“කපිලගේ කාව්‍යමාලාව පුරා ශෝකි රසයක් හුයක් සේ ගලා යන බව මට දැනුණු බව කිය යුතුය”

86

“ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය” —[කපිල එම්. ගමගේ]
සිංහල කවිය, කවිකමින් පිරුණු තරුණ කවි කිවිඳියන් යම් පිරිසකගේ සුසාධනීය දායකත්වයෙන්, බෙහෙවින් ප්‍රශංසාර්හ උස් ස්ථානයකට රැගෙන එනු ලැබ ඇති බවට විචාරකයන් දක්වන මතයට මමද එකඟ වෙමි. ඒ ගමනේදි කවියේ බස නිරන්තර වෙනස්වීම්වලට, අත්හදා බැලීම්වලට බඳුන් වී මේ වන විට කවියේ බස යනු සරල වදන්, කථනයේදි ගැනෙන වදන් හා ඇතැම් විට දෙබස් බහුල එකක් බවට පත්ව ඇති සෙයක් දෘශ්‍යමාන වේ. සිය නිර්මාණවලදි මේ ආකෘතිය තුළම රැඳෙන්න්නට නවකයන් ප්‍රිය කරනවා ඇත්තේ, පහසුව, ජනප්‍රියත්වය හෝ අළෙවිය සලකා විය හැකිය. “කවියේ හදබස” නමින් මතවාදයක් සමාජගත කළ ආචාර්ය ගුණදාස අමරසේකරයන්, මා ඉහත කී කවිබසේ වත්මන් තත්ත්වයට නොරිසිවන්නට පිළිවන. ආචාර්ය අමරසේකරයන්ගේ මතය මා පිළිගන්නා බවක් මෙයින් අදහස් නොකෙරෙන අතර එය බොහෝ සේ සංවාදයට බඳුන් වී ඇති බව ඔබ දන්නෙහිය. මා කියන්නට යන්නේ ආචාර්ය අමරසේකර මහතා තෘප්තිමත් කරනු ඇතැයි අනුමාන කළ හැකි කාව්‍ය සංග්‍රහයක් නොබෝදා පළ වී ඇති වගයි.
කෘතිය, “ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය”යි. කවියා , කපිල එම්. ගමගේය. කපිල ආධුනිකයකු නොවේ. 80 දශකයේ බිහි වූ ජ්‍යෙෂ්ඨ, ප්‍රවීණ කවියකු වන ඔහු මේ පළ කර ඇත්තේ සිය සත්වැනි කවි එකතුවයි. “ඇසතු ගහයට…”කෘතිය පිළිබඳ මගේ මූලික නිරීක්ෂණය නම්, කපිලට ‘රැල්ලට’ වැටෙන්නට වුවමනාවක් නොතිබී ඇති බවයි.අනෙක් අතට පටිසෝතගාමි වන්නට ධෛර්ය සම්පන්න වී ඇති බවයි.මට තව දුරටත් හැඟෙනුයේ, ඔහු ඉතා දැනුවත්ව, කල්පනාකාරීව නිශ්චිත කවිබසක් උපදවාගෙන සියලු කවි පෝෂනය කරගෙන ඇති බවයි.අද දවසේ ෆේස්බුක් මාධ්‍යයේ බහුලව පළ වන කතන්දරාකාර දුර්වල කවිවලට [ ඒ ශෛලියේ යහපත් නිර්මාණ නැතිවා නොවේ] හුරුව ඇති පාඨකයකුට “ඇසතු ගස යට..” කවි දුරස්ථභාවයක් දනවන්නට ඉඩ ඇතත්, ඔහුම ඒවා සීරුවට කියවූවොත් එය සාර්ථක ,විශිෂ්ට කවි විඳුමකට එය පුහුණුවක් වනු ඇත. වැදගත් කරුණ නම්, කපිල සිය කවි බර සාර ගුණයෙන්, ගැඹුරු ස්වභාවයෙන් පොහොණි කරනවා විනා ඒවා ප්‍රහේලිකා බවට පත් නොකිරීමයි.
කපිල ආරම්භ කරන්නේම ආදරයට නැවුම් අර්ථකථනයක් දෙමිනි.
අත්හැරිය පසුව වුව යම් දිනක
සරුංගලයටද පියෑඹිය හැකිය තනිව
සුවඳ, රුව, ගුණ තේජස් බරද
මතකයෙන් මකා දා සැහැල්ලුව
මං කියන්නෙ එයට ආදරය.[1-අත්පසුරෙන් මිදුණු පසු වුව]
කලකිරීම්, අහිමිවීම්, වියෝවීම්, තනිකම්, සාංකාවන්, සමාජ පිරිපත, පීඩිත තරුණ ජීවිත, දාර්ශනික සිතුවිලි ආදි කවර තේමාවක් විෂය කරගත්තද කපිල එය නැවුම් සංදර්භයක පිහිටුවා අපූර්ව ගුණය කවන්නේ එලෙසමය.
මේ තමයි පිවිසුම
එළියක් නුහුරු අන්ධකාරය
ඔව් මේක ඒ බිම්ගෙය
මෙතෙක් නොඇසුව
මට මාව පෙරළා ඇසෙන
හේතුවක් නැතිව
නිතර හඬනා
රළු කටුක බිත්තිවල
පය පැකිල වැටෙන විට
ආදරෙන් ‘හග්’ කරන [13-ඒ බිම්ගෙය හමු වුණි]
ගලවා ඉවත් කරමි සුදු රෝස මල් පඳුර
බිම බලාගෙන උන්න, අවසාන කැකුළටද නොරිදාම
සාර නැත මේ පොළව තවත් ඔබ පුබුදන්න
අවසාන බිඳ තෙක්ම දිය පොහොර දන් දුන්න
මැසි මදුරු උවදුරෙන් වළකන්න
හිස අතගෑව හැටි මතකයිද සනසන්න [37- සුදු රෝස පඳුර ගලවමි]
අප රටේ නගරයක් යනු සාමාන්‍යයෙන් කලබලකාරි, අසුන්දර තැනකි. කපිල, එබඳු නගරයක් මානවීය සිතින්, කවි ඇසින් බලමින් දකින්නේ මොනවාද ? 25-“ප්‍රේමයේ නුගේගොඩ හැඩය” වෙනස්, සියුම් නිරීක්ෂණයකට හොඳ නිදසුනකි.
නුගේගොඩ කියන්නෙම ප්‍රේමයම
සෘතු බේදයක් නැති පොළවකට
හැමදාම මල් පිපෙන උයනකට
නොයෙක පෑ රුව , සුවඳ, විසිතුරට
නොයෙක් මල් පිපෙන්නට ‘බිසී’ සිව්මංසල
මොකක් හෝ හේතුවක් තියෙනවායි සබඳ
‘ෆ්ල්යි ඕවරේ’ යට රෑට නිදනා පවුල, ඒ අතර
දරුවන්ට පාන ප්‍රේමය තමයි හරි ඉහළ
කපිලගේ “ඇසතු ගහ යට….” මට හමු වූ මාහැඟි සම්පත නම් අපමණ, මනරම් කාව්‍යෝක්තින්ය. සාමාන්‍යයෙන් කවි පොතක සියලු කවි සම ලෙසින් සාධනීය නොවන්නේ වුවද, රසාලිප්ත,ආකර්ෂණීය කාව්‍යෝක්තින්ගෙන් පිරුණු කපිලගේ මේ කවි සරණියෙන්,නොමැනවයි කියා පසෙක ලන්නට කවියක් නොමැති තරම්ය. විමසන්න මේ නිදසුන්:
ඉර, නිවාදා එහි පාරජම්බුල කිරණ
යතුර එල්ලයි පුරුදු තුංග කඳු මුදුනතක [3 වැනි කවිය]
නොමළ ආදරය ඇති දොරකින්
අබමිටක් සොයසොයා යන
වන්දනා නඩ පෙනේ
දිව්‍යමය අත්වලින්
කටු ඔටුණු පළන්දන [5වැනි කවිය]
ඇතම් විට
එවන් වූ මතක අපමන
වේදනාවක් නොදෙන විලසට
විනිවිදියි රෝගි හදවත
මධුවිතක් නොලද සවසක.[ 7වැනි කවිය]
හදිසි අනතුරකට
මුහුණ දුන් මතකයක්
වා මුවා වීදුරුව බිඳගෙන
කුඩා තාරකා සේ සැම තැනම විසුරුවයි [9වැනි කවිය]
ඇඟිලි අතරින් හිඩැස් මතු වී
ජීවිතය රූරා වැටෙයි
විලුඹ රිදුණම ගමන නැවතී
සොයුරු මිරිවැඩි ගෙවිගෙවී වුව
කිම්ද කාරණ පිළිවිසියි [10වැනි කවිය]
කෙළවරක් ඇතිබවක්
අසා නැති මුත්
සැමරුම් වවුල් සේනා
නිතර එල්ලී උස් සරින් සිනාසෙන
තැන් ඇතී [13වැනි කවිය]
අතීතය ෆ්‍රේම් කර කැටයම් රාමුවල
හදබිතෙහි එල්ලගෙන සුරැකි කල
ඇණ බුරුල් වී රිදුම් සදනා වරින් වර
පළුදු වුණ තැන් තිබුණි තැනින් තැන [27වැනි කවිය]
පළා හදගැබ සොයා ප්‍රේමය
අමානුෂික වේදනා ඉවසන
රාත්‍රියකදි පොරෝනය යට
හිඳී තුරුලුව නිදන මතකය [31වැනි කවිය]
කවියකුගේ සාර්ථකත්වයට ප්‍රබලතම අත්වැල වන පරිකල්පනය කපිලගේ රචනා මාලාව පුරාම දිදුලු දෙයි. නිදසුන් ලෙස කවි කීපයක පමණක් නම් දක්වමි.
03-ආලෝකවත් බිමෙක ජීවිතය වසඟයකි
09- ඉඳ හිට අඳුරු සතිඅන්ත
10- අතින් ගිලිහෙන කාලයයි මේ
13- ඒ බිම්ගෙය හමු වුනි
16- ගෙන්දගම් පොළවේ කල්වාරිය
17- තෙත නෙත යට වියළි වැලිකැට
19- දිරුම කියන්නෙම දැරුමයි
26- පාටකට පුළුවන්ද ජීවිතය පුරවන්න
33- වානේ වුව දිය වෙයි
37- සුදු රෝස පඳුර ගලවමි
කවියකුට අණ පනවන්නට කිසිවකුට නොහැකි නමුත් , කපිලගේ කාව්‍යමාලාව පුරා ශෝකි රසයක් හුයක් සේ ගලා යන බව මට දැනුණු බව කිය යුතුය. බරපතළ දොසක් ලෙස නොදැනුණත් ඒකතානමය ගතියක්ද දනවයි. එහෙත් ඒ දෙකරුණ, කෘතිය විශිෂ්ටය, අභියෝගාත්මකය කියන්නට මට බාධාවක් නොවේ.
– දේ. වි. ගාල්ලගේ

Previous article‘ආණ්ඩුවට සහාය දුන්නා’, නුසුදුස්සන් ඕඅයිසී කරගන්න දේශපාලනඥයෝ තරගෙට ලිපි ලියති !
Next articleලංකා e-paper (2022.01.02)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here