ගංඟ නොගැටී නොතැවී තරගයකින් තොරව තමාට ම කියමින් සොයමින් යන්නේ මෙකී ආධ්‍යාත්මික සශ්‍රීකත්වය විය හැක

ක්ෂේම භූමියක් ~ අහස් ඉමක් ~ වන සරණක් සොයමින් කතරක සිට කේවල ගමනක යන රුවක් ‘මෞනේය’ කංචුකයේ සිතුවම් කර ඇත. රුව සිටින්නේ වන අරණෙහිත් නොව, කතරෙහිත් නොව ඒ මැද තැනකය. නමුත් කතරෙන් එහා මදක් වන පියස නොඑසේ නම් අහස් ඉම දෙසට සමීපවය. ගංඟගේ කවි ඇත්තේ ද එවන් තැනක බව අපගේ අදහසයි. එනම්, සම්ප්‍රදාය හෝ පිටිසරබද සොබාදහම පරණ, යල්පැන ගිය දෙයක් යැයි නොසිතා ඉලක්ක කරගැනීමත්, වීදුරු ගැටෙන බුද්ධිවාදය ම අවැසි බව සිතන නූතන නාගරික තාක්ෂණික පරිසරය පිළිකෙව් නොකිරීමත් ලෙසිනි. අතීතය සම්පූර්ණයෙන් හැර දමා නූතනයේ උපන් අයෙකු ලෙස පෙනී සිටීමක් කවියා තුළ නැත. අනෙක් අතින් වික්ටෝරියානු සදාචාරයේ ගිලාබැසීමකුදු නැත්තා සේ ම බඹසර රැකීමක් හෝ බවුන් වැඩීමක් දක්වා පන්සිල් ගන්නා තත්ත්වයකට පත්ව නැත.

හයිකු කවි, දාර්ශනික කවිවලදී සොබාවික සංසිද්ධීන් රූපක ලෙස ගනිමින් කියවන්නාට එහි අර්ථ සොයායෑමට කුතුහලය දැනවූවාට ගංග එම කුතුහලය දල්වා එහි ම සංසිඳුවයි. එනම් සැඟවූ දෙය කියා අවසන් කිරීමයි. මෙය ඇතැම්විට නුසුදුසු යැයි සිතන අවස්ථා ද හමුවේ.

‘මෞනේය’ කවි නිරායාසී බවකින් පොහොසත් ය. මොළොක් බවක් ඇත. උච්චාරණය අපහසු නැත. ආලවට්ටම් නැත. කවියේ ගලායාමට නිදහස් ආකෘතියත්, හෘදයංගම භාෂා භාවිතයත්, බොහෝ තැන්වල කෝමල අක්ෂර යෙදීමත් යන මේවා දායක වේ. චිරන්තන සාහිත පතපොත ඇසුරුකිරීමෙන් ලබාගත් බසක් ඔහු සතු බව සැබෑවක් වුවද, ඔහු නිතර ම ඒ වදන් යොදමින් තමා මේ මේ වචනය දන්නා අයෙකු බව පෙන්වීමට නොයයි. ඇතැම් වචන දීපක මෙන් මතුවන්නේ කවිය ම ආලෝකකරවමිනි. එසේම, හද බසක් මෙන් රිද්මය කවියට දායක වෙයි. රිද්මය හා බස තරයේ බදා වැළඳගෙන ය. මේවා වෙන් කළ නොහැකි තරම් එකිනෙකා පෝෂණය කරයි.

කවියෙන් සම්පූර්ණ අදහසක් ඉදිරිපත් කිරීමකට හෝ කවිය ඇදපලුදු නැති හිස් තැන් නැති පිරිපුන් දෙයක් කිරීමට ගංඟ නොයයි. එබැවින් ඇතැම් තැනක ඇත්තේ කවියේ කියාගෙන ආ දෙයෙහි අර්ධයකි. සෙසු අර්ධය අප සිතාගත යුතුය. හිස් තැන් කියවන්නා පුරවාගත යුතුය. ඔහු කවිය තුළ කාලය සහ ඉඩහසර පුළුල් කරයි. කවිය තදබද වී නැත. එහි ඇතිතරම් ඉඩ තිබේ. ස්වභාවෝක්තිය වෙත නැඹුරුවෙමින් සරල බව, අති සරල බව වෙත විතැන් කිරීමේ දී අවධානෙන් නිමැවුම් කළ යුතුයැයි හැඟුණු තැන් ද වෙයි.

‘මෞනේය’ කාව්‍ය සංග්‍රහය පුරා දැකිය හැකි තවත් ලකුණක් නම්, ඔහු කවි ලියනුයේ කියවන්නාට නොව තමාට ම වීමයි. කියවන්නන් සතුටු කිරීමට කවි නොලියයි. ඔවුන් කෙසේ සිතුවත් කම් නැතැයි කවියා සිය නිමැවුම ඉදිරිපත් කරයි. කියවන්නා ආසා දේ කිරීමට නොයා තමාට ම කවි ලියයි. මෙයින් අදහස් කරන්නේ ආත්මාර්ථකාමී බවක් නොවේ. තමා වෙත නැමෙමින් සිත හා කරන ගනුදෙනුවකි. තම විඥානය ම අමතමින් යන ගමනකි. අත්දැකීම තියුණු නොවෙතත්, එය කවියා තමාට ම කියන ගනුදෙනුවක් වන බැවින්දෝ කියවන්නාගේ පොදු අත්දැකීමක් ලෙස දැනෙයි. පෞද්ගලික ස්මරණ ධාරාවලට අව්‍යාජ වන බැවින් එය පොදු ස්මරණයක් බවට පෙරළීම පහසු වෙයි.

ලොව ඇති තතු දන්නා අයෙකු අප්‍රදර්ශනකාමීව දිවි ගෙවන්නා සේ සංයමයෙන් සහ පරිණත බවකින් අවබෝධයෙන් යන ගමනක් කව්පොතෙන් පලට වේ. මේ හා සිහිකැඳවන කියමනක් අවසාන වශයෙන් සටහනට මුසු කරමි. ආරියවංශ රණවීර, ටී.එස්. එලියට්ගේ ‘මුඩු බිම’ කාව්‍ය කෘතිය පිළිබඳ ව ලියන ලිපියක දී මෙසේ කියයි.
‘පැරණි කතාරාමුව තුළ එලියට් කවියා කරන්නේ, නිරුදක කතරක් වන් වර්තමාන නාගරික ශිෂ්ටාචාරය තුළ ආධ්‍යාත්මික සශ්‍රීකත්වය සොයා යන ගමනක් නිර්මාණය කිරීමයි’
ගංඟ නොගැටී නොතැවී තරගයකින් තොරව තම කවියෙන් තමාට ම කියමින් සොයමින් යන්නේ මෙකී ආධ්‍යාත්මික සශ්‍රීකත්වය විය හැකිය.

‘දමා වී අහුරක්
බලා සිටිමි ඈතින්
මහා මාරුතයකට ලිහුණු
පත් රාසියක් මෙන්
නිසළ අවට වදුලෙන්
බිමට බසියි
රංචු
රංචු
නිසළ තුරු මත තිබී ඇත
සිහින ආසා සහසක්’

– ඩිල්ශානි චතුරිකා දාබරේ

Leave A Reply

Your email address will not be published.

4 × 2 =