සිඟමන අපරාධයක් කරනු වෙනුවට…

11

හිඟමන් යැදීම අපරාධ වරදක් වී ඇත. මීට වසර පහකට පෙර ද හිඟමන් යදින මිනිසුන් හා අහස නිවහන කොට ගත් වහළක් නැති මිනිසුන් ද හිසට ගල් පෙරළා මරා  දැමූ යුගයක් අප විසින් පසු කළෙමු. කොළඹ නගරය ලස්සනට තබා ගැනීමට අවශ්‍යය. එහෙත්, සිඟමන් යදින්නන් එයට බාධාවක් යැයි සිතන ආණ්ඩුවක් බිහි වී ඇත.

මේ තීන්දුවත් සමඟ සිහියට එන බොහෝ කාරණා අතර අපේ රටේ ඉතිහාසය සිහියට එයි. හදිසියේ නිවසට ගොඩ වෙන නොහඳුනන මිනිසාට පවා බත බුලතින් සංග්‍රහ කිරීම අපේ ජාතියේ ම සිරිතකි. හිඟන්නාට ද එසේය.

සිඟන්නාට වෛර කිරීම හා මරා දැමීම ආචාර්ය ලයනල් තීලන්ට (Dr. Lional Thelen) අනුව ‘හෙට්‍රොෆෝබියා’ (Heterophobia) එනම් වෙනස් හා වෙනස් යයි සිතෙන මිනිසුන් කෙරෙහි ඇති බියක් හා එය දරා ගැනීමට අපහසු නිසා සිදුවන්නකි. මෙය බොහෝ විට වෙනත් ලිංගවල මිනිසුන්ට හෝ ජනවර්ග හෝ ආගම අදහන මිනිසුන්ට ඇති බිය නිසා ඇති වන මානසික රෝගී තත්ත්වයකි. ලංකාවේ නම් මේ අරුතෙන් බොහෝ මිනිසුන් ප්‍රමාණයක් ‘හෙට්‍රොෆෝබියාවෙන්’ (Heterophobia) පෙළේ. බොහෝ දෙනෙකුට සමලිංගිකත්වය අපරාධයකි. ලිංගික ශ්‍රමිකයන්, මෙන්ම වෙනත් ආගම් අදහන හා භාෂාවන් කතා කරන මෙන්ම වෙනත් ජනවර්ගවලට අයත් මිනිසුන්ගේ වෙනස පිළිගැනීමටත්, ඔවුන් දරා ගැනීමටත් නොහැකි ජන කොටසක් ලංකාවේ ජීවත් වෙති. ඔවුන් මේ ‘හෙට්‍රොෆෝබියාව’ (Heterophobia) ජාතික ප්‍රශ්නයක් ලෙස සලකති. ලංකාවේ බොහෝ මිනිසුන් රජකු අපේක්ෂා කළ ද, ඔවුන්ට අවශ්‍ය වන්නේ මානසික වෛද්‍ය සේවාවන්ය.

කෙසේ වුවත්, ලොව විද්වතුන්ට අනුව හිඟන්නන්ට වෛර කිරීම, හිරිහැර කිරීම මේ මා ඉහත කී Heterophobia

යන වර්ගයට අයත් මානසික ලෙඩක් බව දැන් දැන් කෙරෙන බොහෝ පර්යේෂණවලින් තහවුරු වේ. ප්‍රංශ සාහිත්‍යයේ හා නීති ප්‍රතිසංස්කරණ තුළ හිඟන්නන් ගැන සඳහන් වන්නේ 1894 වර්ෂයේදීය. කවීන් හා නීති ප්‍රතිසංස්කරණවාදීන් “රජයන්ට තමන්ගේ පොහොසත් මිතුරන් හා දුප්පතුන් අතර පාලම් ගොඩනැඟීමට නොහැකි වී ඇත…”‍ යනුවෙන් ලියූ සටහන් අදටත් සොයාගත හැකිය. යුරෝපයේ හිඟමන් යැදීම එදා මෙන්ම අදත් පවතී. හිඟමන් යැදීම හා මිනිසුන්ගේ ජීවන තත්ත්වයට හා සෞඛ්‍ය තත්ත්වයට ඇති තර්ජන නිසාම පල්ලියට මහා දේශපාලන බලයක් ලැබිණි.

අපේ ගජමන් නෝනා මෙන් ප්‍රසිද්ධ පාප්තුමියක් ගැන ඉතිහාසයේ කියැවේ. පාප්තුමිය හැඳින් වූයේ යෝහනා නමිනි. ඇය ඇගේ මුල් කාලයේ හිඟන්නන්, දුප්පතුන් සමඟ ඉතා සමීපව උදවු පදවු කරමින් සිටි බව කියැවේ. පල්ලිවල සහෝදරියන් තම ජීවිතයේ වැඩි කලක් අදටත් රට තුළත්, රටින් පිටත් ගොස් දුප්පතුන්ට සේවය කරන්නේ බටහිර ජාතීන් හිඟන්නන් සමාජයේ කොටසක් ලෙස දකින නිසාය. අද ලෝකයේ බිහි වී ඇති රාජ්‍ය නොවන සංවිධානවල මූලය බිහි වන්නේ, දුප්පත් නිවාස නැති මහා මාර්ගයේ වෙසෙන්නන්ගෙනි. එම මිනිසුන් වෙනුවෙන් බිහි වූ සංවිධාන අද ලෝකයේ බොහෝ යහපත් දේ වෙනුවෙන් පෙනී සිටිති. ලංකාව තුළ එවැනි අනෙකාට උදවු කරන සංස්කෘතියක් පැහැදිලිව ආගමිකව ඇත්තේ කතෝලික හා ඉස්ලාමය තුළ ය. ඉස්ලාමීය පල්ලිය ද දුප්පතාට ව්‍යාපාර කිරීමට උදවු කරයි. එයින් නැඟීසිටීම හිඟන්නන් බිහි වීම වළකයි. පන්සල තුළ කිතුනු ආගමේ මෙන් අසරණ මිනිසුන්ට උදවු උපකාර කිරීම ව්‍යුහගතව සිදු වන්නේ නැත. අද අපේ රට තුළ ක්‍රියාත්මක වන CARITAS

 වැනි ආයතන ක්‍රියාත්මක වන්නේ දියුණු රටවල මිනිසුන් තම පඩි පතෙන් පල්ලිය වෙත ගෙවන බදු හා ආධාර මුදල්වලිනි. ඔවුන් ඒවා තම රට තුළ සිටින මෙන්ම ලෝකය තුළ සිටින අසරණ මිනිසුන් වෙත ලබා දෙන්නේ, සිඟමන් යැදීම ගැන වඩා දියුණු අවබෝධයක් හා සංස්කෘතියක් පවතින නිසාය.

යුරෝපයේ දුප්පතුන් වෙනුවෙන් ඉතා සංවිධානාත්මක ව්‍යුහයන් පවතී. අඩු ආදායම් ලබක්නන් වෙනුවෙන් පොහොසතුන්ගේ බදු මුදල් යොදවා අවම ජීවන මට්ටම වුව ද සපයා දෙන්නට ඔවුන් ශත වර්ශයක පමණ සිට සමත්ය. කෙසේ වුවත්, යුරෝපයේ වුව ද තවමත් මහා මාර්ගවල සිඟමනේ යෙදෙන මිනිසුන් දස දහස් ගණනින් සොයාගත හැකිය. පොහොසත් රටවල මිනිසුන් පාලම් යට නිඳාගත යුතු නැතැයි කෙතරම් පිළිගත්තත්, හිඟන්නන් බිහිවන්නේ ඇයි ? දුප්පත්කම හිඟන්නන් බිහි වීමට බලපාන එක හේතුවක් පමණි. මානසික හේතුන් හා පවුලේ නෑයන් මිය යාම් හා ප්‍රතික්ෂේප කිරීම් මෙයට හේතු වේ. මේ නිසාම යුරෝපයේ මෙය ඉතා මානුෂීයව දරා ගනු ලබයි. ඉතාලියට බෝට්ටුවෙන් පැමිණ මහා මාර්ගයේ සිටිය දී උණුසුම් ආහාර වේලක් ලබා දෙන තැනක්, පල්ලියක් අත්විඳි මිනිස්සු අපේ රටේ සිටිති. අදටත් බර්ලින් නගරයේ ඇතැම් ආපන ශාලා දිවා ආහාරයෙන් පසු සවස තුනෙන් පසු ද, රාත්‍රී එකොළහෙන් පසු ද තම ඉතිරි වූ ආහාර පාන හිඟන්නන්ට නොමිලයේ ලබා දෙති. ඕනෑම හිඟන්නකුට දිනකට උණුසුම් ආහාර වේලක් ලබා ගත හැකි තැන රාජ්‍ය නොවන සංවිධාන හා පල්ලිය මඟින් බිහි කොට ඇත.

මෙලෙස අසරණ වූ හිඟන්නන්ට උදවු කිරීම හා ඔවුන් වෙනුවෙන් සීත කාලවල දී පහසුකම් සැපයීම ද රජයේ කටයුත්තකි. රාත්‍රිය පහන් කිරීම සඳහා ඇඳක් හා පවිත්‍රවීම සඳහා ඕනෑම සිඟමන් යදින පුද්ගලයකුට දිනකට අවස්ථාවක් තිබේ. එය සීතල කාලවල දී රජයේ පමණක් නොව මිනිසුන්ගේ කාර්යයක් ලෙස සැලකේ. නත්තලට ඔවුනට ද තෑගි අරන් දෙමින් නත්තල් උත්සව පවත්වන ව්‍යාපාරිකයන් ඔවුන් සමාජයට අයත් බව පිළිගනියි.

සීතලේ මිය යන සිඟමන් යදින්නන් වෙනුවෙන් මිනිසුන් සංවිධානාත්මකව හඬනඟනු ලබයි. ඔවුනගේ ජීවිත වෙනුවෙන් බල කිරීම් සිදු වේ. මේ හැම එකක් ම සිදු වන්නේ ධනවාදය හා මුදල් යහමින් ක්‍රියාත්මක වන රටවලය. ඔවුන්ගේ රටවල විරැකියාව යන්න අසන්නට ලැබෙන්නේ ඉතා කුඩා ප්‍රතිශතවලිනි. රැකියාවක් කරන්නට හිත ඇති ඕනෑම මිනිසකුට රැකියාවක් සොයා ගත හැකිය. අපේ රටේ මධ්‍යම පන්තිකයෝ මෙහි සිටින දුප්පත්ම මිනිසුන්ටත් වඩා දුඃඛිත ජීවිත ගත කරති. වහළක් තිබුණත් බහුතරයක් අපේ ග්‍රාමීය මිනිසුන් ඉන්නේ මේ හිඟමන් සීමාවේය. ඕනෑ තරම් මානසික වෛද්‍යවරුන් ද සිටින රටවල සිඟන්නෝ නැත යන්න මුසාවකි. මේ කරුණුවලින් අපට වැටහෙන්නේ යුරෝපයේ සිඟමන් යැදීම මානුෂීය ලෙස දකින බව හා සමාජයේ කොටසක් ලෙස භාරගෙන ඇති බවයි. සාහිත්‍යය, පොත් හා චිත්‍රපට සිඟන්නන් වෙනුවෙන් හා ඔවුන්ගේ ජිවිත වෙනුවෙන් බිහි වී තිබේ.

ඇමෙරිකාවේ National Coalition of the Homeless, National Law Center on  Homeless and  Poverty වැනි ආයතන බිහි වන්නේ කෙතරම් සුපිරි රටක් වුවත් දුප්පත්කම – හිඟමන් යැදීම පිළිගන්නා බැවිනි.

අපේ රටේ ඇති වී ඇති නව ප්‍රවණතාවට සමාන ක්‍රියාදාමයක් හිඟන්නන් සම්බන්ධව 1933 වසරේ ජාතික සමාජවාදී හෙවත් NAZI රජය බිහි වීමත් සමග ජර්මනියේ සිදු විණි. ඔවුන් හඳුනා ගැනීමට වෙනම අධිකාරියක් පිහිටුවන ලදී. ඔවුන් බලහත්කාරයෙන් ගෙන ගොස් මියෙන තුරු මහා මාර්ගවල වැඩට යොදවන ලදී. මොවුන් හැඳින්වූයේ වැඩ හොරුන් හෝ නිකමුන් හෝ සමාජගත නොවූ මිනිසුන් හැටියටය. මොවුන් සමඟ ම සමාජයෙන් ඉවත් කොට ගත් අනික් පිරිස වන්නේ ගණිකාවන්ය. ඔවුන් ද වැඩ කඳවුරු වෙත ගාල් කෙරිණි, සින්ති හා රෝමා යනුවෙන් හඳුන්වන අහිගුණ්ටික කාන්තාවන් ද මෙම කොටස සමඟ වැඩ කඳවුරුවල ගාල් කොට මර දැමිණි. අද අප රටේ බිහි වී ඇත්තේ ද මා ඉහතින් කී ජාතිකවාදී ආණ්ඩුවකි. හිඟන්නන් අත්අඩංගුවට ගැනීම හා ලිංගික ශ්‍රමිකයන් වැටලීම මෙන්ම අනෙකුත් ජාතීන්ට හා ආගමිකයන්ට දක්වන සමාජමය හිරිකිතය මට නම් කියාපාන්නේ අපේ රටේ ක්‍රියාත්මක වන්නේ එදා 1933 ජර්මනියේ ඇරඹි ක්‍රියාදාමයට සමාන ක්‍රියාදාමයක් බවය.

කෙසේ වුවත්, හිට්ලර් ද හිඟන්නකු ලෙස සිට යුද්ධයට බැඳී ඒකාධිපතියකු විය. පසු කලක මනෝ විචාරකයන් ඔහුගේ මේ මානසික තත්ත්වය හිඟන්නන් මැරීමේ ක්‍රියාදාමයට ඇති සම්බන්ධය විස්තර කරන ලදී. අපේ රටේ නම් මට දැන්නෙන් හෙට්‍රොෆෝබියාවෙන් පෙළෙන ජන සමාජය එය ව්‍යාධියක් කරගෙන අඳුරේ අතපත ගාන බවකි.

සිඟන්නන් නඩත්තු කිරීම වඩා සාර්ථක පිළිතුරක් නොවේ. හොඳම පිළිතුර ඇත්තේ, සිඟන්නන්ගෙන් තොර සමාජයක් ගොඩනැඟීම තුළය. එහෙත්, ඒ සඳහා කළ යුත්තේ සිඟන්නන් ඉවත් කිරීම හෝ ඔවුන් මරා දැමීම හෝ නොවේ. ඒ වෙනුවට සාධාරණ මිනිස් සමාජයක් විසින් සිඟාකෑම අපරාධයක් නොකොට මිනිසුන්ගේ ආර්ථික හා සමාජීය, මානසික තත්ත්වයන් ගැන සිතිය යුතුය.

■  සුභාෂිනී විප්ෆ්ලර්

Previous articleආසියාවේ නව ආර්ථික ව්‍යාඝ්‍රයා බංගලිදේශයෙන් අපට උගත හැකි පාඩම්
Next articleපොලිස් කොමිසමෙන් පියන් කෙනකු කළ ශානිගේ කතාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here