ආයිබොවන්ඩ පී.බී..,

ඉස්සර කාලෙ අපි අහල තිබුණ නෙ ආයිබොවන්ඩ නැව ගිලුනත් බෑං චූං කියල කතාවක්. නැවේ කට ගාවට වතුර පිරුනත් බෑංකාරයන්ට උන්දැලාගෙ බෑං ගැහිල්ල නතර කොරන්ඩ බැහැ කියනව නෙ. හැබැයි ඉතිං වෙන මොනව නැතත් අපේ සෑර්ලගෙ එක හොඳක් තියෙන්නෙ රටට හෙණ ගැහුවත් අපිට මක්ක ද කියල පුල් චූන් එකේ ඉන්න එක. බාගෙ වෙලාවට අපේ ලොකු සෑර්ටත් ඔය වගේ චූන් පාට් හුරුපුරුදු වෙන්ඩ ඇත්තෙ උන්නැහැගෙ මවු රටේදි වෙන්ඩ ඇති. මොකද ඉතිං ඔය ඇමෙරිකන්කාරයොත් ලෝස් නැතුව ආතල් ගන්න පොරවල් නෙ.

තමුන්නැහැ අපෙ සෑර්ගෙ පුරෝහිත තානාන්තරෙන් ඉල්ලා අස්වෙන්ඩ ප්‍රදාන හේතුව සෑර්ලගෙ කස්ටියෙ මෝඩ චූන් පාලනේ කොරන්ඩ යාමය කියන්නෙ හැබෑ ද? අපේ සෑර්ට බාර දුන්නය කියන ලව් ලැටර් එකේ පිටු ගානක්ම ලියවිලා තිබුණෙ රාජාණ්ඩුවේ අග්ගරාමාත්තිය ඇතු`ඵ කැබිනට්ටු යෝදයන්ගේ චූන් වියාපුරුති ගැන ය කියලත් කතාවක් තියෙනවා. ඇත්තටම ආයිබොවන්ඩ ඔය කැබිනට්ටුවෝ ගහන ගහන පදේට නටන්ඩ තමුන්නැහැ රාජාණ්ඩුවේ රාජකීය නැට්ටුවා හෙම නෙවේ නෙ නේද? අනිත් අතට අපට මක්ක වෙතත් අඩුම ගානෙ ඔය කියන වියාපුරුතිවලින් තමුන්නැහැලටවත් වාසියක් සිද්ද වෙනව නං මදැයි. එහෙම නැතුව කොහොමද පි.බී. අපෙ සෑර්ගේ සවුබාගේ දැක්මෙ හීනෙ හැබෑ කොරන්නෙ.

තමුන්නැහැට හොඳටම විස්සාස ද පී.බී. ඔහේ පීඇච්ඩී තීසියැස් එක ලිව්වටත් වඩා කරුණු හොයා බලා බොහොමෙ වෙහෙස මහන්සියෙන් ලියාපු ලියුන් කඩදාසිය අපේ සෑර් කියවලා බලන්ඩ ඇති කියල. ඔහේගෙන්  දිගින්දිගටම ගේම ඉල්ලන විමලෙලා, ගම්මන්ලා වගේ වියාපුරුති කප්පිත්තන්ටනං ඇට්ටි හැලෙන්ඩම දීලා ඇති මයෙ හිතේ. හැබැයි මෙහෙම අහනවට මැන්ටලේ අවුල් කොර ගන්ඩ එපා ආයුබොවන්ඩ. අපේ සෑර් නිකන් ඩෝන්ට් කෙයාර් පාට් එකෙන් පී.බී.ගේ ලියුම බාර ගත්ත ආකාරයෙන් නං පෙන්නුම් කළේ ඒ තරං සුබ ලකුණු නෙවේ. ඒකෙන් ආයෙමත් ඔප්පු වෙන්නේ රාජපක්ස සහෝදර සමාගමේ ගේම්ස් අල්ලන්න තමුන්නැහැ පාස් කොරපු විබාග මඳි කියලයි.

සුප්පරකට සූස්තරවේදී සෙනරත් සූරයා දැනටමත් ඔහේගේ පුටුවට අරක්ගෙන අහවරයි. ඔහෙත් එක්ක ඇරියස් තියෙන චමල් ලොක්කාගේ චක්ගෝලයෙක් නේ ද එතකොට සෙනරත් වැජඹුණු ආසනේට පත් වෙන්නේ. කොහොම ද අපේ සෑර්ගේ පුංචි-ටිකිරි බෙරේන් පොජ්ජ. දැන් ඉතිං පී.බී. කුණුකූඩෙට දාපු චමල්-විමල් සැට් එකේම වියාපුරුතිවලට පට් පට් ගාලා පණපෙවේවි. ඔහේගෙ මහ ලොකු විසේසඥ දැනුමෙන් මෙච්චර කාලෙකට රටට සතපහක පරයෝජනයක් සිද්ද නොවුන වග දිලිත්ලගේ, දුමින්දලාගේ නාළිකාවල විතරක් නෙමේ මහා යෝදයෙක් විදිහට පී.බී.ව ජනමාද්දියේත් තොරතෝංචියක් නැතුව දෙසාබාන්ඩ පටන් ගන්නවා සත්තයි.

නිකං මූනිච්චාවට කියනවා හෙම නෙවෙයි මහත්තයෝ… අපේ හාට්වල නං තමුන්නැහැට අත් වුණ මේ සන්තැසිය ගැන සෑහෙන සෑඩ් එකක් තියෙනවා. ඒ වගේම අපි බොක්කෙන්ම දන්නවා තමුන්නැහැ පුදුමාකාර කැප කිරීමකින් ඔය තානාන්තරෙ බාර ගත් බව. කොටින්ම කියනව නං ආණ්ඩුවේ රාජකාරියක් බාර ගන්න එපා කියලා අධිකොරණෙ පවා නියෝග පනවලා තියෙද්දි, ඒවා තුට්ටුවකටවත් මායිම් නොකර ඔහේ මේ අවදානමට කරගැහුවේ මොන තරං පරම පවිත්තර චේතනාවෙන් ද? බලන්ඩ කෝ පී.බී. අපේ මොළ හතානොත් ගමේ ගිය වෙලාවකම නෙ නැති බැරි අපි තමුන්නැහැලටම මෙහෙම අකරතැබ්බ වෙන්නෙ. කුප්පියක් පත්තු කරගන්ඩ තිබුණ අපේ ලාම්පුතෙල් ඇබිත්තටත් මුන් කෙළියෙ එතුමා ඩිංගක් එහා මෙහා වෙන කං බලා ඉඳලනෙ. හොඳයි, නැද්ද මං අහන්නෙ…?●

 

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

4 + 11 =