තරිඳු ශ්‍රී ලොකුගමගේ දැමූ පළමු නවකතා ගියරය වූ ‘වයර් පොටක සෞන්දර්ය’

ජීවිතයේ ඔයිල් පැල්ලම් ගාගැනීමට පෙර තරිඳු ශ්‍රී ලොකුගමගේ දැමූ පළමු නවකතා ගියරය වූ වයර් පොටක සෞන්දර්ය, අප ගෙලට අසු වූයේ දින දෙකකට පෙර ය. පබලු මාලයක, හොඳ ම පබලුව පෙන්ඩන්ට් එකක් ලෙස පෙනෙන්නට තිබියදී, ඊට දෙපසින් අගසවු දෙනම ලෙස වැඩසිටින උප පබලු දෙස බැලීමට සිතෙන්නේ යම් සේ ද, අපටත් සිතුණේ එසේමය. එබැවින්, තරිඳු පරිවර්තනය කළ ගාෂියා ලෝකාගේ කවි පොතකට බැස, අනතුරුව වයර්පොටේ සෞන්දර්යට අත තැබීමු. මාස්ටර් පීස් එක දක්වා මේ මෝටර් රථය ධාවනය වූයේ කෙසේදැයි දැන් අපට පැහැදිලිය.

ෆෙඩ්‍රික් ෆෝසිත්, මාරියෝ පූසෝ මෙන් ත්‍රාසය ද, ප්‍රේමය ද මැදින් රථය ධාවනය කරන රචකයා පාඨකයාට අමතර දීමනාවක් වශයෙන්, හැඩ දැමූ බසක ඇසුර ලැබීමට සලස්වයි. එය කිසි මොහොතක හැඩිකර නොගනී. යමක් ඇති සැටියෙන් ම දැනුනු සැටියෙන් ම බසට ගැනීමේ හැකියාව රචකයා සතුය. මෙය බසක් නොව, රස, භාව, ජීවය කැවූ පණ ගැහෙන අයෙකුය යන්න කියවන්නාට හැඟෙන්නට වෙයි. රික්තක නොතබයි. එක වාක්‍යයක් අනෙක හා අමුණා තැබීමට හේතු කීමට නොයයි. සිදුවීමට අනුව බස සකසයි. ප්‍රධාන චරිතය හෙවත් කථකයාගේ ලක්ෂණ බසට හලයි. බස කේවලව වෙන ම ස්ථානගත නොකරයි.හාස්‍යජනක උපමා(කේවල උපමා, උපමා මාලා) භාවිතය මෙන් ම, සංඛේත බහුල යටි පෙළ සහිත වැකි පාඨකයා ඇඳ බැඳ තබාලයි.

“සමහර දවස්වලට අමරේ වැඩට ගොස් සිටින වෙලාවට හැන්දෑ කලුවරේ හැංගී රූං ගාගෙන එන පොල් කුරුමිණියෙකු සේ මම ශ්‍රියාගේ ගෙට රිංගුවෙමි”

“මම ටොපා සංජේගේ මිනිය දෙස බැලීමි. දොදොල් පට්ටයක් උඩට පවුඩර් ඉස්සා සේ උගේ කළුපාට මූණ එම්බාම් එකෙන් තැනින් තැන සුදු වී ඇත”
“ශ්‍රියාගේ කඳුළු සෑදී ඇත්තේ නම නොදන්නා ලෝහයකින්‍ යැයි මට එකපාරට ම සිතිණි”
“ඔහු මාස කීපයකින් ටවුමේ ඊට වඩා ඉඩපහසු තැනක අලුතින් හැදූ කඩ කාමරයක් කුලියට ගත් අතර, සිල්ලර කඩවල ලූස් විකුණන සොසේජ් එකක් මෙන් රැඹිටි ගැහුණු කෙල්ලක වැඩට ගෙන ඇය ටියුෂන් පන්තිය ළඟ කඩේ වැඩට දැම්මේය”
කොහෙන් හෝ උචිත ම උපමාව සොයා එය කතාවේ බහාලීමට කතුවරයා සූක්ෂම ය. මේවායේ කිසිම කෘතිම බවක් නැත.උපමා ඖචිත්‍ය සම්බන්ධව සද්ධර්මරත්නාවලිය ලියූ ධර්මසේන හිමිගෙන් පසු වැඩි ම බලපෑමක් කළ ලේඛකයා ලෙස තරිඳුගේ නම මට මින් පසුව ද මතක් වෙනු ඇත.

පාතාලය, හොර වෙළඳාම්, මාධ්‍ය සංදර්ශන, පොලිස් නාටක මැදින් වයර් පොට ගලායයි. මේ කියන්නේ බොරු හිතලුවක් හෝ පාඨකයා මුළා කරන්නට ගෙතූ නිර්මාණයක් හෝ නොව සැබෑ ම කතාවකැයි අපට සිතේ. කථකයා ගැන අපමණ විස්වාසයක් තබා ඔහුව ඉස මුදුනේ තබා සිටිනා පාඨකයා කෘතියේ මැදටත් අගටත් අතර තැනකට ආ විට එතෙක් කලක් සොය සොයා සිටි ඝාතකයා කථකයා බවට පත් වේ.නමුත් ඊට ඉඟි ආරම්භයේ සිට දක්නට ලැබේ. පාඨකයාගේ හිත එක්ක සෙල්ලම් කර, අවසානේ ඝාතකයා තමාමැයි කීම, මෑතක දී කියැවූ ඔල්ගාගේ ‘මරණයේ රළ නැගුම’ කෘතියට පොදුය.

හාස්‍යය, ශෝකය, ක්‍රෝධය යන මේවා සැරින්සැරේ පැමිණ කියවන්නා අරක් ගන්නේ, ප්‍රධාන චරිතය සිටින භාවය හා අනුගත වෙමින්. ඝාතකයා දුක්වන විට පාඨකයා ද දුක්වෙයි. ඝාතකයාට කේන්ති ගොස් ඇති නම්, පාඨකයා ද කේන්තියෙනි. කෙසේ හෝ පාඨකයා ඝාතකයාගේ පැත්තේ ය.

පළමුව ඝාතකයාව අනාවරණය කරන්නේ ඔහු ම නොවන අතර, පසුව සියල්ල වමාරන්නා සේ ගාණක් නැතිව මැරූ සැටි කියාගෙන යයි. වෙනතක් තබා පාඨකයා බලා සිටිය දී ම මිනී මරයි. පොදුවේ බලතොත් ඝාතනවල දී ඔහු වෙන ම ලකුණක් තබයි. එනම්, මරණ මරණ මිනිසාගේ දතක් බැගින් ගලවා වහලයකට විසි කිරීමත්, වයර් පොටකින් ගෙල සිර කර මරා දැමීමත් ය. ඕනෑම ඝාතකයකුගේ හොඳ ඇත්තාක් සේ, මොහු ද බල්ලන්ට ආසා කරන අතර, නිකරුණේ කිසිවෙකුට කරදර නොකරයි. ඔහුගේ අතීතය ස්මරණ ලෙසින් කතාවට ඇතුළත්ව ඇත.

ශ්‍රියා, වයර් පොටවල් බැඳ තබන එක ම හුය වී, පාවා දි දී, දුක් බි බී, රස දි දී, කථකයාගේ සයිඩ් සපෝටර් භූමිකාව ඉටුකරයි. වයර් පොට ඝාතකයා නම්, එහි සෞන්දර්ය ශ්‍රියා ය. ඒ සෞන්දර්ය ලබන මොහොතින් කතාව නිමාවෙන්නේ, පාඨකයාට ත්‍රිලර් සන්තුෂ්ටියක් ලබාදෙමිනි. එක්කෝ, ශ්‍රියාගේ ගෙල වටාත් වයර් පොට යන අනාගතයක් හෝ ෂර්ලොක් හෝම්ස් කතාවල මෙන් වයර් පොටේ ඝාතක යුවළක් දක්වා එය වර්ධනය වනු ඇතිය යන අනාගතයක් හෝ ඉන් පසු උදාවීමට වැඩි ඉඩක් ඇත.
තමා හිතුවක්කාර ලේඛකයෙකැයි පෙරවදනේ කියා ඇතත්, ලියූ පසු පොත පාඨකයාගේ බැවින් එහි වාසිය ලබා අපි මෙසේ කියමු. මෙහි කිසිවක් වෙනස් කළ යුතු නැත.

– ඩිල්ශානි චතුරිකා දාබරේ

Leave A Reply

Your email address will not be published.

4 − two =