සුජිත්, හැඩතල මෙන්ම සිය රේඛාව ඔස්සේ මනුෂ්‍යාගේ අධ්‍යාත්මය ගවේෂණය කිරීමට උත්සාහයක් දරනව

‘ෆිෆ්ටි’ සිතුවම් දැක්ම සුජිත් රත්නායකගේ සිත්තර ජීවිතයේ හරස්කඩක් විදහා දක්වනවා. එහි ඇති චිත්‍ර බොහොමයක් කලින් දැක ඇති ඒවා වුවත් ඒවා කලකට පසු නැවතත් සජීවී ව දැක ගැනීමට ලැබීම චමත්කාර ජනක අත්දැකීමක්.

සුජිත්ගේ චිත්‍ර අතර වූ තනි රේඛා සිතුවම් කීපය මගේ සිත වඩාත් ඇඳ බැඳ ගත්තා. මා මේ සටහන ලියන්නේ ඒ සිතුවම් දැකීමෙන් මා විඳි අත්දැකීම බෙදා ගැනීම උදෙසා.

සුජිත්ගේ තනි රේඛා සිතුවම් ගැන මගේ කියවීම උදෙසා මා තවත් චිත්‍ර ශිල්පීන් දෙදෙනෙකු කැඳවා ගන්නවා. පහත රූපයෙහි මා ඒ චිත්‍ර ශිල්පීන් දෙදෙනා සමගින් සුජිත්ගේ තනි රේඛා සිතුවමක් ඇතුළත් කළා.
පළමු සිත්තරා ක්‍රි.ව. 4 වන හෝ 5 ව​න සියවසේ ජීවත් වූ අයෙක්. ඔහු​ගේ අරමුණ බුදුන් පුදට එන දේවතාවෙකු නිරූපණය කිරීම. ඔහු සිය රේඛාව තුළින් දේවතාවාගේ ශරීරය පිළිබඳව රසිකයාගේ විඥානයේ සනිටුහන් වී ඇති රූපය තවත් තහවුරු  කරන්නට උත්සාහ ගන්නවා. දේවතාවාගේ ශරීය ගැන අප අසා ඇති දේ මේ රේඛා තුළින් නිරූපණය වෙනවා. එය මානුෂික ස්වභාවය ඉක්ම වූවක්. මනුෂ්‍යාට නැති සුකුමාළ ශරීරයක් දේවතාවුන්ට ඇති බවක් ගම්‍ය කිරීමට සිත්තරා උත්සාහ ගන්නවා.

දෙවැන්න ජෝර්ජ් කීට් විසින් අඳින ලද්දක්. එය විසිවන සියවසේ මුල් භාගයට අයත් වූවක්. සිත්තරා එහි දී උත්සාහ කරන්නේ මනුෂ්‍ය ශරීරයේ මානුෂික ස්වරූපය තහවුරු  කිරීම. මිනිස් සිරුර තුළ ගැබ්වන සුන්දර හැඩතල ඉස්මතු කිරීමෙන් අප තුළ මිනිස් සිරුරට කෙරෙහි ඇති අශාව වර්ධනය කිරීම වෙනුවෙන් ඔහු රේඛාව හසුරවනවා.

තෙවැන්න සුජිත්ගේ තනි රේඛා සිතුවමක්. ඔහු සුවිශේෂ වන්නේ ඉහත කී සිත්තරුන් දෙදෙනාටම වෙනස් වෙමින් මිනිස් සිරුරේ හැඩතල ගැන අවබෝධයක් ලබා දීමෙන් නොනැවතී සිය රේඛාව ඔස්සේ මනුෂ්‍යාගේ අධ්‍යාත්මය ගවේෂණය කිරීම සඳහා උත්සාහයක් දැරීම. හුදෙක් ශරීරය ගවේෂණය කිරීමෙන් ඔහුගේ රේඛාව නවතින්නේ නැහැ. එය ඉතා තීව්‍ර ලෙස මිනිස් ශරීරයේ හැඩතල ඉක්මවා යමින්, මිනිසා යනු හුදෙක් බාහිරට පෙනෙන ශරීරය ඉක්මවා ගිය ප්‍රපංචයක් බව විදාරණය කරනවා.

මිනිසාගේ අභ්‍යන්තරය ගවේෂණය කිරීම නූතන යුගයේ කලාකරුවාගේ වගකීම බව මා විශ්වාස කරනවා. එය කළ හැක්කේ දෘෂ්ටිමානය ඉක්මවන දැක්මක් විෂද කිරීමෙන්. සුජිත් සිය සිතුවම් ඔස්සේ මේ වගකීම සිය උර මතට ගෙන සිටිනවා.
සුජිත්, මේ ලබා දුන් අත්දැකීමට ස්තුතියි!

– අරුණ ප්‍රේමරත්න

ඡායාරුප – රසික කොටුදුරුගේ

 

Leave A Reply

Your email address will not be published.

8 − five =