“ඉදිරි සතියක් ඇතුළත ගිවිසුම් අත්සන් කරනවා. සංස්ථාවට 51% යි, ලංකා අයි.ඕ.සී යට 49%යි”

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යැයි කියනා වැඩපිළිවෙලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් ඉදිරි සතියක් ඇතුළත අදාළ ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල පැවසීය.

බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මෙය සධාරනිකරණය කිරීම සඳහා පවසන්නේ තෙල් බැරල් ලක්‍ෂ 80ක් එක්වර ගබඩා කළ හැකි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉදිකර වසර 100ක් පමණ ගතවී ඇතත් මේ දක්වා ඉන් නිසි ප්‍රයෝජනයක් නොගන්නා බවයි.

ඇමතිවරයා දැනට තෙල් ටැංකි සංකීර්ණය පිලිබඳ ඉන්දීය රජය සමග අත්සන් කර ඇති ගිවිසුම් ත්‍රිත්වය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මඟින් සමාලෝචනය කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට විසින් එකඟතාවයකට එළඹ ඇති බව ද පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් මේ අදහස් පළකළේය.

ඉන්දියාව සමඟ මාස 16ක් පුරා කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවූ බවද පවසයි.

මෙම සාකච්ඡා වළ ප්‍රතිඵල ලෙස හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කිරීමටත්, ලංකා අයි.ඕ.සී සමාගම දැනටමත් භාවිතා කරන පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් ඉදිරි වසර 50ක් සඳහා එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීමටත් නියමිත බව ඇමතිවරයා පැවසුවේය.

එසේම ඉතිරි තෙල් ටැංකි 61 සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සියයට 51ක් හා ලංකා අයි.ඕ.සී සමාගමට සියයට 49ක් කොටස් අයිතිය හිමිවන ලෙස ස්ථාපිත කරන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ථාපිත කරන සමාගම මඟින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් බව ඇමති ගම්මන්පිල පැවසීය.

Leave A Reply

Your email address will not be published.

5 − 1 =