60,70 දශක වල සෝවියට් සමාජය නිරූපණය වන ‘වංගගිරිය’

සෝවියට් හා රුසියානු සාහිත්‍යයේ නිර්මාපකයින් තාරකාවන් සේ බැබළුණේ ස්ටෙප්ස් තණබිමට ඉහළින් අහසේ පමණක් නොව සිංහල පාඨකයන්ගේ සිත් අහස් වලද එලෙසමය

‘වංගගිරිය’ පරිවර්තනය_ මහින්ද සෙනරත් ගමගේ THE MAZE ALBERT LIKHANOV
මිනිසා වැඩිහිටි බවට පත්වීමත් සමඟ ඉතා ඉක්මනින් අමතක කරනුයේ ළමාවිය විය යුතුය. එය එසේ නොවේනම් වැඩිහිටියන් විසින් සිදුකරන ක්‍රියාකාරකම් ළමා මනසට එතරම් අහිතකර ලෙස බලනොපානු ඇත. එසේම ලොව පුරා වෙන් වීමට සිදුවන විවාහකයින් අතරින් එවන් ගැටළුවකට මුහුණ පෑමට සිදුවීමට ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාව හේතු වන්නක් වීම මෙන්ම එයින් ගිලන් වන ළමා මනස් පිළිබඳවද අවධානය යොමුවීම සිදුවිය යුතු දෙයක් බව මෙතුළින් අවධාරණය කරයි. සෝවියට් සමාජය තුළ සමාජ ක්‍රමයේ වෙනස්වීමත් සමඟ පරම්පරා අතර සිදුවූ ඝට්ටනය හා එය කුටුම්භයක් තුළ බලපෑ අන්දම පැහැදිලි කෙරෙන අතරම කෙරෙන සමාජ විවරණයක් ලෙසද “වංගගිරිය” හැඳින්වීමට හැකි බව මගේ හැඟීමයි. ඇල්බට් ලිහනෝව් විසින් තෝල්යා නම් වූ දරුවා හරහා අප වෙත පොදුවේ ලබාදෙනු ලබන පණිවිඩය තුළ එයද ගැබ්වී ඇත.

එහි හඳුන්වා දෙන අන්දමට එයින් නිරූපණය වන්නේ 60,70 දශක වල සෝවියට් සමාජයයි. සෝවියට් සමාජය තුළ අලුත් හා පැරණි සමාජ පුරුක් අතර ඇතිවන ගැටළු අතර සමාජවාදය පිළිබඳව ඇති විශ්වාසය මෙන්ම අවිශ්වාසය පරම්පරා දෙකකින් බෙදෙන අන්දම පැහැදිලි කිරීමට ලිහනෝව් දෙවියන් වහන්සේද උපයෝගී කරගෙන ඇත. එය පැරණි සෝවියට් සමාජයට පමණක් නොව වර්තමානය තුළ පවා පවතින තත්වයනට උදාහරණ වේ.

පැරණි ක්‍රමය කෙරෙහි නොවෙනස් වූ විශ්වාසයක් තබාගත් ස්වාර්ථයෙන් උදුම්මාගත් හිසකින් හා ලෝබකමින් පිරි හිතක් ඇති ෂූරා ආච්චි අම්මා තම අණසක පතුරුවනුයේ පේත්යා හා මාෂා නම්වූ තෝල්යාගේ දෙමාපියන් වෙත පමණක් නොවේ. තෝල්යාද ඇගේ අකාරුණික බවේ සෙවණැල්ලෙන් වැසී ඇත. ඇයව ඉවසා සිටීම තවදුරටත් දරාගත නොහැකි වුණු තැන තෝල්යාගේ පියා විසින් ගනු ලබන තීරණය තෝල්යා වෙත බලපානුයේ කෙසේද යන්න “වංගගිරිය” අවසානය තෙක් ඔබ ඉදිරියේ මැවේ. එය සතුටක් නම් නොවේ. තෝල්යා යනු තවදුරටත් නාඳුනන රටක, නොදන්නා යුගයක ජීවත් වූ ළමයෙක් නොවී ඔබට සමීප වන්නේ හද කම්පා කරන අයුරිනි. තමාගේ මව හා පියා එකතුව ගතකරන ජීවිතයක් ගැන සිහින මවන ඔහු තමන්ගේම ජීවිතය තුළ අතරමං වී ඇති සැටියකි.

‘සියල්ලේ ම අවසානය. හැම දෙයෙහිම. මුළු මහත් ලෝකයෙහි ම.
තෝල්යා සිතින් මවා ගත්තේ තමන් පොළොවේ විශාල කුහරයක් අද්දර සිටගෙන සිටින සැටියකි. පහතින් වූයේ අන්ධකාරය සහ භීතිය යි. අම්මාත් ආච්චිඅම්මාත් ගැටිය මත සිට ඔහුව ඊට තල්ලු කරමින් සිටියෝ ය.”
පිටුව 69
පියාගේ වෙන්වීම තෝල්යා මත ඇති කරන ලද හැඟීම කොතරම්ද යන්න වටහා ගැනීමට ඒ වදන් කිහිපයම ප්‍රමාණවත්ය.
කුඩා තෝල්යා තම මව හා පියා අතර බැඳීම ආදරය මෙන්ම මිතුරුදමක් ලෙස අරුත් ගන්වයි. මිතුරන් විසින් කළයුත්තේ , මිතුරන්ගෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? මිතුරන් විසින් තම මිතුරා හෝ මිතුරිය ආරක්ෂා කළ යුතුය. තාත්තාට හොඳ මිතුරියක වන්නට අම්මාට නොහැකි වූ බව ඔහු සිතින් ප්‍රශ්න කරයි. එය මතුපිටින් සරලව පෙනෙන ගැඹුරු අර්ථයක් දනවන්නකි.

වැඩිහිටියන් විසින් තමන්ගේ ප්‍රශ්න නැමැති හුණුවටය මැද තැබූ දරුවන් ලෙස තෝල්යා මෙන්ම ආර්ට්යෝම් ඔවුන්ගේම සෙනෙහස හිමි වූ හා හිමි නොවූවන් අතර දෙපසකට ඇදෙන්නේ දරුවන්ගේ මනෝභාවයන් විසින් බල කිරීමෙනි. එක්ව පවුලක් ලෙස ගතකිරීමේ ඔවුන්ගේ සිහිනයෙන් ඔවුන්වම විඩාපත් කරන වැඩිහිටියන් වෙත අවසානයේ ඔවුන් දක්වන අලස මන්දෝත්සාහී ආකල්පය හදවත තුළ දුක ඇති කරයි.

මුදල් යනු සියළු පුද්ගලයන් ආකර්ෂණය කරන්නක් නොවන බවද, ළමා හදවතක් තුළ මුදල යනු සෙනෙහසට බොහෝ පහළින් ඇති දෙයක් බවද, තාත්තා දරුවන්ගේ හදවත් තුළ වීරයෙකු බවට පත්වී ඇති විට එය වෙනස් කිරීමට තාත්තා ඇතුළු සියළු දෙනාගේ ක්‍රියාකාරකම් බලපෑ පසුව අවසානය කිසිසේත්ම සුබ නොවන්නක් බවද වංගගිරිය ඔබට පහදා දෙයි. පරම්පරා අතර ගැටුම හා ආත්මාර්ථකාමී හා පරාර්ථකාමී ආකල්ප අතරට මැදිවන දරුවන්ගේ මනස පිළිබඳව මීට වඩා සිතිය යුතු වීම සෝවියට් හෝ රුසියන් සමාජයට පමණක් නොව මුළු මහත් විශ්වීය සමාජයටම පොදු බවද වටහා ගත යුතුය.
ඇල්බට් ලිහනොව් විසින් රචිත මහින්ද සෙනරත් ගමගේ විසින් පරිවර්තනය කරන ලද වංගගිරිය නම් කෘතිය තුළින් සමාජයට දෙනු ලබන්නේ ඒ පණිවිඩයයි. ස්වාර්ථය හා පරාර්ථය යන දෙපසට ඇදෙන හුණුවටයක මැද තැබූ මයිකල් අබෂ්විල්ලි කෙනෙකු බවට ඔබේ දරුවා පත් නොකළ යුතුය. පරම්පරා අතර ගැටුමේ ඉත්තෙකු නොකළ යුතුය. දරුවෙකුට තම මව, පියා අහිමි නොකළ යුතුය.

මෙවන් හද කම්පා කරවන අයුරින් ලියන්නට සමත් ඇල්බට් ලිහනෝව්ගේ ළමා කාලය නම් සුන්දර වී ඇත්තේ ඔහුගේ අත්තම්මා නිසාමය. එසේම කාරුණික, ආදරණීය කතා කරුවෙකු ලිහනෝව් තුළින් බිහිවන්නට පාදම වී ඇත්තේද ඇයම වන්නට ඇත. තමාගේ ප්‍රියතම හා ප්‍රධානම චරිතය ළමයෙකු කරගනිමින් ළමා ලෝකය පිළිබඳව ළමා මනස පිළිබඳව වැඩිහිටි මනස වෙතට පණිවිඩ රැගෙන එන ලෙසින් ඔහු තම නිර්මාණකරණයේ යෙදෙයි. 1987 දී ලෙනින් ළමා අරමුදල නමින් ඔහු විසින් නිර්මාණය කර 1991දී රුසියානු ළමා අරමුදල බවට පත්වූ ඒ සමාජ මෙහෙවර අද වනවිට මුළුමහත් රුසියාව පුරාම අනාථ දරුවන් වෙත තම සෙවණැල්ල ලබාදෙයි.

ඇල්බට් ලිහනෝව් ඊයෙ දින 2021.12.25 දින මියගිය බව මහින්ද සෙනරත් ගමගේ මහතා විසින් ලියන ලද සටහනකින් දැනගන්නට ලැබිණි. සෝවියට් හා රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයා වෙත සමීප අද ඊයෙක නොවේ. ඔවුන්ගේ සාහිත්‍යයේ නිර්මාපකයින් තාරකාවන් සේ බැබළුණේ ස්ටෙප්ස් තණබිමට ඉහළින් අහසේ පමණක් නොව සිංහල පාඨකයන්ගේ සිත් අහස් වලද එලෙසමය. ඇල්බට් ලිහනෝව් ද එලෙස බැබළෙනු ඇත. ඔවුන් මිය ගියද මිය නොයන්නාවුන් වෙති.

– ඉරේඛා සෙනෙවිරත්න

Leave A Reply

Your email address will not be published.

17 + one =