මිථ්‍යාව පතුරුවන්න මාධ්‍ය මෙතරම් ඉඩ දීම ගැන පුදුමයි

10

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපතිනි

 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රීති උඩගම

ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ ප්‍රමුඛතම සංවිධානය වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS) 1944දී ආරම්භ කර මේ වන විට වසර හැත්තෑපහක් සම්පූර්ණ වේ. මෙම සාකච්ඡාව ඒ නිමිත්තෙනි.

■  ලංකාවේ විද්යාව සම්බන්ධයෙන් සාකච්ඡාවේ ඉතිහාසය මොන වගේද?

මේ ප්‍රශ්නය උත්තර දෙන්න හරි අසීරු එකක්. මොකද, මිනිසාගේ පරිණාමයේ කිනම් ඉසව්වක සිට විද්‍යාව ආරම්භ වුණා ද කියලා හරියටම කියන්න බැහැ. ලංකාවෙත් එහෙමයි. හැබැයි, විෂයයක් විදියට ගත්තම මුලින්ම රසායන විද්‍යාව සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ඇති වී තිබෙනවා. ඒ වෙනුවෙන් රසායන විද්‍යා සංගමයකුත් පිහිටුවලා තිබිලා. ඉන්දියාවේ ඉඳලා ආපු ආචාර්ය ඩී. එන්. වාඩියා මැතිතුමාගේ මැදිහත් වීමෙන් ලංකා විද්‍යාභිවර්ධන සංගමය පිහිටුවා තිබෙනවා. එදා ඉඳලා මේ දක්වා විවිධ ඉසවු ඔස්සේ කටයුතු කරන විද්‍යාඥයන් අපේ සංගමයට සම්බන්ධ වී සිටිනවා.

■  ඔවුන් සම්බන්ධවී සිටින ඉසවු මොනවාද?

විශේෂයෙන්ම වෘත්තීයමය තත්ත්වය පදනම් කරගෙන විද්‍යාත්මක සොයාගැනීම් කළ ක්‍ෂේත්‍ර හැටියට හඳුන්වන්න පුළුවන්. වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය වශයෙන් එක් පැත්තක් තිබෙනවා. කෘෂිකර්ම සහ වන විද්‍යා වශයෙන් තවත් පැත්තක් තිබෙනවා. ඉංජිනේරු, ගෘහ නිර්මාණ සහ මැනුම් වශයෙන් තවත් කොටසක් තිබෙනවා. ඒ වගේම ජීව විද්‍යාව සහ පෘථිවි විද්‍යාව වශයෙන් වර්ගීකරණය කළ කොටසකුත්, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව යනුවෙන් කොටස් දෙකක් ද තිබෙනවා. ඒ වගේම නූතන සමාජයත් එක්ක පරිගණක විද්‍යා කොටස එකතු වී තිබෙනවා. ඊට අමතරව සමාජ විද්‍යාව වශයෙන් තවත් කොටසක් වෙන් වී තිබෙනවා. මෙහෙම ගත්තම විද්‍යාභිවර්ධන සංගමය ප්‍රධාන අංශ අටකින් සමන්විතයි. මුලින්ම අපේ සංගමය පටන් ගත්තේ ‘ලංකා විද්‍යා සංගමය’ යනුවෙන්. එක්දහස් නවසිය පනස්එකේ ඉඳලා හැත්තෑහතර වෙනකම් විද්‍යාභිවර්ධන කටයුතු වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කිරීමත් එක්ක මේ නම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම හැත්තෑදෙකේ ශ්‍රී ලංකාව ජනරජයක් වුණාට පස්සේ ඇති වුණු තත්ත්වයන් එක්ක එක්දහස් නවසිය හැත්තෑහතරේ ඉඳලා නිශ්චිත වශයෙන්ම ලංකා විද්‍යාභිවර්ධන සංගමය අලුත් හැඩයකින් නිර්මාණය වුණා.

■  හැත්තෑපස් වැනි සංවත්සරය පැවැත්වීමේ තේමා පාඨයවී තිබෙන්නේ, ‘තිරසර අනාගතයක් සඳහා ජෛව තාක්ෂණය’ කියලයි. මේ වගේ තේමාවක් තෝරා ගත්තේ ඇයි ?

සාමාන්‍යයෙන් අපි හැම විශේෂ අවස්ථාවකදීම තෝරා ගන්නා තේමා තිබෙනවා. මෙවැනි තේමාවක් තෝරා ගන්නේ අදාළ කාලවකවානුව තුළ ලංකාවේ වාගේ ම ලෝකයේත් විශේෂ අවධානයට ලක් වෙන කරුණු සම්බන්ධයෙන්. බොහෝ වේලාවට මහා සභාපතිගේ විශේෂඥතාව අනුව අදාළ තේමා තෝරා ගන්නා තත්ත්වයකුත් තිබෙනවා. නමුත්, ඊට බලපාන්නේ මම ඉස්සෙල්ලා කියපු පසුබිමයි. මෙම තේමාව තෝරා ගත්තේ මම මේ සම්බන්ධයෙන් උපාධි තුනක් ලංකාවේ දී ම සම්පූර්ණ කළා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිබන්ධන ඉදිරිපත් කර තිබෙනවා. ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ගුරුවරුන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ ජෛව තාක්ෂණය සම්බන්ධ නවෝත්පාදන ගැන විශේෂ දැනුමක් ලබාගෙන තිබෙනවා. මේ නිසා මට සමීප සහ ලෝකයේ විශේෂ අවධානයකට යොමු වී තිබෙන මේ මාතෘකාව තෝරා ගත්තා. එක්දහස් නවසිය අසූපහේ ඉඳලා එක්දහස් නවසිය අසූනවය දක්වා දර්ශනවේදී උපාධිය කළේ මේ විෂයය සම්බන්ධයෙන්. ඊට පස්සෙත් ජෛව තාක්ෂණය ගැන ලෝකයේ අලුත් තත්ත්වයන්, සොයාගැනීම්වලට අදාළ කටයුතු මගේ විශේෂ අවධානයට යොමු වුණා.  මගේ විශේෂ පර්යේෂණ සියල්ලම යොමු වුණේ, ජෛව තාක්ෂණය සම්බන්ධයෙන්. මේ නිසා අපේ හැත්තෑපස් වැනි සංවත්සරයේ තේමාව හැටියට ‘තිරසර අනාගතයක් සඳහා ජෛව තාක්ෂණය’ යන්න තෝරා ගත්තා.

■  මේ තේමාවේ ප්රධාන කරුණු දෙකක් අපට හඳුනා ගන්න පුළුවන්. ‘තිරසර අනාගතයක්’ සහජෛව තාක්ෂණය’ කියලා. මේ දෙක අතරේ අන්තර් සම්බන්ධය කෙටියෙන් පැහැදිලි කර දෙන්න.

ඇත්තටම කෙටියෙන් පැහැදිලි කිරීම ඉතා ම අසීරු දෙයක්. නමුත්, අපි ඒ වෙනුවෙන් උත්සාහ කරමු. සරල භාෂාවෙන් කියනවා නම්, ජෛව තාක්ෂණය කියන්නේ, ජීවියකු, ජීවියකුගේ කොටසක් එහෙම නැත් නම්, ක්ෂුද්‍ර ජීවියකු යොදාගෙන නිෂ්පාදනය කළ සංයෝගයක්,

එහෙමත් නැත් නම්, ඒ ජීවියකුගේ ක්‍රියාවලියක් අනුසාරයෙන් මිනිසාට සහ ලෝකයට ප්‍රයෝජනවත් වන යමක් නිර්මාණය කිරීමේ විද්‍යාත්මක ක්‍රමය ජෛව තාක්ෂණය කියලා හඳුන්වන්න පුළුවන්. සරල උදාහරණයක් දෙනවා නම්, කිරි මිදවීම, රා නිෂ්පාදනය දක්වන්න පුළුවන්. කිරිවලට ක්ෂුද්‍ර ජීවියකු යොදවා මිදවීමට සැලැස්වීම අපේ රටේ ඉතිහාසයේ ඉඳලාම දැනගෙන හිටියා. කිරි මුදවන්න ‘මුහුන්’ කියලා දාන්නේ බැක්ටීරියා වර්ගයක්. අපේ අය ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නේ, බැක්ටීරියා කියන්නේ, විනාශකාරී ක්ෂුද්‍ර ජීවියෙක් කියලා විතරයි. නමුත්, ඒක එහෙම නොවෙයි. ඊට පස්සේ කාලයක ‘යීස්ට්’ යොදාගෙන නිෂ්පාදන කරන්න පෙළඹුණා. ඒකත් ජෛව තාක්ෂණයේම ක්‍රියාවලියක්.

නූතන ලෝකයේ මේ සරල ක්‍රියාවලිය බොහෝ කටයුතු වෙනුවෙන් යොදා ගන්නවා. එක්දහස් නවසිය හැත්තෑව මැද භාගයේ දී ජෛව තාක්‍ෂණයේ නව සොයා ගැනීම් කළා. එක ජීවියකුගේ තිබෙන ජානයක් තව ජීවියකුට ආරෝපණය කිරීමේ තාක්‍ෂණය සොයා ගත්තා. මේ නිසා ජෛව තාක්ෂණය තවත් පිම්මකින් ඉදිරියට පැන්නා. නමුත්, එහෙම කියලා ගතානුගතික ජෛව තාක්ෂණය අත්හැරියෙත් නැහැ. අපි තාමත් බොහෝ කටයුතු වෙනුවෙන් ඒ තාක්ෂණය යොදා ගන්නවා. වර්තමානයේ ගොඩක් අය හිතන්නේ, ජාන තාක්ෂණය යොදා ගැනීම විතරක් ජෛව තාක්ෂණය කියලයි. ඒක එහෙම නොවෙයි කියලා ඔබට පැහැදිලි ඇති. ජාන තාක්ෂණය කියන්නේ, ජෛව තාක්ෂණයට අදාළ එක කොටසක් විතරයි.

■  මේ තේමාවේ ළඟ කොටසතිරසර අනාගතයක්’ කියන එක. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නේ කොහොමද?

රටවල සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පහුගිය කාලයේ විවිධ ගැටලු මතු වුණා. තුලනාත්මක නොවූ සංවර්ධනයක් තිබෙන බවට චෝදනා ආවා. ඒ වාගේ ම සංවර්ධනය යන ක්‍රියාවලියට ‘විනාශකාරී සංවර්ධනය’ කියලත් භාවිත කරන්න පටන් ගත්තා. මෙන්න මේ තත්ත්වය තුළ දිගු කල් රඳාපවතින වඩා යහපත් තුලනාත්මක සංවර්ධනයක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. ‘තිරසර’ කියන යෙදුම එන්නේ මෙන්න මේ තත්ත්වය තුළයි. එයින් මිදීමේ අවශ්‍යතාව මුළු ලෝකයම පිළිගෙන තිබෙනවා. දැන් සිදුවෙමින් තිබෙන පාරිසරික විනාශයේ ප්‍රතිවිපාක සංවර්ධනයේ නාමයෙන් කළ බොහෝ දේවල් නිසා සිදු වූ බව විද්‍යාත්මකව සනාථ වී තිබෙනවා. මේ තත්ත්වයෙන් මිදීමේ උත්තර සොයන්න ‘තිරසර සංවර්ධනයක්’ කියන තේමාව නිර්මාණය වුණා. එවැනි අනාගතයක් වෙනුවෙන් කටයුතු කිරීම තිරසර අනාගතයක් කියලා ගන්න පුළුවන්.

වගේම ජෛව තාක්ෂණය නවෝත්පාදන හා ව්යවසායකත්වය සඳහා යොදා ගැනීම ගැනත් විද්යාභිවර්ධන සංගමයේ මූලික අවධානය යොමුවී තිබෙනවා නේද?

ඇත්තටම සිද්ධ වෙන්න ඕනෑ මෙන්න මේ දේ තමයි. හැමෝම විද්‍යාත්මක පර්යේෂණ කරන්නේ, විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් විතරක් කියලයි හිතාගෙන ඉන්නේ. නමුත්, ඒක එහෙම නොවෙයි. විද්‍යා තාක්ෂණ නවෝත්පාදන ඔස්සේ දියුණුවට පත් වුණු රටක් හැටියට හොඳම උදාහරණය දකුණු කොරියාව. විද්‍යාවෙන් මුදල් උපයා ගත හැකියි කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. රටක් හැටියට දකුණු කොරියාව ඒ වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම ආදර්ශයයි. විද්‍යාත්මක නිබන්ධන කරලා, උපාධි අරගෙන, සම්මාන ලබාගෙන, කීර්තියත් ලබාගෙන පැත්තකට වුණාට වැඩක් නැහැ. රටේ සංවර්ධනයට, ආර්ථික සංවර්ධනයට මේවා යොදා ගන්න ඕනෑ. ඉන්දියාව පවා මේ මොහොතේ ජෛව තාක්ෂණයෙන් ඉස්සරහට ගිහින් තියෙනවා. නවෝත්පාදන ව්‍යවසායකත්වය වෙනුවෙන් ජෛව තාක්ෂණය යොදාගෙන හොඳ දියුණුවක් අත්පත් කර ගන්න අපේ රටටත් විශාල අවස්ථාවක් තිබෙනවා. විද්‍යාභිවර්ධන සංගමයේ අභිප්‍රාය වී තිබෙන්නේ, ඒ ජයග්‍රහණ රටට අත්පත් කර දීමයි.

අපේ රටේ විද්යාව කොතරම් දියුණු කළත්, ඊට වඩා වේගයෙන් මිථ්යාව පැතිරී යනවා නේද?

අපේ ශරීර සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන යන්න සමබල ආහාර වේලක් අවශ්‍ය බව බොහෝ දෙනෙක් දන්නවා. මෙන්න මේ මූලික කරුණු සම්බන්ධයෙන්වත් විද්‍යාත්මකව හිතා බලන්න බොහෝ දෙනෙක් සූදානම් නැහැ. ඒ නිසා ජනමාධ්‍යයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. නමුත්, කනගාටුවට කරුණ වන්නේ ජනමාධ්‍ය විද්‍යාව ප්‍රචලිත කරනවාට වඩා කරන්නේ මිථ්‍යාව පැතිරවීමයි. අපේ ජනමාධ්‍ය මිථ්‍යාව පතුරුවන ප්‍රමාණය ගැන මම පුදුම වෙනවා. කතා කරන්න ඕනෑ දේවල් නොවෙයි, කතා කරන්නේ. අපි මොහොතකට හිතමු, ජ්‍යොතිෂ්‍යය කියන්නේ විද්‍යාවක් කියලා. නමුත්, ඒකෙන් වවාගෙන කන හැටි බලන්න. ඕවා දියුණු රටක ලක්ෂණ ද? ජනමාධ්‍ය තමන් වෙත තිබෙන වගකීම අත්හැරලා තිබෙන බව මම දකිනවා. අපේ රට විශේෂයෙන්ම ජෛව සම්පත්වලින් පිරිපුන් රටක්. ජෛව විවිධත්වයෙන් ‘හොට් පොට්’ එකක්. අඩු ම තරමේ මේවා ආරක්ෂා කර ගන්නවත් කල්පනා කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට කොතල හිඹුටුවලින් ලෝකය ජය ගැනීමේ හැකියාව අපට තිබෙනවා. තිරසර සංවර්ධනය කියන්නේ, අන්න ඒ වාගේ දේවලට අවධානය යොමු කිරීමයි. නමුත්, අපේ දූපත් මානසිකත්වය නිසා මිථ්‍යාවේ ගිලෙනවා වගේම ලෝකය ජය ගන්න පුළුවන් ජෛව විවිධත්වයේ අපේ අයිතිය ලෝකයේ වෙනත් රටවලට ලබා ගන්න ඉඩ දීලා. අපේ රට වටේට තිබෙන මුහුදේ ජෛව විවිධත්වය සලකා බැලුවත්, ඒ වගේමයි. ඇත්තටම එහෙම හිතන කොට හරි ම කම්පාවක් ඇති වෙනවා. අප සතු සම්පත් ගැන අපි තාම හරියට දන්නේ නැහැ. පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන් මුහුදු පැළෑටි රාශියක් අපේ රට වටේ තිබෙනවා. ඒවා නිස්සාරණය කර නිෂ්පාදනය කර ගත හැකි ඖෂධ හත අටක් තිබෙනවා. අපේ රටට ඒක ම විශාල සම්පතක් කර ගන්න පුළුවන්. ලෝකයට පිළිකා ඖෂධ නිෂ්පාදනය කර දියුණු වෙනවා වෙනුවට පිළිකාවෙන් මිය යන වැඩි ම රෝගීන් සිටින රටක් බවට අපි පත් වී සිටිනවා. මිථ්‍යාවේ ගිලෙමින්, විද්‍යාව අත්හැරීමේ ප්‍රතිඵල වී තිබෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයන්.

සංවාද සටහන ප්රියදර්ශන දයාරත්න

Previous articleපොලිස් කොමිසමෙන් පියන් කෙනකු කළ ශානිගේ කතාව
Next articleප්‍රියංකා, ඔබට සුබ ගමන් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here