දයාර්ද්‍ර වූ ලොවකට මිණි කැටයක් සෙවූ අත්තම්මා…!

ඒ දිනය පසුගිය 2021 දෙසැම්බර් 03 දා ය. කොරෝනා මැද පවා බොහෝ දෙනකු රැස්ව සිටි ස්ථානය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවයි. අවස්ථාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ය. මේ අවස්ථාවට ඇරයුම් ලැබ සිටි අත්තම්මා කෙනෙක් ද මිනිබිරියන් දෙදෙනකු සමග එක් වූවා ය. සැලැකිය යුතු මහ පිරිසක් අතර මේ තිදෙනාට අසුන් සොයා ගැනීම අපහසු නොවී ය.

හැම දා ම වාගේ කරන පුරුදු වට්ටෝරුවට අනුව උත්සවයේ වැඩ ඇරැඹී ය. දේශපාලන උත්තමයෝ සහ නිලධාරී උත්තමයෝ විරාජමානව තම තේජස පෙන්වීමට අමතක නොකර සිටියෝ ය.

ඔවුන්ගේ පිළිවෙළට කටයුතු කෙරීගෙන ගියේ ය. වසර දෙකක් වෙනුවෙන් සම්මාන සහතික සහ මුදල් ත්‍යාග පිරිනැමීම කෙරීගෙන ගියේ ය. එක් නිශ්චිත මොහොතක දී ඊ ළඟ අංගය නිවේදනය කෙරිණ. “මී ළඟට දෙදහස් විස්ස වර්ෂයේ දී පළ කළ හොඳ ම ළමා සාහිත්‍ය කෘතිය වෙනුවෙන් සම්මාන සහතික සහ මුදල් ත්‍යාග පිරිනැමීමට සූදානම්.” ඔව්… ඇත්තමයි… රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ දී ළමා සාහිත්‍ය කෘති වෙනුවෙනුත් සම්මානයක් පිරිනැමෙනවා තවමත්.

මේ සඳහා තෝරාගෙන තිබෙන නිර්දේශිත නම් තුන ප්‍රකාශ කෙරිණ. රත්න ශ්‍රී විජේසිංහ, චූලානන්ද සමරනායක සහ වී. නන්දා පෙරේරා ඒ කියැවුණු නම් තුන ය. රත්න ශ්‍රී විජේසිංහ සහ චූලානන්ද සමරනායක යන සාහිත්‍යකරුවන් දෙදෙනා කාටත් හොඳින් හුරුපුරුදු ය. “ඒත්… කවුද මේ වී. නන්දා පෙරේරා කියන්නේ ?” කාටත් මේ ප්‍රශ්නය ඇති වූ බවට සැක නැත.

“දෙදහස් විස්ස වර්ෂය වෙනුවෙන් හොඳ ම ළමා සාහිත්‍ය කෘතියට හිමි සම්මානය පිරිනැමෙන්නේ…” රසික සද්ජනයා අතර මඳ විරාමය, නිහැඬියාවක කල්පයක් ය. “මෙම සාහිත්‍ය සම්මානය පිරිනැමෙන්නේ, ‘ඉරහාමිට මොක ද වුණේ ?’ ළමා සාහිත්‍ය කෘතිය නිර්මාණය කළ වී. නන්දා පෙරේරා මහත්මියටයි” ළඟ ම දැවටි දැවටී සිටි මිනිබිරියෝ දෙදෙනා ‘කිචි බිචි හඬින් ආච්චි අම්මාට සුභ පැතූහ.

වී. නන්දා පෙරේරා මහත්මිය වේදිකාව වෙතට සීරුමාරුව පය ඔසවන ආකාරය කාගේත් අවධානයට ලක්වූහ. ‘රත්න ශ්‍රී විජේසිංහ සහ චූලානන්ද සමරනායක යන දෙදෙනාට ම වඩා උසස් ළමා පොතක් ලියූ නන්දා පෙරේරා !’ බොහෝ දෙනකුගේ සිත්වල මේ විස්මය ඇඳී යන්නට ඇත.
ඇය අවුරුදු අසූතුනක අත්තම්මා කෙනෙක් ය. ජීවිතයෙන් වැඩි ම කාලයක් ගුරු මෑණි කෙනකු හැටියට අනාගත පරපුරේ ඇස් පෑදීමට කැප වු ගුරු මෑණි කෙනෙක් ය. ගුරු දිවියේ දශක කීපයක් අමිල මෙහෙ කිරීමෙන් විශ්‍රාම දිවියේ එළිපත්තේ සිටිය දී ඇය අලුත් වැඩකට අත ගැසුවා ය. ඒ, ළමා සාහිත්‍ය කෘති නිර්මාණ කිරීමට ය. 1993දී පළමු කෘතිය එළිදැක්වූයේ ‘අල හොරා’ යන නමින් ය. මේ ගුරු මාතාව අලුත් ඉසව්වට සේන්දු වූ පසුබිමක ද විය. ඒ, ඇයගේ සැමියා ද ලේඛකයකු, සාහිත්‍යකරුවකු වීම ය. ඔහු ජී. සී. පෙරේරා ය.

‘අල හොරා’ගෙන් පටන් ගත් ළමා සාහිත්‍ය නිර්මාණ ‘නරි ආච්චි ලෙඩවෙලා’, ‘රත්මලාගේ ළදරු පාසල’, ‘කුකුළු පැටියයි, පුදුම බෝතලයයි’, ‘අටවක් මැණික’, ‘රිදී දෙවොලේ උදානය’, ‘අපූරු තීන්දුව’, ‘පුංචි හදට එදා කතා’, ‘ළිහිණියනේ වැහි ගේන්න’ යනුවෙන් ඇය නිර්මාණ ගණනාවක් කර ඇත්තී ය. ඊට අමතරව ‘දැල් වූ පහන්’ (1996), ‘කළුවර වසන්තය’ (2006) සහ ‘අමරාදේවී’ (2018) නවකතා තුනක් ප්‍රකාශයට පත් කර ඇත්තී ය. ‘උමංදා කවි මිහිර’ සහ ‘ජාතක කතා කවියෙන්’ යනුවෙන් පද්‍ය සංග්‍රහ දෙකක් ද පළ කර ඇත.

ඒ, නන්දා පෙරේරා සාහිත්‍යකාරියගේ වතගොත කෙටියෙන් ය. රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද ළමා කෘතිය ගැනත් යමක් සඳහන් කළ යුතු ය. ‘ඉරහාමිට මොක ද වුණේ ?’ යනුවෙන් එය නම් කර තිබේ. වයස අවුරුදු 8-10 අතර දරු දැරියන්ට යෝග්‍ය කෘතියක් හැටියට පුස්තකාලසේවා මණ්ඩලයේ නිර්දේශය එයට ලබා දී තිබේ.
ඉර, හඳ ගැන පැරැන්නන්ගේ සහ දැනට සිටින වියපත් වැඩිහිටියන්ගේ සුලබ ආමන්ත්‍රණයක් තිබේ. ඒ ආමන්ත්‍රණය ගී පද හැටියට ද යොදා ගත් බව 1970 වර්ෂය පමණ කරා යන විට දැකිය හැකි ය.

“ඉර දෙවියන්ගේ නෑයෝ
සඳ දෙවියන්ගේ නෑයෝ”

යනුවෙන් ය. ඉර, හඳ දෙවි දේවතාවුන් බවට පත් කර වැඳුම් පිදුම් කළ සහ කරන අය හිඟ නොවේ. වයස අවුරුදු අසූතුනක් වුව ද, මෙම සාහිත්‍යකාරිය, – ගුරු මාතාව – ළමා පරපුරට කියා දෙන්නේ, වැඳවැටිය යුතු වස්තු ගැන නොවේ. විශ්වයේ තිබෙන ග්‍රහවස්තුවල ක්‍රියාකාරීත්වයේ යථා ස්වභාවය ගැන ය. ඒ ග්‍රහ වස්තු වන්දනාමාන කළ යුතු, ඇදහිය යුතු දේ නොවන බව නොකියා කියන්නේ ය.

එපමණක් නොවේ. එදිනෙදා ජීවිතයේ අප අසල ගැවසෙන ජීවීන් වැනි බව ය. ගෙඹිහාමි, ඉබිහාමි, නයිහාමි ආදී වශයෙන් ය. ‘ඉරහාමි’ මේ යෙදීම තුළ පවතින්නේ ගතානුගතික සිතුම් පැතුම්වලින් මිදී සියල්ල දෙස සත්‍යය ලෙස බැලීමේ උදාර සංකල්පය ය. ‘ඉර දෙවියන්, සඳ දෙවියන්’ නොවේ ය. ‘ඉරහාමි’ ය.

‘ඉරහාමිට මොක ද වුණේ ?’ බරපතළ ප්‍රශ්නයක් ය. බැලූබැල්මට කාටත් එහෙම පේන කිසි ම දෙයක් වෙලා නැත. උදේට නැඟෙනහිරින් පායා ඇවිත්, සවසට බැස යන්නේ ය. ඒ අතර සුදුම සුදු නැති නම්, සුදු සහ කළු මිශ්‍ර එසේත් නැති නම්, කළු ම කළු වලාකුළුවලින් වරින්වර ඉර වැසී යයි. එය ද ඉර චාරිකාවේ දෛනික ක්‍රියාව අතර තිබෙන්නක් මිස වෙනස් යමක් නොවේ. මෙසේ වී තිබෙන්නේ අපට ය. මෙම සාහිත්‍යවේදී අත්තම්මාට එසේ නොවන අවස්ථාවක් හමු වූවා ය. ඒ, සාහිත්‍යවේදී අත්තම්මාගේ ළමා වියේ සිදු වූ සූර්යග්‍රහණයයි. ඉර උදා වී පැය දෙක තුනක් තුළ සවස හතට ආසන්න තත්ත්වයක් ඇති වූයේ ය. ලංකාවේ අපට හතට ආසන්න සේ දිස් වුව ද, තවත් රටවලට තද ම තද කළුවර ඇති වී කෙටි කාලයකින් යළිත් ඉර උදා වුයේ ය. පෘථිවිය සහ සූර්යයා පිහිටන සරල රේඛාව මැදට සඳ පැමිණිමෙන් මෙය සිදු වේ. ඉර විහිදුවන ආලෝකය පෘථිවිය මතට වැටීම හඳ නිසා වැසී යයි. සූර්යයා ගිල ගැනීමක් හා සමාන ය.

තම දිවිපැවැත්මේ අනන්‍ය කටයුතු දිවා කල ඉටු කර ගන්නා ජීවීහු කොටසක් සිටිති. එසේ ම රාත්‍රී කාලයේ ඒවා කර ගන්නා ජීවිහු කොටසක් ද සිටිති. ඉර පායා ඇවිත් පැය කීපයකින් රාත්‍රිය කඩාවැදුණහොත්, මේ දෙපිරිසට කුමක් සිදු වන්නේ ද? මෙම සාහිත්‍යවේදී ගුරු අත්තම්මාට නිර්මාණ නිමිත්ත වී තිබෙන්නේ මේ අලකලංචියයි. හිටිහැටියේ ඉර අතුරුදන් වීමක් විශේෂයෙන් ම පක්‍ෂීන්ට බලපාන ආකාරයයි. නිශාචර යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන සතුන් අතර සිටින වවුලන්, බකමූණන් ආදී පක්‍ෂීන්ට සිදු වන්නේ කුමක් ද? කෙටි නින්දකින් පසු පිබිදීමට සිදු වන්නේ ය. ඊටත් වඩා බරපතළ ම අලකලංචිය සිදු වන්නේ දිවා කාලයේ සැරිසරන පක්‍ෂීන්ට ය. තම දෛනික අවශ්‍යතා සඳහා දුර ඈත ඉගිලී ගියවුන්ට තම නිවහන් කරා ආපසු ඒමට නොහැකි වන්නේ ය.

මේ අකරතැබ්බයට හසු වූ කපුටු පවුලක් සහ වවුල් පවුලක් ඇය කේන්ද්‍රීය ප්‍රක්ෂේපණය බවට පත් කරගෙන ඇත්තී ය. හදිසියේ ඉර නැති වී යාමෙන් කපුටු පවුල තැන තැන අතරමං වේ. ඔවුනට මඟපෙන්වා ජීවිත සුරක්‍ෂිත කිරීමට ඉදිරිපත් වන්නේ වවුල් ජෝඩුවක් ය. දහවල් කාලයේ දී වවුලකු අතරමං වුවහොත්, කපුටුවෝ රංචු ගැසී වවුලාට කොටමින් උගේ දිවි තොර කිරීමට උත්සාහ කරති. එසේ හෙයින්, ලද අවස්ථාවෙන් වාඩුව ගැනීමට වවුල් පවුල ක්‍රියා නොකරන්නේ ය. ඒ වෙනුවට කපුටු පවුලට යහගුණ කියා දෙන්නේ ය. ජීවිතය කියා දෙන්නේ ය.

සූර්යග්‍රහණය කෙටි වේලාවකින් අවසන් වී යළිත් ඉර එන්නේ ය. ඒ වෙනදා මෙන් උදා ඉර ලෙස නොවන්නේ ය. කෙළින් ම එළැඹෙන්නේ ගිනි මද්දහන ය. දැන් වවුලන්, බකමූණන් ආදී නිශාචරයෝ අතරමං වී ගොස් ය. සහජීවනයේ අපූරු පාඩම ඉගෙන ගත් කපුටන් දැන් පියාඹා යන්නේ අතරමංව සිටින නිශාචරයන් සියලු දෙනාට ම උදවු කිරීමට ය.
තම ළමා වයසේ අත්විඳි සංසිද්ධියක් විශ්‍රාම වයසේ දී ඔප දමා අගනා ළමා සාහිත්‍ය කෘතියක සේ ඇය නිම කර ඇත්තී ය. මේ ලෝකය දයාර්ද්‍ර ගුණයෙන් පිරි ලෝකයක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට මිණිකැට සොයා දුන් අත්තම්මා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීම අරුමයක් නොවන්නේ ය. ඒ මිණිකැට දිදුලන්නේ දැයේ මුනුබුරු, මිනිබිරියන්ගේ හදවත් එකලු කරමින් ය.

ප්‍රියදර්ශන දයාරත්න

Leave A Reply

Your email address will not be published.

18 − seventeen =