ව්‍යවස්ථා බලය ඉක්මවන ජනතා බලය

85
ගෝඨාභය රාජපක්ෂ බලයට ආ විගස කිව්වේ, දහනව වැනි සංශෝධනය නිසා වැඩ කරන්න බලයක් නැති බව ය. වහා ම එය වෙනස් කළ යුතු බව කිව්වේ ඒ නිසා ය. මහ මැතිවරණයේ දී එයට අවශ්‍ය තුනෙන් දෙකේ බලය ද ලැබිණි. පාර්ලිමේන්තුව පිහිටු වූ පළමු අවස්ථාවේ ම කර ගත්තේ දහනවය අහෝසි කිරීම ය. ඒ වෙනුවට විසිවැනි සංශෝධනය අනුමත කර ගැනීම ය. හරියට ම බැලුවොත්, විස්සෙන් ජේ. ආර්.ට තිබ බලයටත් වඩා බලයක් ලබා ගත්තේ ය. හැත්තෑ අටේ ව්‍යවස්ථාවේ නොතිබූ බලතල ප්‍රමාණයක් ද විස්සට ඇතුළත් කර ගත්තේය.

එදා තමන් දීපු ඡන්දය නැවත කැඳවා ගන්න ක්‍රමයක් ඇත්තේ නම්, හෙට වුණත් ආණ්ඩුව ගෙදර යැවිය හැකි ය. ඒත්, අපේ රටේ ව්‍යවස්ථාව අනුව එහෙම ක්‍රමයක් නැත. අඩු ම ගාණේ දුන් පොරොන්දු ඉටු නොකරන ආණ්ඩුවක් ජනතාවගේ ඡන්ද බලයකින් ආපසු කැඳවීමේ බලයක් ද නැත්තේ ය. ව්‍යවස්ථාවට අනුව ඉවසා දරා සිටිය යුතුව ඇත්තේ ය.

එහෙම බැලුවා ම ඝෝඨාභය රාජපක්ෂට අසීමිත විධායක බලයක් ඇත්තේ ය. පාර්ලිමේන්තුව තුළ ද තුනෙන් දෙකේ බලයක් ලැබුණේ ය. පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීම සඳහා වූ සියලු ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ බලය ද ජනාධිපතිට ඇත්තේ ය. තමන්ට ඕනෑ ඕනෑ විදියට ආණ්ඩුකාරවරු ද පත් කර ගත්තේ ය. සියලු ම පළාත් සභා කටයුතු ක්‍රියාත්මක වන්නේ එම ආණ්ඩුකාරවරුන් හරහාය. ඒ කියන්නේ, ඝෝඨාභයට ඕනෑ විදියටය. රටේ බහුතරයක් ප්‍රාදේශීය සභා, නගර සභා පාලනයන් ඇත්තේ ද ජනාධිපතිගේ වුවමනා-එපාකම් ඉටු කිරීමේ හැකියාව මත ය. එනම්, රාජපක්‍ෂ පාලනය සතුව ය. රටේ ජනාධිපතිගේ විධායක බලතල ද, කැබිනට්ටුවේ විධායක බලතල ද, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලතල ද, පළාත් සභා බලතල ද, නගර සභා, ප්‍රාදේශීය සභා සියලු බලතල ද ඇත්තේය.

සියල්ල තනි කැමැත්තට

එමතු ද නොව විසිවැනි සංශෝධනයෙන් අධිකරණයේ තනතුරු පත් කිරීමේ බලය ද ඔහු අතට ගත්තේ ය. අගවිනිසුරු ඇතුළු ඉහළ උසාවිවල විනිශ්චයකාරවරුන් පත් කළේ ද ඝෝඨාභයගේ කැමැත්තට අනුව ය. නීතිපති, පොලිස්පති ඇතුළු ඉහළ තනතුරු සියල්ල පත් කළේ ඔහුගේ කැමැත්ත අනුව ය. අමාත්‍යාංශ ලේකම්වරුන්, විදේශ තානාපතිවරුන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු සියලු දෙනා පත් කළේ ද එකී බලතල පාවිච්චි කර ගනිමින් ය. බොහෝ තනතුරු සඳහා හමුදාවේ හිටපු නිලධාරීන් ද පත් කළේ ය. මේ බලතලවලට එහා ගිහින් ජනාධිපති කාර්යසාධක බළකාවල් ද හැටහුටහමාරක් පත් කළේ ය. එහෙම ගතහොත්, හැම දේකට ම වාගේ කාර්යසාධක බළකායවල් ද ඇත්තේය. රට හදන්න ඕනෑවටත් වඩා බලතල ඇත්තේ ය. ඒ ඔක්කො ම තිබිලාත්, රට හදනවා තියා තියෙන විදියට පවත්වාගෙන යන්නවත් අසමත්ව ඇත. දැන් කටක් ඇරලා, රට හදන්න ලැබිච්ච බලය මඳි යැයි කියන්න බැරි ය. ජනතාව කියන්නේ, “මුන්ට මෙච්චර බලය තිබිලත්, එක වැඩක්වත් හරියට කර ගන්න බැරි වුණා නේ” යන්න ය.

ස’ත් ෆේල් ගෝලයොත් ෆේල්

නන්දසේන ඝෝඨාභයගේ ඉඳලා සියලු අමාත්‍යවරුන් ෆේල් වී අවසන් ය. අමාත්‍යාංශ ලේකම්වරු, සංස්ථා සභාපතිවරු, අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෝ ගොඩක් ඉල්ලා අස්වුණහ. අලුත්ම ඉල්ලා අස් වීම ජනාධිපති ලේකම්, පී. බී. ජයසුන්දරගේ ය. ඉල්ලා අස් වන වාරයක් වාරයක් පාසා සියලු වැරැදි ඒ අය මත පටවන්නේ ය. ඊයේ පෙරේදා ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ද එවැන්නක් ම කළේ ය. කාබනික පොහොර වැඩේට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහයෝගයක් නොලැබුණු බවක් කිව්වේ ය. වැඩේ වැරැදුණේ ඒ නිසා යැයි කියන්න උත්සාහ කිරීම එහි අරමුණ වූයේ ය. මැකියාවෙලි ද ඔවැන්නක් ගැන ම කියයි. තමන්ගේ බැරිකම වහගන්න රාජාණ්ඩු රජා කරන්නේ එක් ඇමැතියකු පිට සියල්ල පැටවීම ය. අවසානයේ ඒ ඇමැතියාගේ හිස ගසා දැමීම ය. ඒකෙන් බැරිකම වහ ගැනීම පාලන ක්‍රමයේ තවත් එක් උපක්‍රමයක් බව මැකියාවෙලි කියයි.
ඉල්ලා අස් වන අය අස්විය යුත්තේ මහජන දේපළ කොල්ලකෑමේ වරදට ය. දෙදහස් දහහතර අවුරුද්දේ ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරිය ඉල්ලා අස් වුණා ය. ඒ ඇයගේ යහළුවකු ඩොලර් හාරසියයක් වටිනා වයින් බෝතලයක් ඇයට තෑගි වශයෙන් ලබා දීම හරහා වක්‍රව යම් අල්ලසක් ලබා ගත්තා යැයි කියන වරදට ය. එය මාධ්‍ය මඟින් අනාවරණය වීමත් සමඟ ඇය ඉල්ලා අස්වූවා ය.

ජෙට් එකෙන් තිරුපති යෑම

ලංකාවේ මහින්ද රාජපක්‍ෂ ඉන්දියාවේ චෙන්නායිවලට ගියේ අමුතුම වර්ගයේ ජෙට් යානයකිනි. “එය දීලා තියෙන්නේ, තාත්තාගේ යාළුවෙක්. මම ඒ කවුද කියලා දන්නේ නැහැ යැ”යි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, යෝෂිත රාජපක්‍ෂ කියා ඇත. උගන්ඩාවේ සිට ලංකාවට ආවේ පැය භාගයක චෙන්නායි ගුවන් ගමන සඳහා ය. අපූරු තෑග්ගක් ය. මෙය හරියට යාපනයේ ඉඳලා කාර් එකේ කොළඹට ඇවිල්ලා, බත්තරමුල්ලට යන්න ආවා වාගේ වැඩක් ය. ඩොලර් මිලියන ගණනක් වියදම් කළ ඒ වැඩේට කිසිදු ඉල්ලා අස්වීමක් නැත. වගකීම ඉටු කරන්න බැරිකම ඉල්ලා අස්වීමෙන් වහ ගන්න එක අලුත් දෙයක් නොවේ ය.
මෙතෙක් වූ ඉල්ලා අස්වීම් පිටුපස්සේ ඇත්තේ, විධායකයේ බලහත්කාරය හා බැඳුණු සිදුවීම් ය. කලකිරීම් නිසා වූ දේවල් කිහිපයක් ද ඒ අතර ඇත්තේ ය. කොහොම වුණත්, ෆේල් වීම ඉල්ලා අස්වීමෙන් වහ ගන්නට බැරි ය. එක එක් නිලධාරියා ඉල්ලා අස්වීමෙන් ජනතාවට සිදු වන යහපතක් ද නැත. ඉල්ලා අස්විය යුත්තේ, ඝොඨාභය ඇතුළු මුළු ආණ්ඩුව ම ය. ජනතාවගේ දැඩි වුවමනාව වී ඇත්තේ, එයයි. රටත්, ජනතාවත් මේ සා බරපතළ අර්බුදයකට ඇදවැට්ට වූ ආණ්ඩුව ඉල්ලා අස් වන්නේ නැත්නම්, ඉක්මනින් ගෙදර යවන්නේ කොහොම ද යන්න ජනතාවට ඇති ප්‍රශ්නයයි.

ගෙදර යවන පාර දුර ය

එදා තමන් දීපු ඡන්දය නැවත කැඳවා ගන්න ක්‍රමයක් ඇත්තේ නම්, හෙට වුණත් ආණ්ඩුව ගෙදර යැවිය හැකි ය. ඒත්, අපේ රටේ ව්‍යවස්ථාව අනුව එහෙම ක්‍රමයක් නැත. අඩු ම ගාණේ දුන් පොරොන්දු ඉටු නොකරන ආණ්ඩුවක් ජනතාවගේ ඡන්ද බලයකින් ආපසු කැඳවීමේ බලයක් ද නැත්තේ ය. ව්‍යවස්ථාවට අනුව ඉවසා දරා සිටිය යුතුව ඇත්තේ ය.
හැත්තෑඅටේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තේරී පත් වී වසරක් තුළ එය විසුරුවාහැරීමේ බලයක් තිබිණි. ඒ බලය රනිල්ගේ ‘රට බෙදන – රට විකුණන’ ආණ්ඩුවට එරෙහිව චන්ද්‍රිකා ක්‍රියාත්මක කළා ය. දෙදහස් එකේ අවසානයේ පත් වුණු ආණ්ඩුව දෙදහස් හතරේ මුල විසුරුවා හැරියේ ඒ බලය යොදා ගනිමින් ය. එකී වගන්තිය දහනව වැනි ව්‍යවස්ථාවෙන් වෙනස් කළේ ය. එය පාර්ලිමේන්තුව පිහිටුවා වසර හතරහමාරකින් පසුව කළ හැකි බවට වගන්තියක් එකතු වුණේ ය. විසිවැනි සංශෝධනයට අනුව නැවත එය වසර දෙකහමාරකට වෙනස් වුණේ ය. එනම්, පාර්ලිමේන්තුව පිහිටුවා වසර දෙකහමාරකින් පසුව අවශ්‍ය නම්, ජනාධිපතිවරයාට එය විසුරුවාහැරිය හැක්කේ ය. එහි 70(1) වගන්තිය කියන්නේ, “ජනාධිපතිවරයා විසින් කලින් කල කරනු ලබන ප්‍රකාශයක් මඟින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම කළ හැක්කේ ය.
“එසේ වුව ද, (අ) (ඈ) වන ඡේදයේ විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙස යෝජනා සම්මතයක් මඟින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස ඒ පාර්ලිමේන්තුව පළමුවරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස හයකට නො අඩු කාලසීමවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරිය නොයුත්තේ ය…” යන ලෙස ය.
ඒ කියන්නේ, දෙදහස් විසිතුනේ මාර්තු මාසය වන තෙක් විසුරුවා හරින්නේ නැති බව ය – තව අවුරුද්දකුත් මාස තුනක් යන තෙක් ජනාධිපතිවරයා විසුරුවා හරින්නේ නැති බව ය.  පාර්ලිමේන්තු යෝජනා සම්මතය යන්න අද තත්ත්වය අනුව පහසු කටයුත්තක් නොවන්නේ ය. ඊ ළඟට ඇති විකල්පය නම්, අය-වැය පරාජය වීම ය. එය එන්නේත්, ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දී ය. මේ දෙක ම සිදු නොවන්නේ නම්, ව්‍යවස්ථාව අනුව ඊ ළඟ ජනාධිපතිවරණයක් එන්නේ දෙදහස් විසිහතර නොවැම්බර් මාසයේ දී ය. එනම්, තව අවුරුදු තුනකින්ය. ඒත් එක්ක ම මහ මැතිවරණයක් ද සාමාන්‍යයෙන් එන්නේ ය. ව්‍යවස්ථාවට අනුව මහ මැතිවරණයක් නියමිත ලෙස එන්නේ, දෙදහස් විසිපහේ අගෝස්තු මාසයේ දී ය. එනම්, තව අවුරුදු හතරකින් ය.
ජනාධිපතිවරයාට අවශ්‍ය නම්, අවුරුදු පහම ඉන්නේ නැතිව අවුරුදු හතරකින් පසු ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව ඇත. එය ව්‍යවස්ථාවේ 31(3)(අ) වගන්තියේ මෙසේ සඳහන් වන්නේ ය:
“තම අභිලාෂය, තම ප්‍රථම ධුර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත් වීමෙන් පසු යම් අවස්ථාවක, ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැක්කේය.” එනම්, අවශ්‍ය නම්, දෙදහස් විසිතුනේ නොවැම්බර් දහසය වැනිදායින් පසු දිනයක ජනාධිපතිවරණයක් කලින් කැඳවීමේ හැකියාව ගෝඨාභයට ඇත්තේය.

ජන බලය සියල්ලට ඉදිරියෙන්

මේ කොයි ක්‍රමයට ගත්තත්, ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ විසින් පාර්ලිමේන්තුව විසුරුවීමක් හෝ ජනාධිපතිවරණයක් කැඳවීමක් හෝ තව කාලයක් යන වැඩක් ය. එහෙත්, ජනතාව ඉන්නේ හෙට පුළුවන් නම්, ආණ්ඩුව හෙට ම ගෙදර යවන්න බලාගෙන ය. එයට ඇත්තේ, එක ම ක්‍රමයකි. මේ දැවෙමින් තිබෙන මහා බරපතළ ආර්ථික – දේශපාලන අර්බුදය හමුවේ දැවැන්ත ජනතා විරෝධයක් ආණ්ඩුවට එරෙහිව එල්ල වීම ය. දැනටමත් එය ආරම්භ වී අවසන්ය.
තැන තැන ඇමැතිවරුන්ට ‘හූ’ කියන්නට පටන්ගෙන තිබේ. බොහෝ ඇමැතිවරුන්ට මහජන හමුවීම්වලට යන්න බැරි තත්ත්වයක් උදා වී තිබේ. දිනෙන් දින මතු වෙන මහජන විරෝධය හමුවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ද වෙනස් වීමට බල කෙරෙනු ඇත. විධායක බලයට, තුනෙන් දෙකේ බලයට වඩා මහජන බලය බලගතු ය. ව්‍යවස්ථාවේ, නීතියේ කුමක් සඳහන් වුව ද, මහජනතාව බලසම්පන්න වූ විට සියල්ල අනෙක් පැත්තට හැරවිය හැකි ය. එය වැළැක්වීමට කිසිදු අධිකාරීමය බලයකට හැකියාවක් නැත. ගුරුවරුන්ගේ ඒකරාශී වීමෙන් පෙන්නුම් කළේ එයයි. හෙට දවසේ රටට අවශ්‍ය වී ඇත්තේ එවැනි ජනතා බලවේගයකි●

ජගදාක්‍ෂි

 
 
 

Previous articleලංකා e-paper (2022.01.02)
Next articleසුබ නව රටක් බිහි කරමු !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here