සුබ නව රටක් බිහි කරමු !

“සුබ නව වසරක් වේවා !” දෙසැම්බර් අවසන් සතිය සහ ජනවාරි මුල් සතිය අපට ඇසෙන්නේ එලෙස අලුත් අවුරුදු ආසිරි පැතුම් ය. දින දර්ශනයට අනුව නව වසරක් එළැඹ තිබේ. පරම්පරා ගණනාවක්ම මෙම පැතුම මෙලෙස රටවැසි මුව’ග රැව් නැඟුණේ ය. නමුත්, පරම්පරා හතකට ආසන්නව වසරවලින් 73කට අධික කාලයක් ආපස්සට බැලූ කල රටේ ශේෂ පත්‍රය කුමක් ද?

ජනවාරි මසට පමණක් අවශ්‍ය ඛනිජ තෙල් ගෙන්වීමට ඇමෙරිකානු ඩොලර් කෝටි 42ක (ලංකා රුපියල් කෝටි 8,610ක පමණ) මුදලක් සොයා ගන්නේ කෙසේ දැයි විමසමින්, සතර අතේ දුවන්නට සිදුව තිබේ. එළැඹෙන ජනවාරි 18 වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කරයක් පියවීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව 2022 වසරේ ගෙවිය යුතු සමස්ත ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5කි. රටට ප්‍රමාණවත් විදේශ සංචිත නැත. ඩොලර් අවශ්‍යව තිබේ.

චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5ක් වටිනා යුවාන් බිලියන 10ක් ලැබී තිබේ. මෙම මුදල් යෙදැවිය හැක්කේ චීනයෙන් කෙරෙන භාණ්ඩ ආනයනය සඳහා පමණි. මෙම තත්ත්වය තුළ විදෙස් ණය ගෙවීම් සහ භාණ්ඩ ආනයනය අසීරු ය. ගිය වසරේ අග සිට මේ වන තෙක් ආනයනික භාණ්ඩ කන්ටේනර් 1,500කට අධික ප්‍රමාණයක් ඩොලර් හිඟය නිසාවෙන් වරායේ සිරව තිබේ. එබැවින්, විදෙස් රටවල් හමුවේ රට බංකොළොත් වීමක අවදානමක් සමඟ නව වසර ආරම්භ වී තිබේ.

ගෙවුණු වසරේ නොවැම්බර් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.6ක් දක්වා (සති පහකට අවශ්‍ය ආනයනික භාණ්ඩ ප්‍රමාණයක් ගෙන්වීමට පමණක් සෑහේ.) පහළ ගියේය. ද්විපාර්ශ්වික මුදල් හුවමාරුව යටතේ චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5ක් වටිනා යුවාන් බිලියන 10ක් ලැබී තිබේ. මෙම මුදල් යෙදැවිය හැක්කේ චීනයෙන් කෙරෙන භාණ්ඩ ආනයනය සඳහා පමණි. මෙම තත්ත්වය තුළ විදෙස් ණය ගෙවීම් සහ භාණ්ඩ ආනයනය අසීරු ය. ගිය වසරේ අග සිට මේ වන තෙක් ආනයනික භාණ්ඩ කන්ටේනර් 1,500කට අධික ප්‍රමාණයක් ඩොලර් හිඟය නිසාවෙන් වරායේ සිරව තිබේ. එබැවින්, විදෙස් රටවල් හමුවේ රට බංකොළොත් වීමක අවදානමක් සමඟ නව වසර ආරම්භ වී තිබේ. රට තුළ දැවැන්ත භාණ්ඩ හිඟයක් ඇති වෙමින් පවතී. මහ බැංකු සංඥා අනුව රටේ උද්ධමනය අධිඋද්ධමනයක් වෙමින් තිබේ. එම තත්ත්වයට එළැඹි පසු රුපියල් ද ගල්කැට වැලිකැට තත්ත්වයට පත් වනු ඇති.

මේ සියලු තත්ත්වයන්ට ඔවුන් පිළියම් සොයන්නේ ද මෙතෙක් ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස, බණ්ඩාරනායක පවුල, රාජපක්ෂ පවුල ගෙන ගිය පාලන රටාව තුළම ය. සැබැවින්ම මෙම ආර්ථික ප්‍රතිපත්ති වසර 73ක් දක්වාම ඈතට දිව යයි. 77න් පසුව වෙනසක් යැයි සිදු කරන්නේ පෞද්ගලික අංශය තර කරමින් ආණ්ඩු රටේ වගකීමෙන් නිදහස් වීම පමණයි. එනිසා ගෙවුණු වසර 73ක සියලු පාලකයෝ මෙහි වගඋත්තරකරුවෝ ය. දැන් වර්තමාන රාජපක්ෂ පවුල් පාලනය රටේ පවතින ආර්ථික ක්‍රමයේ ඈවරකරුවන් බවට පත්ව සිටී.

පාලකයන්ට තව දුරටත් මේ ක්‍රමය තුළ ඉදිරියට යාමට නොහැකි බව දැනෙමින් ඇත. ජනතාවට ද තව දුරටත් මේ සමාජ – ආර්ථික ක්‍රමය තුළ ඉදිරියට යා නොහැකි බව දැනෙමින් ඇත. එනම්, සමාජ – ආර්ථික ක්‍රමයේ මහා පරිවර්තනයක් විෂයමූල තත්ත්වය විසින් ඉල්ලා තිබේ. දැන් රට බේරා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම වැනි සටන් පාඨ ඔස්සේ සාම්ප්‍රදායික ධනපති පක්ෂ මෙතෙක් මාරුවෙන් මාරුවට කරගෙන ගිය ‘ඊනියා වෙනස’ යන්න අදාළ නොවේ. රටේ මූලික ප්‍රශ්නය ආර්ථික අර්බුදයයි. ආණ්ඩුව එයට පිළියම් නොමැතිව බණ කියමින් කරුවලේ දුම්මැස්ස අතගාමින් සිටී. සාම්ප්‍රදායික විපක්ෂය කඩුල්ල මත වාඩි වී අමුඩය ගැසූ ගමරාල සේ අර්බුදයට සාම්ප්‍රදායික උත්තරම බඳිමින්,  ඉන් ගැල වීගත නොහැකිව ජනතාවගෙන් වියෝව හුදකලාව සිටී. වංචා, දූෂණ හා වැරැදි ආර්ථික ප්‍රතිපත්ති අනුව සාම්ප්‍රදායික ධනපති පක්ෂ දෙකම එක වල්ලේ පොල් ය.

දැන් රටට අවශ්‍ය මේ ආර්ථික උගුලෙන් ගැලවෙන මාර්ගයකි. ඒ සඳහා නිවැරැදි දැක්මකින් සකස් කරනු ලබන නව ආර්ථික ප්‍රතිපත්ති අවශ්‍ය ය. ඒවා ක්‍රියාවට නැඟීමට බලයට පත් විය යුත්තේ රටේ දේපළ නොවිකුණන, මහජන ධනය සොරා නොකන, ජනතා සහභාගිත්වය සහිත පාලනයක් සඳහා කටයුතු කරන නව පාලන කණ්ඩායමකි. එය මෙම සාම්ප්‍රදායික දේශපාලනයේ සැබෑ විකල්පය විය යුතු ය. ජනතාව එම විකල්පයේ වගකීම්සහගත මෙහෙයුම්කරුවන් විය යුතු ය. ඒ සඳහා නව වැඩපිළිවෙළක්, නව බලවේගයක් පෙරටුව නව චින්තනයක් සහිත නව ජනතාවක් ලෙස සංවිධානය වීමට රටට හිතැති සියල්ලන්ට ශක්තිය, ධෛර්යය හා විශ්වාසය ඇති වේවා! ජනතාවට සුබම සුබ නව වසරකින් එහා යන සුබ නව රටක් උදා කර ගැනීමට හැකිවේවා! යන්න ‘ලංකා’ අපගේ අව්‍යාජ ප්‍රාර්ථනයයි●

 

 

Leave A Reply

Your email address will not be published.

4 + six =