ආසියාවේ නව ආර්ථික ව්‍යාඝ්‍රයා බංගලිදේශයෙන් අපට උගත හැකි පාඩම්

1971 වසරේ දී බංගලිදේශය වෙනම රටක් බවට පත් වන අවස්ථාවේ දී එය ලෝකයේ දිළිඳුම රටවල් අතුරින් එකක් බවට පත්ව තිබුණා. දේශපාලන අස්ථාවර බව, ගංවතුර, ස්වාභාවික විපත් සහ අස්ථාවර ආර්ථිකය වැනි කරුණු හේතුවෙන් මෙවැනි තත්ත්වයක් එම රට තුළ නිර්මාණය වුණා. නමුත්, අද තත්ත්වය මුළුමනින්ම වෙනස් වී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව අද බංගලිදේශය හඳුන්වන්නේ ආසියාවේ වේගවත්ම ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගනිමින් සිටින රට ලෙසයි. 2018 වසරේ එම රටේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය නැති නම් ආර්ථික වෘද්ධිය 8.1%ක් ලෙස සටහන් වුණා. එය චීනය මෙන්ම ඉන්දියාව ද වාර්තා කරන අගයට වඩා ඉහළ අගයක්. 2020 වසර තුළ බංගලිදේශය 8%ක ආර්ථික වෘද්ධියක් අත්පත් කර ගනු ඇතැයි මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. 2020 වසරේ දී ඉන්දියාව වාර්තා කරනු ඇතැයි විශ්වාස කරන්නේ 7.2%ක ආර්ථික වර්ධනයක් පමණයි. එච්.එස්.බී.සී. (HSBC) බැංකුව මේ වන විට පුරෝකථනය කර තිබෙන්නේ 2030 වසර වන විට ලෝකයේ 26 වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කීමට බංගලිදේශය සමත් වනු ඇති බවයි.  1971 වසර වන විට එරට ශ්‍රම බළකායෙන් 73.5%ක් අන්ත දරිද්‍රතාවෙන් පෙළුණු, ලෝකයේ පහළම සංවර්ධනයක් සහිත රටක් මෙවැනි තත්ත්වයක් අත්පත් කර ගත්තේ කෙසේ ද? එයින් අපට උගත හැකි පාඩම් බොහෝයි.

බංගලිදේශය මුලින්ම සිදු කළේ සිය ආර්ථිකයේ කෘෂිකාර්මික අංශය කිසියම් ස්ථාවර මට්ටමකට රැගෙන ඒමයි. එය ඔවුන් සිදු කළේ ගංවතුර සහ ස්වාභාවික විපත් ඇතුළු අභියෝග රැසක් මැදයි. මේ වන විට මෙම රට ලෝකයේ සහල් නිෂ්පාදනයෙන් 04වැනි විශාලතම රට ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම ලෝකයේ 02වැනි විශාලතම හණ ආශ්‍රිත නිෂ්පාදකයායි. ලෝකයේ 04වැනි විශාලතම අඹ නිෂ්පාදකයායි. 05වැනි විශාලතම එළවළු නිපදවන්නායි. 04වැනි විශාලතම මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය සිදු කරන රටයි. ඒ අනුව ඔවුන් කිසියම් ස්ථාවර කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට සමත් වී තිබෙනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ ඔවුන් විසින් අනුගමනය කර තිබෙන ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම්. විශේෂයෙන් තමන් සතු සම්පත් නිසි ලෙස හඳුනා ගැනීමත්, ඒ මත පදනම්ව සිය ආර්ථිකය සැලසුම් කිරීමත් මෙම රහස පිටුපස තිබෙන ප්‍රධාන සාධකයක්. එමෙන්ම විශේෂයෙන් මෑත දශකයක කාලය තුළ ඔවුන් විසින් අනුගමනය කරන ලද ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තිය මේ සඳහා විශාල ලෙස බලපා තිබෙනවා. ආණ්ඩු වෙනස් වීමට සමපාතව ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ඔවුන් නොපෙලඹීමේ අවසන් ප්‍රතිඵලය වී තිබෙන්නේ මෙම සාර්ථකත්වයයි.

බංගලිදේශය ඇඟලුම් කර්මාන්තයට අවතීර්ණ වන්නේ 1970 දශකයේ අගභාගයේ සිටයි. ඒ සඳහා විශාල ලෙස හේතු වූයේ අවම මිලක් සහිත නැති නම් අඩු මිල ශ්‍රම සැපයුමයි. මේ හේතුවෙන් නිෂ්පාදන පිරිවැය අවම ලෙස පවත්වා ගෙන යමින් ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමට ඒ රට තුළ හැකියාව පැවැති නිසා ලෝකයේ විශාල ආයෝජකයන් පිරිසක් ඒ රටට ඇදී ආවා. 1980 දශකයේ මැද භාගයේ අපේ රටේ ආරම්භ කරන ලද ඇඟලුම් කර්මාන්තයට ලොකුම තර්ජනය එල්ල වුණේ බංගලිදේශයෙන්. ඔවුන් බොහෝ දේ අපේ රටේ ඇඟලුම් කර්මාන්තයෙන් ඉගෙන ගත්තා. පසුව අපේ රටට තියුණු තරගයක් ලබා දෙමින් අපේ රටේ පැවැති විශාල ආයෝජන ප්‍රමාණයක් ඒ රටට ඇද ගනු ලැබුවා. චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපය, ඇමෙරිකාව ඇතුළු රටවල් රැසකට අද ඇඟලුම් නිෂ්පාදන ප්‍රධාන වශයෙන් සම්පාදනය කරන ලෝකයේ දැවැන්තම රට බවට පත්ව තිබෙන්නේ මේ රටයි. ඒ රට තුළ ඇමෙරිකානු, චීන, ඉන්දියා සමාගම් රැසක් ආයෝජනය සිදු කර තිබෙනවා. අද වන විටත් එරට ආර්ථිකයේ කොඳුනාරටිය බවට පත්ව තිබෙන්නේ ඇඟලුම් කර්මාන්තයයි. අද එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක්. මෙහි ඇති විශේෂත්වය වන්නේ දශක හතරකට අධික කාලයක් අඛණ්ඩව මෙම කර්මාන්තය රැක ගනිමින් සහ වර්ධනය කර ගනිමින්, ලෝකයේ නව වෙළඳපළ අත්පත් කර ගනිමින් පවත්වා ගැනීමට හැකි වීමයි. නමුත්, අපේ රටට සිදු වූයේ කුමක් ද? කුසලතාව, අනුගත වීම සහ නව්‍යකරණය සඳහා ඔවුන් විසින් දක්වන ලද අභිලාෂය මෙම සාර්ථකත්වයේ රහස බවයි ලෝකයේ වියතුන් පෙන්වා දෙන්නේ. මෙම ප්‍රතිපත්තිය  හරහා ලෝක වෙ‍ළඳපළින් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට මේ වන විට ඒ රට සමත් වෙලා.

එමෙන්ම බංගලිදේශය තුළ තිබෙන තරුණ ශ්‍රමය ඉතාම විචක්ෂණශීලී ලෙස හැසිරවීම ප්‍රධාන හේතුවක් ඒ රටේ සංවර්ධනයට. සෑම වසරකම බංගලිදේශය උපාධිධාරීන් 5,00,000කට අධික ප්‍රමාණයක් සිය අධ්‍යාපන පද්ධතිය හරහා නිපදවනු ලබනවා. එයින් සාතිශය බහුතරයක් හදාරා තිබෙන්නේ ලෝකයේ ඉහළම ඉල්ලු‍මක් සහිත විෂයයන්. විශේෂයෙන් පරිගණක හා තොරතුරු තාක්ෂණය ඒ අතුරින් ප්‍රධානයි. 1,00,000කට අධික ප්‍රමාණයකට සැලසුම්සහගතව තොරතුරු තාක්ෂණ සේවා පුහුණුව ඔවුන් විසින් ලබා දෙනවා. එහි ඉලක්කය සිය ආර්ථිකය ඩිජිටල්කරණය හරහා වේගවත් කිරීම සහ විදේශ පුහුණු ශ්‍රම වෙළෙඳපළ ඉලක්ක කිරීමයි. දැනුමෙන් සහ කුසලතාවෙන් පිරිපුන් මේ සියලු දෙනා කෙළින්ම සම්බන්ධ වන්නේ ඩිජිටල් ආර්ථිකය සමඟයි. මේ වන විටත් තොරුතුරු තාක්ෂණ සේවා ලෝකයේ වෙනත් රටවල්වලට සපයන නිදහස් සේවකයන් පමණක් 6,00,000ක් මේ රටේ සිටින අතර, එය ලෝකයේ දෙවැනි වන්නේ ඉන්දියාවට පමණයි. ඔවුන් විසින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළට රැගෙන එනවා. 8,000ක් ඩිජිටල් මධ්‍යස්ථාන රට පුරා ඇති කර තිබෙන අතර, රටේ ජනගහනයෙන් 70%ක් දෙනා අන්තර්ජාලය පරිහරණය කරනවා. ඉතා වේගයෙන් ඩිජිටල් ආර්ථිකකරණයට ඔවුන් ගමන් කරමින් සිටිනවා. මේ වන විට බංගලිදේශය ඩොලර් බිලියන 01 ඉක්ම වූ තොරතුරු තාක්ෂණ උපකරණ ලෝක වෙළඳපළට අපනයනය කරන අතර, 2021දී එම අගය ‍ඩොලර් බිලියන 5 දක්වා වැඩි වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ රටේ ආදායම් උත්පාදන මාධ්‍යයන් විවිධාංගීකරණයට ලක් කිරීමයි. ඔවුන් කිසි විටෙක මුළුමනින්ම කෘෂිකර්මාන්තය හෝ ඇඟලුම් කර්මාන්තය මතම පමණක් රැඳුණේ නැහැ. ඒ වෙනුවට නිෂ්පාදනයන් විවිධාංගීකරණය කළා. 

විදේශගත ශ්‍රමිකයන් මේ රටේ ආදායම් උත්පාදනය සඳහා විශාල දායකත්වයක් දෙන තවත් ක්ෂේත්‍රයක්. පුහුණු මෙන්ම නුපුහුණු ශ්‍රමය ඔවුන් විශාල වශයෙන් අපනයනය කරනවා. එමඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළට රැගෙන එනවා. ලෝක බැංකු දත්තවලට අනුව 2018 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 16.4ක් ඔවුන් සිය රටට එලෙස රැගෙන ඇවිත් තිබෙනවා. මෙම ආදායම් වාර්ෂිකව ආසන්න වශයෙන් 10%ක වේගයෙන් වර්ධනය වෙමින් තිබීමත් කැපී පෙනෙනවා. විශේෂයෙන් මැදපෙරදිගට නුපුහුණු ශ්‍රමයත්, දකුණු කොරියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ රටවල් වෙත පුහුණු ශ්‍රමයත් ඔවුන් අපනයනය කරනවා. මේ සඳහා වැදගත් වන ප්‍රධාන සාධකය වන්නේ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කරමින් එය ආදායම් උත්පාදන ක්‍රමයක් බවට පත් කර ගෙන තිබීමයි. උසස් කුසලතාව, දැනුම සහ නවීන තාක්ෂණික දැනුම උපයෝජනය හරහා ගෝලීය පුහුණු ශ්‍රම සැපයුම ඉලක්ක කර ගැනීමට බංගලිදේශය සමත් වීම කැපී පෙනෙන කරුණක්.

අනෙක් පසින් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා ඔවුන් මේ වන විට විශාල උනන්දුවක් දක්වනවා. 2018 වසරේ දී දළ විදේශ ආයෝජන ගලා ඒම පෙර වසරට සාපේක්ෂව 42.9%න් පමණ වර්ධනය වී තිබීමෙන්ම මෙහි ඇති විශේෂත්වය පැහැදිලි වෙනවා. චීන, ඉන්දියානු, දකුණු කොරියානු සහ ඇමෙරිකානු මෙන්ම යුරෝපීය සහ නෙදර්ලන්ත ආයෝජකයන් මේ වන විටත් විශාල වශයෙන් මෙම රටේ ආයෝජනය කරමින් සිටින අතර, මේ වන විට ඒ රට අත්පත් කර ගෙන තිබෙන ආර්ථික සංවර්ධනය හේතුවෙන් 2025 වන විට මෙම ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් අත්පත් කර ගනු ඇති බව ලෝක බැංකුව පුරෝකථනය කර තිබෙනවා. විදේශ ආයෝජනවලට ප්‍රධාන ලෙස හේතු වන දේශපාලන සහ ආර්ථික ස්ථායීතාව සම්බන්ධයෙන් බංගලිදේශය විශාල අවධානයක් යොමු කර තිබෙන අතර, අදාළ ප්‍රතිපත්තිවල ස්ථිර බව ආකර්ෂණයට හේතුවක්.

බංගලිදේශය යනු දකුණු ආසියානු රටක්. කලෙක අප වගේම ඉතාම අවම සංවර්ධන මට්ටමක් අත්පත් කර ගෙන සිටි රටක්. ඇතැම් විට අපට වඩා පහළ සංවර්ධන මට්ටමක් තිබුණු රටක්. ඇතැම් සමාජ කරුණුවල දී අප දකුණු ආසියාවේ සැලකිය යුතු තැනක සිටිය ද, ආර්ථික වශයෙන් අප සිටින්නේ පහළ අඩියකයි.  දකුණු ආසියාවේ පළමුවෙන්ම ඇඟලුම් කර්මාන්තය සැලසුම්සහගත ආර්ථික ක්‍රියාවලියක් ලෙස මෙහෙයවන ලද්දේ අපේ රටේ. නමුත්, ඒ තත්ත්වය පවත්වා ගැනීමට අපට හැකි වුණේ නැහැ. අද අපේ රටේ ඇඟලුම් කර්මාන්තය මුළුමනින්ම පාහේ සීමිත අවකාශයකට සීමා වී තිබෙනවා. නමුත්, අපෙන් පාඩම් ඉගෙන ගත් බංගලිදේශය අද ලෝකයේ ප්‍රධානම ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදකයා බවට පත් වෙලා. එමෙන්ම ඔවුන් එම කර්මාන්තයට පමණක් සීමා වී නැහැ. ඔවුන් නිෂ්පාදන විවිධාංගීකරණයකට යොමු වී ඉහළ සාර්ථකත්වයක් ලබා තිබෙනවා. හැම අතින් ම බොහෝ දුරට සමානකම් ඇති අපේ රට සහ බංගලිදේශය මෙලෙස මාවත් දෙකක ගමන් කිරීමට හේතුව කුමක් ද? අපට වැරදුණේ කොතැන ද? ඔවුන්ට හරි ගියේ කොහොම ද? අවම ධනේශ්වර සංවර්ධනයක්වත් අත්පත් කර ගැනීමට අප අසමත් වුණේ ඇයි ? එදා බංගලිදේශය අපෙන් පාඩම් ඉගෙන ගත්ත ද, අද අපට ඔවුන්ගෙන් පාඩම් ඉගෙන ගැනීමට සිදු වී නැද්ද? මේ පිළිබඳව පාලකයන් ගැඹුරින් සිය අවධානය යොමු කළ යුතු නොවේ ද?

■  අනුහස් බණ්ඩාර

Leave A Reply

Your email address will not be published.

nine − three =