“මටත් දැන් ඒ පාර මතක නෑ සේකර” – පාරක් කපාගන්නා කවියෙක්

කවිය හෘදය සංවේදී ගුණයෙන් අනූන වූ විට එයට ආසක්තවීම සිදුවන්නේ නිරායාශයෙන්. නමුත් රසිකයා හෘදය සංවේදී කිරීම පමණක් මේ මොහොතේ කවියාගේ කාර්යභාරයදැයි කෙනෙකුට තර්කයක් නැගිය හැකියි. ඇත්තෙන්ම සාහිත්‍ය කලාවෙන් සිදුවන්නේ සංවේදී මිනිසෙකු බිහිකිරීම බවයි අපේ විශ්වාසය. ඒ තුලින් ඔහු හෝ ඇය තුල ජීවිත සංජානනය වීමක් සිදුවෙනවාද නැද්ද යන්න දෙවනුව පැන නගින ප්‍රශ්නයක්. සාහිත්‍ය කලාවේ සමාජ කාර්යභාරය වන්නේ අන්න ඒ ජීවින පරිඥානය සහිත පුරවැසියන් බහුලීකරණය. එසේ වීමට නම් සාහිත්‍ය පරිශිලනය පොදු බවට පත්විය යුතු වෙනවා. නමුත් කවිය වැනි සියුම් මාධ්‍යයක දී බොහෝවිට දකින දේ වන්නේ කවිය ප්‍රෙහේලිකා ගත කිරීමට ගන්නා උත්සාහයන්. අරුත් පිරිසිඳ දැන ගැනීමට වාග්කෝෂයන්, ශබ්ද කෝෂයන් මෙන්ම විශ්ව කෝෂයන් පරිහරණය කළයුතු තත්ත්වයන්. කවිය වක්‍රෝත්තිය, ස්වාභාවෝක්තිය, ව්‍යංගය වැනි කාව්‍ය උපක්‍රම භාවිතා කළයුතු සේම එය රසිකයාට උසුලාගත හැකි බරක් විය යුතු බවයි අප කල්පනා කරන්නේ. එසේ නොවෙන විට සිදුවන්නේ කවිය වැනි චූල සාහිත්‍ය ශානරයකින් රසිකයා තව දුරටත් විතැන්වීම පමණයි.

සම්පත් කුරුප්පු ආරච්චි තරුණ කවියාගේ දෙවන කාව්‍ය එකතුව වන “මටත් දැන් ඒ පාර මතක නෑ සේකර” කෘතිය කියවන විට දැනෙන්නේ ඇතැම් තරුණ කවීන් ඉතා සියුම් ලෙස කාව්‍ය සමාජ විපර්යකාරක භාවිතයක් ලෙස සකසා ගන්නට උත්සාහ ගන්නවාද කියන කාරණය. “පස් කන්දක හුස්ම ගනිමි” නම් වූ සිය මුල්ම කාව්‍ය සංග්‍රහයෙන් සුවිශේෂ ප්‍රතිභාන්විත ලක්ෂණ ප්‍රකට කළ සම්පත් මෙම කාව්‍ය සංග්‍රහය රසිකයා අතට පත්කරණ විට ඔහු තමන් විසින්ම සෙමෙන් සකසාගත් මගෙක දිගු ගමනක් අරඹා ඇති බව සිතෙනවා. කෘතියේ නාමකරණයම රසිකයා තුල කුතුහලයක් ජනිත කරන්නක්. මේ අප දන්නා සේකර ද? කියා සිතෙන එක අනිවාර්යයි. නමුත් විප්‍රවාසික කවියා ගේ “සේකර” වන්නේ සිය පාසැල් සගයෙක්.

නිල්වලා සැඩ දියේ කෙහෙල් ඔරු පා කර
පොල් වෙන්න පිං නැතිව සිමියොංගෙ වෑවර
පෝලිමට පොරකනවා තව බොහෝ විස්තර
ඉතිං කොහොමද මචං කාලෙකින් සේකර

කවියා විප්‍රවාසිකව උපභෝග පරිභෝග වස්තූන් ඉපැයීමට සිය ජීවිතය කැප කරද්දී, සේකර තාමත් ගමේ රැඳෙමින් මහපොළොව හා ගැටෙමින් අල්පේච්ච ජීවිතයක් ගත කරයි. සේකර ගේ දුරකතන පණිවිඩයෙන් අතීතය යළි මතකයට කැඳවේ. කවියාට ලංකාව ගැන ඇත්තේ පසුතැවීමක්. උගත්කමට තැනක් ලැබී ජාතිය කුලය ආගම වැනි ප්‍රාථමික සාධක නොසලකා හරිවෛනත් රටවල් ලෝකයේ ඇති බව කවියා දනී.

සීගිරිය, රුවන්වැලි මහ සෑයේ පාදම
තවම කර තියාගෙන හැල්මෙ දිව යනු මිස
තුන්වන ලෝකයෙන් මිදී එළියට යන
අදහසක් කාට හරි තියෙනවද සේකර?

ගමෙන් මිදී අධ්‍යාපනයට සුදුසු රැකියාවක් සොයා විදෙස් ගත වූ කවියාට ගම පිළිබඳ ඇත්තේ නොස්ටැල්ජියානු වේදනාවකි. ගම තාම එකතැනය. ලෝකය ඉදිරියට ගොසිනි.

වඩා යහපත් දිනක මහ කිතුල මත නැග
කෑ ගසාපන් මගේ නම කියා අහසට
අලුත් මුල් ගලවගෙන සොයා එමි උඹෙ හඬ
මටත් දැන් ඒ පාර මතක නෑ සේකර

සම්පත් කුරුප්පු ආරච්චි තරණ කවියා ගේ ඇති සුවිශේෂත්වයක් වන්නේ ඔහු කවියේ රිද්මය ගැන දක්වන උනන්දුව. කුමනාකාර කාව්‍ය ආකෘතියක්, විරිතක් භාවිතා කලද ඔහු රිද්මය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ සඳහා ඔහු ඉතාම මිහිරි කාව්‍යමය භාෂාවක් භාවිතා කරනවා.

ප්‍රේමයේ අඩුවැඩිය පේළියට අහුරලා
ජීවිතේ කහට හිත් ගින්දරෙන් අවුළලා
හීන එක දෙක මේස හැන්දකට පුරවලා
කන්තෝරු කුස්සියේ තේ හදන නිර්මලා
(නිර්මලා – පිටුව 13)

සම්පත් භාෂාව තමන්ට අවනතා කරගන්නවා පමණක් නොව අවශ්‍ය තැනදී නැවුම් උපමා රූපක පවා ගොඩ නගා ගනියි.

බොරලු තරමට තරුණ වැහිපොද
මෙරට උළු වහලට කඩා වැද
සියුම් සිදුරක් දෙකක් පිරිමැද
මතක නෑ ගමනකට ආවද?
(හිතමිතුරු වැහි – පිටුව 15)

” තරුණ වැහිපොද “, “මෙරට උළු (සිංහල උළු)” වැනි යෙදුම් නව්‍ය සුවඳක් වහනය කරනවා. මෙවැනි නව්‍ය රූපක සකසා ගැනීම කවියෙක් සිය බස තමන්ට ඇවැසි ලෙස අර්ථපූර්ණව සකසා ගැනීමේ ලක්ෂණයක්.

“ප්‍රභාකරනුත් අපේ වයසේ” නිර්මාණය අපේ රට මුහුණ දී ඇති දේශපාලනික සමාජ අර්බුධයේ නොනිමි බව පළකෙරෙන අපූරු නිර්මාණයක් . ජාතීන් අතර අසමගිය තීව්ර වීමට බලපෑ සාධක එහිදී කවියා මතුකරන්නේ ප්‍රභාකරන් බිහිවීමට ඒවා බලපෑ බව නොකියා කියමින් එහිදී ඔහු භාවිතා කරන්නේ “ප්‍රභාකරනුත් අපේ වයසේ” යන වැකිය. ප්‍රශ්නය යුද්ධයෙන් නිමා වූවායැයි ජයපැන් බොන දකුණට කවියා පවසන්නේ ඵලය නිමා කර ඇති ද හේතුව එලෙසින්ම පවතින බවයි. පන්ති පීඩනය එලෙසින්ම පවතින බවයි. එය තවත් පරම්පරා ගණනක් යනතුරුම නොනිමි පැවැත්මක්.

කතිර උඩ ප්‍රශ්න ඇත් ප්‍රශ්න උඩ කතිර ඇත
ඒ ප්‍රශ්න යට සැබෑ ප්‍රශ්න නැත්තේ ද නැත
පිංසිද්ධ වෙයි දියන් දළුලන්න සුවසේ
“මොහොමඩ් ගේ පොඩි එකත්
අපේ කොල්ලගෙම වයසේ”
(ප්‍රභාකරනුත් අපේ වයසේ – පිටු 16/17)

සම්පත් කුරුප්පු ආරච්චි කවියාගේ ඇති අනෙක් ධනාත්මක ලක්ෂණය නම් ඔහු විවිධ බස් වහර වෙනුවෙන් දක්වන සංවේදිතාව. ඔහුගේ කවිය තුල අපට පුරාතන බස, නූතන බස පමණක් නොව උප භාෂාත්මක ලක්ෂණයන් සහිත ගැමිවහර, පුරවහර මෙන්ම ලුම්පන් බස්වහර පවා දකින්න පුලුවන්. ඒවා සමාජයේ විවිධ සමාජ තීරු අතර ගැවෙසන ඒවා. වැඩවසම් ක්‍රමය තුල පීඩාවට පත්වුන සමාජ පන්තියේ නියෝජනයක් පදනම් කරගත් අවස්ථාවක ඔහු ඒ සිදුවීමට අදාල බස භාවිතා කරන්නේ මෙලෙස,

“පැටිවියේ සිඳ දැමූ මිතුරු දම් රස්නේ”,
“ඒ අතරෙ උඹලා පයිසයක්වත් නොවටිනා”
(පොඩ්ඩේ – පිටු 18/19)

නූතන අත්දැකීමකට වන් විට ඔහුගේ බස නාගරික උප භාෂාමය ලක්ෂණ වල හැඩය ගන්නා ආකාරය බලන්න.

කැළණි ගං දාරයක කීර කොටුවක අයිනෙ
කාටවත් අයිති නැති පොඩි ඉඩක් තියෙනවා
ගඟ වුනත් මං වගේ දෙකක් දාගත්තාම
එපා කිව්වත් ඇවිත් පැල ඇතුලේ ලගිනවා
(රංජනී – පිටුව 24)

පුරාතන අනුභූතියක් නූතනයට ගලපාලන විට සම්පත් සිය භාෂාව කාලයට සමරූපී කරන්නේ මේ ලෙසින්.

කසුප් තෙදැසින් චුම්බනය ලද
කුවෙර බිත ඇඳි ඇයගෙ උඩුකය
ළහිරු රැස් වැද යළි පොලාපැන
දැහැන සොලවන ස්වරය මුමුණන
(සිංහයා සොරාගත් පෙම්වතිය – පිටුව 25)

සම්පත් කුරුප්පු ආරච්චි ගේ “මටත් දැන් ඒ පාර මතක නෑ සේකර” කෘතියේ අපූර්ව භාෂාත්මක යෙදුම් ගණනාවක් හමුවෙනවා. බොහෝ ඒවා ව්‍යංජනා ශක්තියෙන් අනූන ඒවා.

“මතක මළකඩ කාපු – මහලු ඇණයක රැඳුන”, “කටුමැටි ප්‍රේමයක කපරාරුව සොයා – එමිරේට්ස් කුරුල්ලෙක් සඳලතා ගෙන ගියා”, “ගොනඟුලුන් පහුරු ගෑ ස්ත්‍රී නමිති මිස”, “පපුව පිච්චෙන හඳුන් කූරක ඉරටු හදවත වැටෙයි දියවී” වැනි අර්ථපූර්ණ මනස් සිතුවම් චිත්‍රණය කරන තැන් ගණනාවක් හමුවෙනවා. එයින් මතුවෙන්නේ සම්පත් බසෙන් පොහොසත් කවියෙක් මෙන්ම බස සිය අත්අඩංගුවට ගත් කවියෙකුව වැඩී ඇති බවයි.

සම්පත් කුරුප්පු ආරච්චි කවියාගේ “මටත් දැන් ඒ පාර මතක නෑ සේකර” කාව්‍ය එකතුව තුල ඉතා අපූරු නිර්මාණ ගණනාවක් සංගෘහිතයි. “ප්‍රේමයේ දින දසුන, කටුමැටි ප්‍රේම, ඉසිදාසි, ආතල් නම් කඩන්නෙපා සර්, හිත්, කොරෝනා වෛරසය හේතුවෙන්, කැනීම් වාර්තාවක්, මගහරින යථාර්ථය, පරණ උණ්ඩයක්” වැනි නිර්මාණ මීට අමතරව සුවිශේෂ කවි ලකුණු පලකල නිර්මාණයන්ය. ඇතැම් නිර්මාණයන් තුල යම් යම් අඩුලුහුඩු කම් ඇත්තේ ඒවා පදම්වෙන තුරු නොසිට කලින් බිහිකරගත් නිසා යයි සිතෙනවා.

කෙසේ වෙතත් සම්පත්ගේ සැම නිර්මාණයකම පාහේ දැකිය හැක්කේ ඔහු තුල වැඩෙන සමාජ දේශපාලන දැක්ම සහ සියුම් නිරීක්ෂන ශක්තිය. එය නිර්මාණකරුවෙකු සතුවිය යුතු අනිවාර්ය ශක්තියක්. නිවැරදි දැක්මකින් තොර නිර්මාණකරුවා සැමවිටම අයාලේ යන්නෙක්. නමුත් සම්පත් කුරුප්පු ආරච්චි නම් වූ මේ තරුණ කවියා නව මං තනාගෙන එමග යන්නෙක්. එයයි ඔහු පසු පස එන සාර්ථකත්වයේ චක්‍රය. නූතන දේශපාලනය කියවාගැනීමට උත්තල කාචයක් ලෙස යොදාගත හැකි ඔහුගේම කවියකින් එය මැන බැලිය හැකියි.

සබඳ අපි කඳු තමයි උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර මෙන් කරදියට ගොස් මැරෙන
එකම කැඳ හට්ටියක සමව දුක්ගිනි බුදින
සුළුතරය වුණ ගමන් ඕන එකෙකුට නෙළන

– කපිල එම්. ගමගේ

 

Leave A Reply

Your email address will not be published.

eight − six =