ගෙත්තම්පාණින් නොනැවතී කරුණා කළ යුතු කවියක්

වර්ෂ 1979 දී ‘බිය නොවන් අයියණ්ඩි’ කාව්‍ය කෘතිය හරහා සිංහල කාව්‍ය ක්‍ෂේත්‍රයට අවතීර්ණ වන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කිවියරයාණන් දශක හතරකට වඩා වැඩි කලක් ලාංකීය සිංහල සාහිත්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් තම වගකීම ඉටුකළ ජ්‍යෙෂ්ඨතමයෙකි. රාජ්‍ය සම්මාන, ගොඩගේ හා විද්‍යෝදය සම්මානවලින් පිදුම් ලත් විජේසිංහයන් කාව්‍යකරණයට අමතරව පරිවර්තන කාව්‍ය, සංස්කරණ (පද්ම තටාකය 1-2 ), ගීත හා වෙනත් විෂය යටතේ කෘතීන් ගණනාවක් රචනා කොට තිබේ. ඔහුගේ අභිනව කාව්‍ය සංග්‍රහය ‘ගෙත්තම්පාණ’ නමින් පසුගිය දා ජනගත කෙරිණි. මෙය රත්න ශ්‍රී විජේසිංහ කවියාගේ දහවන පද්‍ය කෘතිය වේ. පද්‍ය නිර්මාණ පනස්හතක් පුරා දිවෙන ‘ගෙත්තම්පාණ’ සමාජ විෂයයන් බහුතරයක් අනුභූති කරගනිමින් රචිත ය. ඉනුත් මානව බන්ධුතාවන් පිළිබඳ කවියාගේ වැඩි අවධානයක් යොමු වී ඇති බව නොරහසකි.
වත්මන් සමාජ ඛේදවාචකයක් අරමුණු කරගනිමින් ‘කුරා කුහුඹු අම්මා’ පැදි පෙළ නිර්මිත ය. වැඩිහිටි නිවාසයක මිය ගිය මවක් වස්තු විෂය කරමින් මෙය නිරූපිත ය.

“පහසුකම් ඉතා අඩු
වැඩිහිටි නිවාසයක
අතිරිල්ලකුදු නැති
අබලන් බූරු ඇඳක
මියගොස් සිටියා ය ඇය”

මහළු මව මිය ගිය ආකාරය පාඨකයාට සිත්තම් කළා වැනි ය. එතරම්ම ඔහුගේ බස්වහර චිත්ත රූපිත ය. සැබවින්ම මේ දරුවන් අහිමි මවක් ද? නැතිනම් අවාසනාවන්ත දරුවන් විසින් අහිමි කරගත් අසරණ මවක් ද? කථකාවගේ තනියට සිටින්නේ කළු කුහුඹු රෑනක් පමණි. පුළුල් සමාජ ඛේදවාචකය හරහා කවියා දාරක ස්නේහය උපස්තම්භනය කරනුයේ පාඨක හදවත මහත් සංවේගයට පත් කරමිනි.

“කොහේ හෝ ඇති පුතකුට
හුරුබුහුටි දුවකට
ගෙනා කඩයප්පන්
පැණි රස කැවිල්ලක්
මැරී ගිය කිරි සුවඳක්
දෙන්න බැරි වුණු හාදුවක්
ඇගේ තුරුල්ලේ ඇති බව”

‘වයසක ඇත්තන්ගේ ඇරයුම’ හා ‘කතා නැති දුරකථන’ යන නිර්මාණ ද්විත්වය ද මෙසේ ජීවත්වන මවුපියවරුන්ගේ ඉරණම නිරූපණය කරනුයේ එතරම්ම මෙරට පුද්ගල සහසම්බන්ධතාවන්ගෙන් පරිහානියට පත් වී ඇති නිසාවෙනි.
‘සෙල්ලම් වලසා’ මෙහි අන්තර්ගත සාර්ථක ම කාව්‍ය නිර්මාණයක් වේ. වත්මන් සමාජය තුළ සීඝ්‍රයෙන් පැතිර යන ළමා හිංසනයන් පිළිබඳ කවියාගේ සවිංඥාණික බව මින් මැනවින් ප්‍රත්‍යක්ෂ වේ.

“සෙල්ලම් වලසා තමයි
මා සපා කෑවේ
ඇඟිලිවලටත් දැනෙනවා
දත් පාරවල් පපුවේ
රිදෙනවා අම්මේ”

‘සෙල්ලම් වලසා’ යන අජීවී වස්තුවට සජීවී බවක් ආරෝපණය කරමින් කවියා මහත් ඛේදවාචකයක් නිරූපණය කරයි. කුඩා දැරියගේ පියා මොනයම් හේතුවක් නිසා හෝ ඔවුන්ගේ කුටුම්බයෙන් දුරස් වී ඇත. එය සදාකාලික දුරස් වීමක් ලෙස ද පාඨකයාට නිර්ණය කළ හැකි ය.

“බාප්පා තමයි දවසක
නපුරු සෙල්ලම් වලසා
එක්කගෙන ආවේ
විස්මලන්තය බලන්නට
කැටුව ගිය දවසේ”

මවගේ නව ජීවන සහකරුට දැරිය ආමන්ත්‍රණය කරනුයේ ‘බාප්පා’ ලෙසිනි. එසේ නම් ‘විස්මලන්තය’ ලෙස කවියා අර්ථ දක්වන්නේ ඔහුගේ පෙර කුටුම්බ සම්බන්ධයක් විය හැකි ය. මේ සෙල්ලම් වලසා ඔහුගේ ද පෙර විවාහයේ දරුවකු විය හැකි ය. එසෙත් නැතිනම් මේ ඔහුගේ සහෝදරයකු විය හැකි ය. පාඨකයාට තම තම නැණ පමණින් එය නිගමනය කළ හැකි ය. කෙසේ වුව ද ‘සෙල්ලම් වලසා’ ලෙසින් සංකේත කරනුයේ දැරිය අපයෝජනයට ලක් කළ පුද්ගලයා වේ. “හොඳම දේ දරුවන්ට” බව ලෙනින් ප්‍රකාශ කළ ද අහිංසක දරුවන් රැකගැනීම අප සියලු දෙනාගේ ම වගකීමකි.

මෙරටෙ වත්මන් ඉරණම පාදක කරගනිමින් ‘අවමඟුල් තොරණ’ කාව්‍ය පංතිය විරචිත ය. කෙනෙකු මරණයට පත් වූ අවස්ථාවක සකස් කරනු ලබන තොරණක් සම්බන්ධව කවියා පාඨකයාගේ මනැස අවදි කරයි. සැබවින්ම කොතරම් අලංකාර ලෙස අවමඟුල් තොරණ සැරසුව ද ඉන් මියගිය පුද්ගලයාට ඵලක් නැත. ඔහු උත්ප්‍රාසාත්මක ලෙසින් එය පබදින්නේ මෙලෙසිනි.

“ සොහොන ළඟ තොරණ
හරි ලස්සනට ඇන්දාට
එන අයට තමයි ඒ
නොවෙයි මළ උන්දෑට”

පිය විප්‍රයෝගය ප්‍රකාශ කිරීමට කථකයා තොරණේ කඳුළු බිඳුවක් සිත්තම් කරයි.

“කඳුළු බිඳුවක් අඳිමු
පෙනෙන්නට සංකාව
අමාරු ම නම් ඒක
අඳිමු අපි ලංකාව”

ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ වත්මන් තත්ත්වය කවියා මැනවින් මෙයින් ප්‍රතියමාන කරයි. දෛනිකව පරිහානියට පත්වන ශ්‍රී ලංකාව කඳුළු බිඳුවක් තරම්වත් නොවටින්නේ මෙරට මජර දේශපාලන තන්ත්‍රය නිසා ද? එසේත් නැතිනම් මෙයට වගකිව යුත්තේ දැන දැනම මුග්ද දේශපාලුවන් පත් කරන ජනතාව ද?
රටක පවතින ආරක්ෂාවත්, රට ආරක්ෂා කරන වීරෝධාර සෙබළුන්ගේ හෘද සාක්ෂියත් නිරූපණය කරමින් ‘මුරපොළට ආ දැරිය’ කව රචිත ය. කුඩා දැරියක විසින් මුරපොළෙහි සෙබළුන් මෙසේ පරික්ෂාවට ලක් කරන්නී ය.

“උනාලුව මැන සන්නාහ
බහාලුව මැන ගිනිඅවි
ඕනෑ ය ඉතින් මට
ඔබ පිරික්සන්නට”

රටෙහි ආරක්ෂාව කවියා මෙහි දී සියුම් ලෙස උත්ප්‍රාසයට පත් කරයි. ත්‍රස්තවාදය තුළින් යම් සහනයක් ලැබුව ද රටක් ලෙස සමාජීය වශයෙන් අප අනාරක්ෂිත ය. ඒ හේතුවෙන් රට ආරක්ෂා කරන අයවලුන්ගේ කුටුම්බ ජීවිත සුරක්ෂිත ද යන්න කවියා නැවත වරක් විමර්ශනය කරයි. එසේ නම් අප මුරකාවල් තර කරමින් සැබැවින්ම ආරක්ෂා කරන්නේ කුමක් ද?
ජීවන යතාර්ථය පිළිඹිබු කරන නිමැවුමක් ලෙස ‘සත්‍යාවබෝධය’ පද්‍ය පංතිය විද්‍යමාන කළ හැකි ය. ගොවිපළක ජීවත්වන සතුන් තම ආරක්ෂාව පතා හාම්පුතු අත තම ශ්‍රමයේ ඵලයන් ලබා දෙයි. නමුදු එම බිමෙහි ම හැදී වැඩුණු කොස් ගසක් කිසිම ප්‍රතිලාබයක් අපේක්ෂා නොකර තම සියලු ඵල ඔවුනට ලබා දෙයි.

“මහ පොළොව දෙන දෙයක්
කා බී නොඉල්ලා කිසිවක්
සියල්ල ම දෙන
ක්ෂාන්තිවාදී බෝසතෙක්”

“ක්ෂාන්තිවාදී බෝසතෙක්” ලෙස කවියා කොස් ගස රූපකාර්ථවත් කරනුයේ සියලු ව්‍යසනයන් හමුවේ වුව තම උදාර පරමාර්ථය වෙනුවෙන් ම මේ ගස කැපවී සිටින නිසාවෙනි. නමුත් එවැනි ගසකට අවසානයේ අත්වන ඉරණම ඛේදජනක ය. ගොවිපළේ හිමිකරු මුදල් වෙනුවෙන් කොස් ගස කපා ඉවත් කරනු ලබයි. එසේ නම් අනෙකුත් සතුන් පිළිබඳ කුමන කතා ද?
දිගු කලකට පසු තම මිතුරන් දැකීමට ගමට පැමිණෙන තරුණයකුගේ කතාන්දරය ‘මිතුරු හමුව’ පැදි පෙළෙන් රූපණය වේ. මිත්‍ර ස්නේහය අරමුණු කරගනිමින් රචිත මෙහි කථකයා ගමට පැමිණෙන විට එහි බාහිර ස්වභාවය වෙනස් වී ඇති අයුරු කවියා මෙලෙස කවියට නගයි.

“එදා පා නැඟූ මඟ බොරලු, ගල් කුළු රැඳී
විදුලි, දුරකථන කණු දෙපස හිටගෙන ඉඳී
දලු දමන කටු කම්බි වැල් දිගේ මල් පිපී
ගමට යන පාර සරසා දෙපස කොඩි අදී”

කථකයා ගමට පැමිණෙන විට ඉපැරණි මං මාවත් නවීකරණයට භාජනය වී ඇත. විදුලිය මෙන් ම සන්නිවේදන තාක්ෂණය ද ගම තුළ ය. නමුදු ඔහු එන මග දෙපස කොඩිවැල්වලින් සරසා ඇත. එලෙසින්ම කථකයාගේ මිතුරන් ද මෙලොව හැර ගොසිනි. කවියා එය පබඳන්නේ පාඨක හදවතෙහි සංවේගය වඩාත් තීව්‍ර කරන සරල බස්වහරකිනි.

“කාලයේ සැඬ සුළං අතුල් පහරින් මිදී
කාරුණික නොවන අව් වැසිවලින් හිත රිදී
විදුලි දුරකථන කණුවල ඇලී දියවෙවී
මැකී යන රුවින් මගෙ මිතුරනේ ඔබ හිඳී”

මෙම කෘතියේ ඇතැම් නිර්මාණ විමර්ශනයේ දී ඒවා අප කවියාගේ ජීවන ආත්ම කථනයන් යැයි පුද්ගලික ව මට හැඟෙයි. එය මාගේ පුද්ගලික රසවිඳුම වන අතර පාඨකයාගෙන් පාඨකයාට එය වෙනස් වන බව ද කිව යුතු ම ය. ‘සමුනොගත් සෙවනැල්ල’, ‘උල්පත පසුකර’, ‘එන්න මිතුරනි’ හා ‘ස්තුතියි’ යන නිර්මාණ ඒවාට නිදසුන් වේ.

“රාත්‍රිය දැන් අහවරයි
සැට වන පැය ද ගෙවී යයි
පන්සාළිස් වස්
මා කැටුව ආ ඔබ
තව ම මා අසලින් හිඳියි
ඔබට ස්තුති කළ යුතුයි”

“ස්තුතියි” හිසින් රචිත නිර්මාණයේ අන්තර්ගත ඉහත පද්‍ය කොටසින් කවියා තමා සමඟ මේ මාවතේ අත්වැල් බැඳ පැමිණි සියලු ගමන් සගයන්ට තමාගේ කෘතවේදීත්වය පළ කරයි. කෙතරම් ජ්‍යෙෂ්ඨයකු වුව රත්න ශ්‍රී විජේසිංහ කවියා තුළ දක්නට ලැබෙන නිහතමානීත්වය ඉන් මැනවින් ගම්‍ය වේ.

‘ඇල්සයිමර්’ නැමැති කාව්‍ය පංතිය මාගේ විමසුමට අනුව වඩාත් සංක්ෂිප්ත කළ හැකි නිර්මාණයක් බව කිව මනා ය. මා එසේ ප්‍රකාශ කිරීමට හේතුව වන්නේ ‘ඇල්සයිමර්’ යනු මතකය මුළුමනින් ම ගිලිහී යන රෝගයක් යැයි නිර්මාණයේ අවසානයේ සඳහන් වන නිසාවෙනි. එබැවින් පහත පද්‍ය කොටස් එම රෝගය පිළිබඳ නැවත හඳුන්වා දීමකි.

“මැකිලා ය ඔබේ මංපෙත් මතක
එක ද සලකුණක්වත් නොතබා ම”

‘උයන්පල්ලා පිටුවහල් ය’, ‘මැජික්’, ‘සිංහයා මම ඉන්නවා’, ‘යසෝදරාව ආනන්ද හිමියන්ට කියා ගිය පණිවුඩය’, ‘වැද්දකුට පුළුවනි’, ‘දුරස්ත මරණය’, ‘මිනී මලක සාක්ෂිය’, ‘අම්මාගේ කටහඬ’, ‘දෙවියන් මැරීම’, ‘ණය ගෙවීම’, ‘සරුංගල්’, ‘වියපත් නිළිය’, ගස් සහ ඇස්’ යන කාව්‍ය නිර්මාණ මෙම කෘතියේ අන්තර්ගත තවත් විශිෂ්ට නිර්මාණ වේ.

ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවකු වයසින් මුහුකුරා ගිය ද ඔහු නිරන්තරයෙන් වත්මන් සමාජ සිද්ධීන් කෙරෙහි පරිපූර්ණ සවිංඥාණික බවින් යුක්ත බවට ‘ගෙත්තම්පාණ’ කදිම නිදසුනකි. 2017 වර්ෂයේ රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කළ ‘වස්සානෙන් පසුව’ කාව්‍ය සංග්‍රහය හා සැසඳීමේ දී ‘ගෙත්තම්පාණ’ එයට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් ඇති බව කිව යුතු ම කරුණකි. පුහුණු පාඨකයකුට එම වෙනස නිතැතින් අවබෝධ කරගත හැකි ය. මේ හේතුවෙන් අප ජ්‍යෙෂ්ඨ කවියා ගෙත්තම්පාණෙන් නොනැවතී කවි සිරිපතුල කරුණා කරන තුරු සාධු හදින් අපි බලා සිටින්නෙමු.

– අශෝක කුලතුංග 

Leave A Reply

Your email address will not be published.

4 + two =