මහ පොළොවට සමාන්තරයි

සිමෙන්ති කොට්ටයක් තියා හාල් මුට්ටයක් ගන්නත් දෙසැරයක් නෙවෙයි, කීප සැරයක් හිතන්න සිද්ධ වෙච්චි කාලෙක කල්‍යාණිත් පටන් අරන් තිබුණෙ ගෙයක් හදන්න. ඒ හින්දමයි  මිතුරු නඩය තීන්දු කළේ  ශ්‍රමය යොදවා කළ හැකි සියලු‍ වැඩ සෙට් වෙලා කරලා දෙන්න. ඒ අනුවයි, ඒ නිවාඩු දවස යොදා ගත්තෙ ෆවුන්ඩේෂන් එකට පස් පුරවන්න.

“ඔක්කොම කට්ටිය දහයක්, දොළහක් විතර ඉඳියි වැඩේට. ඔයාට තියෙන්නෙ දවල් කෑම ටික හදාගෙන එන එක” නන්ද කිව්වෙ කල්‍යාණිට.

“දහයකට, දොළහකට කන්න…. මේ දවස්වල. ඊට වාසියි, ඔය වැඩේ කුලියට කර ගන්න එක. තව බෝතලු‍ත් ගේන්න වෙනව ද…?” කල්‍යාණි එබුණෙ නන්දගෙ කනට.

“දෙකක්වත් නැතුව බෑ නෙ.” නන්දගෙ උත්තරෙත් එක්ක මූණ ඇද කරගත්තු කල්‍යාණි කිව්වෙ, “මේ වැඩේ කුලියට කරමු” කියලමයි.

“කවද ඉඳල ද ඔහොම ගණන් හදලා ඉතුරු කරන්න පටන් ගත්තෙ…?” නන්ද ඇහැව්වෙ ටිකක් සැර ටෝන් එකකින්.

“තළන බට්ටත් කනව ද නැද්ද කියලා කඩේට ගිහින් හිතන්න සිද්ධ වුණු දවසෙ ඉඳන්…” කල්‍යාණි උත්තර දුන්නෙ සුපුරුදු සන්සුන් ස්වරයෙන්.

පහුවෙනිදා උදේ ඉඳන් කල්‍යාණි සෙට් වුණේ උයමනට. කෑම ගෙනියන්න එන්න කියල පණිවිඩේ දීලා පැයක් ගියත් කවුරුවත් ආවෙ නැති හන්දා කල්‍යාණි හිටියෙ නො ඉවසිල්ලෙන්.

“එනවයි කිව්වට ඔතන ඉන්නවුන් ටික බීලා වෙරි මරගාතෙ ඇති. ආයෙ කතා කරල බලන්න… පිරිමි නෙ…” ඒ කිව්වෙ කල්‍යාණිගෙ අම්මා.

“පිස්සු ද අම්මෙ… එහෙම කරන්නෙ කොහෙ ද…? වැඩේ ඉවර වෙලා පිළිවෙළකට ඒ වැඩේ කරයි.” කල්‍යාණිගෙ උත්තරේට කට කොනෙන් හිනා වුණු අම්මා පෙරළ ගත්තෙ බණ පොතක්. එතකොටමයි කල්‍යාණිගෙ මොබයිලෙ නද  දුන්නෙ.

“කට්ටිය ඉන්නෙ මහ පොළොවට සමාන්තරව. ට්‍රයිෂො එකක් අරන් එන්න කියලයි මෙතැන ඉන්න ප්‍රජාව කියන්නෙ…” ඒ ආවෙ ජයම්පතිගෙ කටහඬ.

“තොපි හොඳයි…” දත්මිටි කාපු කල්‍යාණි දිහා බලපු අම්මා කිව්වෙ, “සිරිදූවෙ පිරිමි ගැන උඹ තාම දන්නැද්ද? ඒක තමයි, වේලාසන මං කිව්වෙ.” කියලයි.

සමාන්තරව, ලම්බකව, ආනතව, මේ මොන විදියට හිටියත් කට්ටිය ගිනිකසේට වැඩ කරන හැටි දැක්කම නං එතැනට ගිය කල්‍යාණිටත් ආවෙ අපූරු හිනාවක්. පුරුෂ පරාණ මඳිවට රාධයි, සීතයි, ප්‍රමිලයි, උදුම්බරයිත් එතැන.

උදේ පාන්දරින් ම එනවයි කිව්ව මඝ එතැනට ආවෙ මද්දහනත් පහුවෙලා. අතරමඟදි  කල්‍යාණිත් දැකල තිබුණා මෝටර් සයිකලේ තල්ලු‍ කරන් එන මඝ. කඳු හරියක් ආවොත් තල්ලු‍ කරන මඝ පල්ලමක් එනකොට වාඩි වෙලා පල්ලමේ යනවා. පල්ලම ඉවර වුණා ම ආයෙ තල්ලු‍ කරනවා. පාර දෙපැත්තෙ සෙනඟ බලන් හිටියත්, ඒ විදියට තමයි මඝ පාරෙ ආවෙ. කල්‍යාණි ඇවිත් කිව්වෙ, “මඝ‌ගෙ බයිසිකලේ කැඩිලා තල්ලු‍ කරන් එනවා” කියලයි.

හතිමුනින් දාගෙන, දාඩිය පෙරාගෙන පල්ලමේ වාඩිවෙලා ආව මඝ බයිසිකලෙන් බහිද්දී, රාමා ඇහැව්වෙ, “මොකද්ද අවුල…?” කියලයි.

“අනවශ්‍ය පරිබෝජනෙ වළක්කනවා බං… කන්ද තල්ලු‍ කරලා පල්ලමේ නැඟලා එනවා…” මඝ කිව්වෙ හති හල හලා.

කට්ටිය ම තූෂ්ණීම්භූත වෙලා මඝ දිහා බැලු‍වෙ මේකගෙ ඔළුව නරක් වීගෙන එනව ද කියන හැඟීම හිතේ හංගගෙනයි.

හවස තුන, හතර වෙද්දී වැඩකාරයන්ට ප්ලේන්ටියක් බීමේ වුවමනාව තිබුණත්, අදහස ලත් තැන ම ලොප් කරන්න වුණේ එකම බවලතියක්වත් එතැන නො හිටි නිසයි. තවත් පැයකට විතර පස්සෙ කට්ටිය ආවේ  හරකුන්ට කන්න වගේ කොළ පුරවපු පෝර බෑග් එක්ක. තෙබු, සිංගප්පූරු, මුරුංගා කොළ, හබර ගොබ තව එක එක විදියෙ කැලෑ කොළ.

“දැන් ඉතින් කඩෙන් ගන්න බෑ. වැටවල් දිගේ ගිහින් කොළ ටිකක් කඩා ගත්තා. මේ ටිකෙන් සතියක් ගොඩ දා ගන්න පුළුවන්…” රාධා කිව්වෙ බිරාන්ත වෙලා බලන් ඉන්න පුරුෂ පරාණ දිහාට හැරිලයි.

■ හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ
Leave A Reply

Your email address will not be published.

three + 11 =