මිනිස්සු ව්‍යාජ වේශයන් යට තමන්ගේ පුද්ගලිකත්වය, චරිත ලක්ෂණ හංගනවා – ඔර්හාන් පමුක්

53

පරණ ලිපියක් වුණත් මේ කොටස නවකතා ලියන ඔබට වැදගත් වේවි! අලුත් අවුරුද්දේ ආයෙත් නවකතාවක් හරියට ගහක් වගේ! කියලා පමුක් කියන මේ කතාව ගැන හිතන්න.
ඔබ පොතක් ලියන ශිල්පය ගැන අපිට කිව්වොත්… !
ආහා! මේක නිතරම මගෙන් අහන ප්‍රශ්නයක්. පොතක් ලියන හැටි මිනිත්තු පහකින් කියලා දෙන්න මට පුළුවන් කියලා මිනිස්සු හිතනවා. කොළොම්බියා විශ්ව විද්‍යාලයේ මේ ගැන උගන්නලා මම කීයක් හරි හොයාගන්න ඕන. (සිනාසෙමින්)
මම කෙටියෙන් කියන්නම්: මානව අත්දැකීම් කලාපයක් හෝ ඔබ විශ්වාසය තබන කතාවක් මුලින්ම ඔබට තියෙන්න ඕන. ඉතා සිත්ගන්නාසුලු සිල්ලර වෙළඳ සැලක සමහර විට ඔබ වැඩකරනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔබ සංචාරකයෙක් වෙන්න පුළුවන්. බෙදාහදාගන්න පුළුවන් ඔබේ අත්දැකීමක් වෙන්න පුළුවන්, නැත්නම් ඔබේ යාළුවන්ට සිද්ධ වුණු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ ලියන්න කැමති වැඩි පිරිසකගේ අත්දැකීම් ඔබ දන්නවා වෙන්න පුළුවන්.
නවකතාවක් ලියන්න පටන්නගන්න ඔබට මේ දේවල් අවශ්‍ය වෙනවා.
ඊළඟට, මේ අත්දැකීම් කතාවක් බවට ඌනනය කරන්න ඕන. ඒ වගේම කතාවේ විස්තරාත්මක කොටස් ගැන හිතන්න ඕන. ඉතාම වැදගත්ම කොටස මේකයි. ඔබ කතාව පරිච්ඡේද වලට වෙන් කරන්න ඕන. කතාව පරිච්ඡේද 15කට 20කට වගේ බෙදන්න ඕන. ඊටපස්සේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ගැන හිතන්න. මේක තමයි මට දෙන්න පුළුවන් උපදේශය.
නිර්මාණශීලිත්වය, අභ්‍යන්තර සංගීතයට සවන් දීම සමඟ වරක් ඔබ සැසඳුවා. ඒ සංගීතයේ මූලාශ්‍රය, නිර්මාණශීලීත්වයේ උල්පත, ඉඟියකින් හරි වටහාගන්න ඔබ උත්සාහ කරලා තියෙනවද?
ලේඛකයෙක්ට විවිධ මනෝභාවයන් තියෙනවා. සමහර වෙලාවට මට කාව්‍යමය ගතියක් දැනිලා කාව්‍යමය ආකාරයකින් ලියනවා. සමහර වෙලාවට තර්කාන්විත බවක් දැනිලා, තාර්කික විදියට ලියනවා. අන්තිමට ඒ භාවයන් සංස්කරණය කරනවා. නවකතාව කියන්නේ සංගීත වාදනයක් වගේ. ඒක විවිධ හැඟීම් අරගෙන යනවා. සමහර වෙලාවට ඔබ කාව්‍යාත්මකයි, උපදේශාත්මකයි, අධ්‍යාපනිකයි, නැත්නම් තාර්කිකයි, නැත්නම් කෝප සහගතයි,
නැත්නම් සතුටුයි.
නවකතාවක් ගහකට සමයි කියලත් ඔබ වරක් පවසා තිබුණා?
මගේ නවකතා දිගු වෙන්න නැඹුරුවක් තියෙනවා. සමහර ඒවා පිටු 450ක්, සමහර ඒවා ඊටත් වඩා. මම එක රැයකදි හැමදේම හිතලා නවකතාවක් ලියන්න ගන්නවා කියලා මිනිස්සු හිතනවා. ඒක කොහෙත්ම කරන්න බැරි වැඩක්. මානව පරිකල්පනය සීමිතයි. මම මුලින්ම පොතේ කතාව සහ සමහර විස්තර කිරීම් ගැන හිතනවා.
නවකතාවක් කියන්නේ ගහක් කියලා අපිට හිතන්න ඉඩදෙන්න. පටන්ගැන්මෙදි මට ගහේ කොළ, අතු, මුල් මේ හැමඑකක් ගැනම පරිකල්පනය කරන්න බැහැ. ඒක කරන්න බැරි වැඩක්. ඒත්, පටන් ගන්න මට ගහේ කඳ ගැන, සමහර කොළ ගැන, සමහර මුල් ගැන අදහසක් තියෙනවා. ඒත් හැම එකක් ගැනම නෙමෙයි සමහර ඒවා ගැන.
මම දන්න දේවල් ගැන වැඩි වැඩියෙන් ලියන්න ගන්න කොට තව තවත් විස්තර මට ගලාගෙන එනවා. වෙන වෙන කොළ, අතු, මුල්. මම ගහක් උදාහරණයක් විදියට ගන්නේ, මිනිස්සු විශ්වාස කරනවා ලේඛකයෙක්ගේ මනසේ සියල්ලම, පළවෙනි කොළේ ඉඳන් අන්තිම කොළේ වෙනකං තියෙනවා කියලා. ඒක වැරදියි. ඔබ නවකතාවක් ලියන විටයි එය පරිකල්පනය කරන්නේ.
සම්පූර්ණ ලිපියම කියවන්න >>>

Previous articleඅසිරිමත් කාව්‍යමය සැරිය. “කියනු වස් පවතිමි” ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේෂ්
Next articleසුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here