‘ආණ්ඩුවට සහාය දුන්නා’, නුසුදුස්සන් ඕඅයිසී කරගන්න දේශපාලනඥයෝ තරගෙට ලිපි ලියති !

සුදුසුකම් නැති පොලිස් නිලධාරීන් පොලිස් ස්ථානාධිපති තනතුරු ලබා ගැනීම සඳහා දේශපාලනඥයන්ගෙන් ලිපි ලබාගැනීමත්, ස්ථානාධිපති පත් කිරීම්වල දී එම ලිපිවලට මුල්තැනක් ලැබීමත් නිසා, ස්ථානාධිපති තනතුරු සඳහා සුදුසුකම් සහිත පොලිස් නිලධාරීන්ට පහළ තනතුරුවලම රැඳීසිටීමට සිදු වී තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සඳහා නියමිත ක්‍රමවේදයක් ඇතත්, ඊට පිටින් යමින් විවිධ දේශපාලනඥයන් විෂයභාර අමාත්‍යවරයාට මෙන්ම අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ද ලිපි ලියමින්, විවිධ ඉල්ලීම් කර ඇත.

තම ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට පත් කළ යුතු පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කරමින් ඇතැම් කැබිනට් ඇමැතිවරුන්, ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ඇතැම් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පවා ලිපි යොමු කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග තහවුරු කරයි. ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් දේශපාලනඥයන් කිහිප දෙනකු ම ඉල්ලීම් කර තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ එක් පොලිස් ස්ථානයකට ස්ථානාධිපතිවරයකු පත් කිරීම සඳහා දේශපාලනඥයන් හතර දෙනකුගෙන් ලිපි ලැබී තිබුණු බවත්, එම දේශපාලනඥයන් හතර දෙනා ම ඉල්ලීම් කළ පොලිස් නිලධාරියා තනතුරට නුසුදුස්සකු බවත් පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසී ය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන උතුරු පළාතේ කැබිනට් ඇමැතිවරයෙක් පොලිස් ස්ථාන කිහිපයකට ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා ලිපි ලබා දී ඇත. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියකු අමතමින් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනකු පත් කිරීම සඳහා ලිපි ලබා දී ඇත.

උතුරු පළාතේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයා පත් කිරීම සඳහා එම දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ සංවිධායකවරයා වන දේශපාලනඥයකු ලබා දුන් ලිපියක “මුලතිව් පොලිස් බලප්‍රදේශය තුළ අප පක්ෂය වෙනුවෙන් පක්ෂයේ කටයුතුවලට සහයෝගය දුන් අයෙකි. ඉදිරි මැතිවරණවල දී පක්ෂය වෙනුවෙන් සහයෝගය ලබා ගැනීමට හැකියාව ඇති හෙයින්…” යැයි සඳහන් කරමින් එක්තරා පොලිස් නිලධාරියකු අදාළ පොලිසියේ ස්ථානාධිපති ලෙස පත් කරන ලෙස අගමැතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

මෙසේ දේශපාලනඥයන්ගේ ලිපිවලට ප්‍රමුඛත්වය ලබා දීම නිසා සුදුසුකම් ඇති පොලිස් නිලධාරීහු රැසක් අපහසුතාවට පත්ව සිටිති. දේශපාලනඥයන්ගේ ලිපිවලට මුල්තැන දෙමින්, ස්ථානාධිපති තනතුරු සඳහා නුසුදුස්සන් පත්කිරීම නිසා ඉදිරියේ දී පරිපාලනයේ ගැටලු රැසක් ඇති විය හැකි බව ද උසස් පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.

Leave A Reply

Your email address will not be published.

five × 1 =