම යනු ගෙවන්නට හැකියාව ඇත්තකුටම පමණක් කරගත හැක්කකි. එය ගැනීමේදී ණය ගන්නා විසින් ඉටු කළ යුතු කොන්දේසිද එමටය. ඇය මේ පද්ධතිය හාස්‍යයට නගන්නී කතකගේ වදනිනි.
ඇගෙන් කෝඳුරු තෙල් හත් පට්ටෙත් ටිකක් ඉල්ලන බැංකුවට ඇය දෙන උත්තරය මෙබඳුය.

සාක්ෂිකරුවෙක් සාම්පලයක් නැතුව
දෙන්නම බැරි නං ඔය ඉලව් ණය මුදල
මහත්තයාටම පුළුවන් ඔය දෙකම වෙන්නට
සතයක්වත් ඕනෙ නෑ
පුළුවන්ද අද රෑට
ඉන්න පුළුවන් මට
තැබෑරුම පේන මානේ

ගර්හාවට ලක් කරනා වෘත්තියකින් බැට කන, එයින් ගොඩ ඒමට පිළිසරණක් පතන කතක් පද්ධතිය හමුවේ යළි පීඩනයට ලක්වන විට ඇතිවන තත්වය කවියෙන් සිත්තම් කරමින් සීතා රංජනී කිවිඳිය නිදිගත් සමාජයට අතුල් පහරක් දෙන්නීය.

ඇගේ සමස්ත කවි එකතුවම සියුම් ප්‍රහාරක ගුණයෙන් යුක්තය. ඒ වෙනස් විය යුතු සමාජයක් නග්න කිරීම උදෙසාමය. හොරට නිදිගත් ජනයින් කිතිකවනු උදෙසාමය. එසේම ඒ අතර ඇය තමන්ටමද අභියෝග කරන්නීය. ඒ තමන් අකාලේ සටන් බිම හැර යන්නට සූදානම් නැති බව කියමිනි. ජීවිතය යනු ඔහේ අතහැර දැමිය යුතු දෙයක් නොවන බවත් අවසානය දක්වාම අභියෝගයට මුහුණ දිය යුතු බවත් කියමිනි. ඒ දවසට සූදානම යන කවිය සැබැවින්ම මේතාක් දුර ආ සීතා රංජනී නම් දිරිය කත ගේ ආත්ම ශක්තිය ගැන සාක්ෂි දරන්නකි.

ශරීරය නුඹ කුමක් සිතුවද
පලක් නැත
හිතුමනාපෙට
පැහැර ගන්නට ඉඩ නොදෙමි
මේ, මගේ ජීවිතය
නුඹට පමණක් නොව
දුක
මටත් හොඳට හුරුය
ඇය තම කවිය අවසන් කරනුයේ මෙලෙසිනි.
නමුත්,
දැන සිටින එක හොඳයි
ශරීරය නුඹ සුළු දෙයකි
ජීවිතය යනු මහ මෙරකි

මේ සීතා රංජනී නම් සටන්කාරියගේ හඬ ය. ඉදින් අප ඊට සවන් දිය යුතු නොවන්නේද?

– චුලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.

4 × three =