ප්‍රියංකා, ඔබට සුබ ගමන් !

ඉන්දියාවේ, හයිද්‍රාබාද් ප්‍රාන්තයේ පශු වෛද්‍යවරියක වූ ප්‍රියංකා රෙඞ්ඩි පසුගියදා මරා දැමිණි. ඇයගේ යතුරුපැදියේ රෝදය හිල්කර පසුව එය සකසා දෙන මුවාවෙන් පැමිණ ඇයව දූෂණය කර ඒ අතරතුර මියගිය ඇගේ සිරුර ගෙනගොස් පුළුස්සා දමා තිබුණේ පුද්ගලයන් සිවුදෙනෙකු විසිනි. වසර 2014දී දිල්ලි බස් රථයක් තුළ ශිෂ්‍යාවක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියෙන් අනතුරුව පවා ඉන්දියාව වසර පහක් තුළ කාන්තාවන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් වැඩිම රට බවට පත්ව ඇත්තේ සෑම පැයකටම කාන්තා දූෂණ හතරක් වාර්තා වන අතරය.

ඉන්දියාවේ ප්‍රියංකා රෙඞ්ඩිව සමූහ දූෂණයට ලක් කරලා, වධ දීලා, පණපිටින් ගිනි තියලා මරපු බව ආරංචි වුණු මොහොතෙ ඉඳන් දැනෙන වේදනාව, පිළිකුල, බය වචනගත කර ගන්න අමාරුයි. ඒ අතර එකපෙළට සේයා, නිර්භයා, විද්‍යා වගේ නම්වල ඉඳන් ඇඞ්ලින් විතාරණ වගේ නම් වෙනකන්ම තවත් බොහෝ අය මතකයට එනවා. මේ බය, පිළිකුල, වේදනාව බොහෝ ගැහැනුන්ට පොදුයි. ඒක කොච්චර පොදු ද කියනවා නම්, ඇස් පියවුණාම, ප්‍රියංකාව පිරිමි හතර දෙනෙක් දූෂණය කරද්දී ඇය විඳි වේදනාව සහ ඇයව පුළුස්සන මොහොතේ ඇය විඳි වේදනාව ඔළුවෙන් මවාගෙන වේදනාවෙන් ඉකිබිඳින, විලාප තියන තරමට මේ සිද්ධිවලින් විඳවන ගැහැනු ඉන්නවා අපි අතරෙ.

කාන්තාවන්ව දේවත්වයෙන් අදහන රටවල්වලින්ම කාන්තා මළ සිරුරු, හප වෙච්ච පරඬැල් විදිහට හොයාගන්න ලැබෙන එක හිනාවෙන්න කාරණාවක් ද, අඬන්න කාරණාවක් ද කියලා හිතා  ගන්න අමාරුයි. මේ තුවාලය දිහා ගොඩක් පරිස්සමෙන් බලද්දි අපිට පේන්න පටන් ගන්නවා මේක ඉතා තදින් පැතිරුණු තුවාලයක් බව. බස් එකේදි අනුන්ගෙ අවයව තමන්ගෙ කරේ තියන් යන්න වෙන එකේ ඉඳන්, තමන්ට හිමි සාමාර්ථය ගන්න කථිකාචාර්යවරයා අරන් එන ඔෆර් එකට හා කියන්න සිද්ධ වෙන එක වෙනකන්ම සිද්ධි ගොඩාක් මේ තුවාලය ඇතුළෙ අපිට මුණගැහෙනවා. එකකින් එකක් වෙන් කර ගන්න අමාරු තරම් මේ එකිනෙක අනෙක එක්ක බැඳිලා.

ප්‍රියංකාගෙ ඝාතකයන් සියලු දෙනා වයස අවුරුදු 30ට අඩු අය. ඔවුන්ගෙ ඡායාරූප දැක්ක ගමන් අපිට සිහිපත් වෙන්නෙ මුඩුක්කුවල ජීවත් වෙන, දැළි රැවුලවත් ඇවිත් නැති, කෙසඟ සිරුරු තියෙන දෙමළ චිත්‍රපටිවල අපිට මුණ ගැහෙන අතිරේක චරිත. මේ හතර දෙනාගෙන් කී දෙනෙක් තමන්ගෙ කුඩා කාලයේ ශාරීරීක, මානසික සහ වාචික අපයෝජනවලට ලක් වෙලා තියෙනව ද කියලා හෙව්වොත්, මේ පරීක්ෂණ මාර්ගයන් වෙනම පැත්තකට ගමන් කරයි. ඒත් මේ පවතින ක්‍රමයට ඒ ඉතිහාසය වැඩක් නැහැ. ඒ නිසා ඒ ඉතිහාසය අමතක කරලා, අවශ්‍ය මොහොතේ තුවාලයට පැලැස්තරයක් ගහන වැඬේ කරන්නයි නිරන්තරයෙන් යෝජනා වෙන්නෙ.

එහෙම බලද්දි සේයාට, විද්‍යාට හෝ ප්‍රියංකාට සාධාරණයක් කවදාවත් ඉෂ්ට වෙන්නෙ නැහැ. නිර්භයාට සාධාරණයක් ඉෂ්ට කිරීමේ සැබෑ වුවමනාවක් ඉන්දියානුවන්ට තිබුණා නම්, ප්‍රියංකා කෙනෙක් බිහි වීමේ සම්භාවිතාව පහළ යනවා. කෝවිලක් ඇතුළෙ අවුරුදු පහක පුංචි දැරියක් දින ගණනාවක් රඳවාගෙන පූසාරියා ඇතුළු පිරිමින් කිහිප දෙනකු ඇයව විනාශ කරපු බව අනාවරණය වුණු මොහොතේ, මගේ ඉන්දියානු

මිතුරියකගෙන් මම ඇහුවා ”‍තරුණ කණ්ඩායමක් විදිහට ඔයාලා දැන් මොකද කරන්න හිතුවෙ ?”‍ කියලා. ඇයගෙ පිළිතුර වුණේ ”‍අපි දිගටම යාච්ඤා, යාතිකා කරනවා ෂෙනූ”‍ කියන එකයි. ඒ වගේ පිළිතුරු ඇහෙද්දි අපිට අපි ගැනම ලැජ්ජ හිතෙනවා. පල්ලියේ ළමා අපයෝජන ගැන විස්තරයක් අපේ whatsapp group එකක පළ කළාම, “‍ඕවා මොකට ද මෙහෙ දාන්නේ ? දෙවියො එයාලට දඬුවම් දෙයි, අපි තදින් යාච්ඤා කරමු”‍ වගේ පිළිතුරු එද්දි ඒ ලැජ්ජාව දහස් ගුණයකින් වැඩි වෙනවා.

“‍අපිට ඇත්තටම ඕනෙ ද මේවා නවත්තන්න ? අපිට ඇත්තටම රිදෙනව ද? එහෙම නම් අපි මොනවද කරන්නෙ?”‍ මම මගෙන්ම අහනවා !

ගැහැනු, පිරිමි භේදයකින් තොරව අපයෝජනවලට ලක්වෙවී, තුවාල හංගාගෙන, විඳවමින් මිනිස්සු ජීවිතේ අරගෙන යනවා. උස්සගෙන දුවනවා. හති වැටුණම ජීවිතේ බිම දිගේ ඇදගෙනත් යනවා. ඒ ගැන හිතන අතරෙ මට Erin Hanson  ලිව්ව Not කියන කවිය දකින්න ලැබෙනවා.

ඔයා ඔයාගේ වයස නෙමෙයි,

ඔයා, ඔයා අඳින ඇඳුම්වල සයිස් එක නෙමෙයි,

ඔයා, ඔයාගේ ශරීරයේ බර නෙමෙයි

එහෙමත් නැත්නම් ඔයාගේ කොණ්ඩෙ පාට නෙමෙයි,

ඔයා, ඔයාගේ නම නෙමෙයි

වගේම ඔයා ඔයාගේ කම්මුලේ තියෙන ඩිම්පල් එක නෙමෙයි,

ඔයා කියන්නේ

ඔයා කියවපු සියලුම පොත්,

ඔයා කතා කරන සියලුම වචන,

උදේට ඇහෙන ඔයාගේ කටුක හඬ,

ඔයා හංගාගන්න හදන සිනහවල්,

ඔයා කියන්නෙ ඔයාගෙ සිනහවේ තියෙන මිහිරියාව,

වගේම ඔයාගෙ හැම කඳුළක්ම,

ඔයා කියන්නේ,

ඔයා තනියම ඉන්නෙ කියලා දන්න වෙලාවට,

ඔයා මහා හඬින් කියන

හැම සින්දුවක්ම,

ඔයා කියන්නේ, ඔයා ගිහිල්ලා තියෙන,

ඇවිදලා තියෙන තැන්වලට,

ඔයා ඔයාගේනිවස’ කියලා කියන තැන්වලට,

ඔයා කියන්නෙ ඔයා විශ්වාස කරන දේවල්වලට,

ඔයා ආදරේ කරන මිනිස්සුන්ට,

ඔයා කියන්නේ, ඔයාගේ නිදන කාමරයේ තියෙන පින්තූරවලට,

වගේම අනාගතය ගැන ඔයා දකින සිහිනවලට,

ඔයාව නිම වෙලා තියෙන්නේ පුදුමාකාර ලස්සනකින්,

ඒත් පේන හැටියට, ඔයාට ඒක අමතක වෙලා,

ඔයා තීරණය කරපු වෙලේ,

ඔයා නොවන දේවල්වලට

ඔයාව නිර්වචනය කරන්න ඉඩ දීපු වෙලාවෙ !

ගැහැනු, පිරිමි භේදයකින් තොරව අපි ඉඩ දීලා තියෙනවා අපි නොවන දේවල්වලට අපිව නිර්වචනය කරන්න. ගැහැනුන්ව නම් මස් ගොඩක් විදිහට දකින තැන ඉඳලා බොහෝ නිර්වචන මේ සමාජය අපිට දෙනවා. පිරිමින්ටත් එහෙමමයි. ඒ වගේ අඳුරු වෙලාවල්වලට මට මේ කවිය මතක් වෙනවා. මම ඒ වෙලාවට ආඩම්බරයෙන් ඔළුව උස්සනවා.

මේ අඳුරු සැඳෑවේ මම සේයා, විද්‍යා, නිර්භයා වගේම ප්‍රියංකාවත් මතක් කරනවා.

සමාවෙන්න අපිට යමක් කරන්න නොහැකි වීම ගැන. සමාවෙන්න අපිට ලෝකයට කියන්න බැරි වීම ගැන ඔවුන්ව නිර්වචනය කරන්න අනුන්ට ඉඩ දෙන්නෙපා කියන එක ගැන. ඒ නිසාම ඔයාලට විඳවන්න වීම ගැන සමාවෙන්න. අපරාධකාරයො කියන ලැයිස්තුව එක පැත්තකින් දීර්ඝ වෙන අතරේ වින්දිතයො කියන ලැයිස්තුවත් විශාල වෙමින් යන එක නවත්ත ගන්න අපිට බැරි වීම ගැන අපිට සමාවෙන්න. හැබැයි අපි සටන අතඅරින්නෙ නැහැ, අපි හෙමින් හරි මුමුණනවා! ළඟම ඉන්න කෙනාට ඇහෙන්න හරි ! ඒ විදිහට අපි පටන් ගන්නවා! ඇත්තමයි ප්‍රියංකා, අපි සටන අත අරින්නෙ නැහැ !!

කාලය ගොඩාක් ගත වේවි ! අපි මැරිලත් යාවි ! ඒත් සටන ඉස්සරහට යාවි ! කාටවත් ඕනෑ විදිහට අපිව නිර්වචනය කරන්න බැරි බව ගැහැනු සහ පිරිමිත්, සියලු දෙනාත් එකට එකතු වෙලා කියන දවසක් ඒවි !!

අපේ අයත් ඔහේ ඉන්නවා. කවදාවත් එළි නොවුණු ප්‍රියංකලාත් ඔහේදි ඔයාට මුණගැහෙයි ! අපි සමාව ඉල්ලපු බව කියන්න ! අපි සටන් කරන බවත් කියන්න !

සුබ ගමන් !

■  ෂෙනූ පෙරේරා

Leave A Reply

Your email address will not be published.

twenty − ten =