ඛලීල් ජිබ්රාන් දුටු ජේසුස්

ඛලීල් ජිබ්රාන් බොහෝ සිංහල පාඨකයින් හඳුනන විශ්ව කීර්තිධර ලේඛකයෙකි ජිබ්රාන් දාර්ශනික ලේඛකයකි. අධ්‍යාත්මිකත්වය වෙත නැඹුරුවූ ලේඛකයෙකි. අතු පතර විහිදවූ ඔහුගේ විසල් නිර්මාණාවලීය තුළ ඔහුට බලපෑ එක් මූලාශ්‍රයක් වන්නේ ශුද්ධ වූ බයිබලයයි. එසේම ඔහු ගැඹුරින් සංස්පර්ශ කළ චරිතයක් වන්නේ ජේසුස් වහන්සේ යි.

ඔහු දේව සංකල්පය පිළිගත්තේ වී නමුදු දෙවියන් පිළිබඳ පැවතන සම්ප්‍රදායික අර්ථ දැක්වීම බරපතළ ලෙස විවේචනයට ලක් කළේය. ඔහු ජේසුස් වහන්සේට අපමණ ගරුත්වයක් දැක්වූවද ක්‍රිස්තියානින් විසින් හඳුන්වා දෙන ජේසුස් සැබෑ ජේසුස්ට වඩා බොහෝ වෙනස්, අහස ලොව සේ වෙනස් අයෙකු බවද නොපැකිළිව සඳහන් කළේය. ඔහු වරෙක ලියුවේ ක්‍රිස්තියානින්ගේ ජේසුස්ට හා නාසරතේ ජේසුස්ට කිසිදා එකඟත්වයකට පැමිණය නොහැකි බවයි.

ජිබ්රාන්ගේ ජේසුස් නම් මනුෂ්‍ය පුත්‍රයා කෘතිය පමණක් වුව ජිබ්රාන් ජේසුස්ව හා ඔහුගේ ධර්මය දුටු ආකාරය හඳුනා ගැනීමට ප්‍රමාණවත්ය.

ලේඛක දිවියෙහි මුල් කාලීන ගද්‍ය හා පද්‍ය රචනා රැසක් සංගෘහිත A Tear and a Smile නම් ග්‍රන්ථය ප්‍රවීන පරිවර්තක ආනන්ද අමරසිරි ‘කඳුළු බිඳක් හා සිනා බිඳක්’ ලෙස සිංහලට පරිවර්තනය කර ඇත.
අප මේ ලිපිය තුළ සැකවින් සාකච්ඡා කරන්නේ එම ග්‍රන්ථයේ එන ‘යේසු බිළිඳා’ යන කෙටි ගද්‍ය රචනාවයි. ජේසුස්ගේ මෙහෙවර පිළිබඳ ඉතා ගැඹුරු කියැවිමක් එහි අන්තර්ගතය. එහිදි ඔහු ජේසුස්ව ස්ථානගත කරන්නේ ජේසුස්ගේ කාලය තුල හා ආසන්න ඉතිහාසය තුල ජේසුස් ජීවත් වූ පලස්තීනය යටත් කරගෙන තිබු ග්‍රීක රෝම ශිෂ්ටාචාරය යටතේ පලස්තීන පීඩිත ජනයා පත්ව තිබු තත්වය සමඟ සංසන්දනය කරමිනි.

ජේසුස් නම් මනුෂ්‍ය පුත්‍රයා අහසින් පාත්වුවෙකු නොවේ. ඔහු ඉතිහාසයේ එක්තරා කාලයක මේ පෘතුවිය මත ජීවත් වූ එකී කාලයේ සමාජ ආර්ථීක දේශපාලන යථාර්ථය තුළ මාංශගත වූවෙකි.

ජිබ්රාන් මේ රචනාවේදී තුළ යේසුස්ව එකල පැවැති භූ දේශපාලන යථාර්තය තුළ පිහිටා විග්‍රහ කරන්නේ ගැඹුරු කාව්‍යමය බසකිනි. එය කෙටි ගද්‍ය කාව්‍යක් ලෙස හැඳින්විය හැක.

බොහෝ විට දැනුවත්බව කතෝලික සභාව ඇතුළු සියලුම ක්‍රිස්තියානි සභාවක් ක්‍රිස්තු උත්පත්තිය හා බැඳුනු සමාජ ආර්ථික දේශපාලන යථාර්ථය තම ඇදහිලිවතුන්ට කියා නොදේ. ඒ වගේම ඇදහිලිවතුන්ද එය සොයන්නේ නොවේ. එකී පසුබිමින් ගලවා නත්තල් කතාව කිවු විට ඒක සුරංගනා කතාවක් වීම වැළැක්විය නොහැකි. ඉතිං ඒ සුරංගනා කතාව විතරක් දන්න මිනිසුන්ට ක්‍රිස්තු උත්පත්තියේ විමුක්ති හරය මඟ හෑරිම පුදුමයක් නොවයි.

ජිබ්රාන් මේ කෙටි කෙටි රචනාව ලියන්නේ සිය ප්‍රියාදරිය අමතා ලියැවෙන හසුනක් පරිදිය. ඔහු මෙසේ අරඹයි.
“ප්‍රියාදරිය මම ඊයේ මෙලොව හුදකලා වී සිටියෙමි. ඒ හුදකලා බව මරණය මෙන් ආකාරුණික විය. “විශාල පර්වත සෙවණෙහි වැඩෙන්නා වු මලක් සේ මම හුදෙකලා වුයෙමි. මගේ පැවැත්ම පිලිබඳව ජීවිතය තැකීමක් නොකළේය. මම ජීවිතයේ පැවැත්ම කෙරෙහි තැකීමක් නොකළෙම්.”

“අද මගේ ආත්මය පුබුදුවනු ලැබ තිබෙන අතර එය පසෙකින් ඔබ සිටගෙන සිටින අයුරු ඒ ආත්මය දකියි. එහි මුහුණුවර ඉතා දීප්තිමත්ය. දැවෙන පඳුර දුටු කල් හි එඩේරා මුණින් දිගා වු අයුරින් පවාඑය ඔබ අබියස දී මුණින් දිගා වෙයි.”
ඔහු ඊයේ හා අද සංසන්දනය කරමින් අතීතය අනාගතය හා වර්ථමානය යන කාලත්‍රය සම්බන්ධ කරමින් යේසු බිළිඳාගේ ආගමනය ස්ථානගත කරන්නේ ස්වකීය අධ්‍යාත්මයේද පිබිදීමේ මොහොතක් ලෙස ගනිමිනි.

“යුග ගණන් වු කාලය වෙතට යේසු බිළිඳාගේ උපත සමාන වූ ලෙසින් ඒ මොහොත මගේ ජීවිතයට සමාන විය. කුමක් හෙයින්ද යත්, ඒ මොහොත ප්‍රමෝදයෙන් ද නිර්මලත්වයෙන්ද ප්‍රේමයෙන්ද පිරි තිබුණු බැවිනි. මගේ ආත්මාභ්‍යන්තරයෙහි පැවැතියා වූ ඝනාන්ධකාරය එයින් ආලෝකවත් කැරිණ. ශෝකයත් ප්‍රාර්ථනාශූන්‍ය භාවයත් මහා භාග්‍යයක් බවට පත් කෙරිණ.
ජේසුස්ගේ පැමිණිමේ බලාපොරොත්තුව යුගණනක් ජුදයාවේ පැවැති විමුක්තිදායකයෙකු පිළිබඳ ඓතිහාසික බලාපොරොත්තුවකි. ඊට හේතුව මේ රාජ්‍යය ඉතිහාසය පුරා යටත් කරගත් බැබිලෝනියාව ග්‍රීසිය රෝමය වැනි අධිරාජ්‍යවාදීන්ගේ දෙව්වරුන්ගෙන් ජනයාගේ නිදහස විමුක්තිය උදා නොවීමයි.

“මගේ ප්‍රියාදරිය, ජාතීන්ගේ බන්ධනයෙන් තමන් හැම දෙනා ගලවා ගනු පිණිස පරම ශක්තිවන්තයන් ගේ පොරොන්දු වූ පැමිණීම අපෙක්ෂාවෙන් ජුදයාවේ දරුවෝ කාලයා ගේ ආරම්භයේ පටන් බලා සිටියහ.
ජුපිටර් දෙවියට හා මිනර්වා දෙවඟනට වන්දනමාන කිරීම නිෂ්ඵල බව ග්‍රීසියේ මහා ආත්මය දුටු අතර එයින් තව දුරටත් ඒ මහා ආත්මය තෘප්තිමත් නොවුයේය.

ඇපොලෝ දෙවියාගේ දිව්‍යමය ස්වභාවය මිනිස් හැගීමෙන් බොහෝ දුරතර බවට පත් ව ඇති බවත්, වීනස් දෙවඟන ගේ අකාලික සුන්දරත්වය මහලු වියට ළං ව ඇති බවත් කරුණු සලකා බැලු රෝමයේ පරමෝතකෘෂ්ට කල්පනාව වටහාගත්තේය.“
උත්තරීතර කරුණු පිළිබඳ ව උපදෙස් පැතීමෙහිලා ආත්මයේ ඇති දැඩි ආශාව පිළිබඳ ව එයට නිසි හේතුව කුමක්දැයි නොදැන වූව ද ජාතීහූ දැන සිටියහ. ජීවිතයේ සුන්දරත්වයේ දී හා හිරු ගේ ආලෝකයේ දී තම අසල්වැසියා හා සමඟ විනෝද වන අයුරු මිනිසාට උගන්වනු පිණිස ඇවැසි ශාරීරික නොවන නිදහසක් උදෙසා ඔවුහූ ආශා කළහ.

කුමක් හෙයින් ද යත්, බියෙන් හා වෙවුලුමෙන් තොර ව අදෘශ්‍යමාන බලය වෙත මිනිසා සමීප කරවනු ලබන්නේ සත්‍ය වශයෙන් ම ඒ නිදහස විසින් වන බැවිනි. මිනිස් හදවතේ ආශාවන් අමරණිය විශ්වාත්මය වෙත සමීප වීමට බියෙන් දෘශ්‍යමාන දෑ පිටිපස සැලෙමින් තිබුණු කල් හී, වසර දෙදහසකට පෙර ඒ සියලු දෑ සිදු විය. වනයට අධිපති දෙවියා වූ පෑන් දෙවියා එඩේරුන් ගේ ආත්ම බියෙන් පුරවාලමින් සිටි කල් හිද හිරුද අයත් බාල් දෙවියා තම පූජකයන් හා සමඟ අසරණයන් ගේ හා දුක්ඛිතයන්ගේ ළය මඬලු තෙරපමින් සිටි කල්හිද එය සිදු විය.”

ක්‍රිස්තියානියේ සැබැ උපත සිදුවන්නේ නික්මයාම නමැති මාන ඉතිහාසයේ සුවිශේෂි සිද්ධිය සමඟය. පාරාවෝවරුන් යටතේ මිසරයේ වහල්ව සිටි ජනයා එම වහල්භාවයේ සිටීම අකමැති වන දෙවි කෙනෙක් හෙවත් පීඩිතයින්ගේ පැත්තේ සිටින දෙවි කෙනෙක් ලෙස මානව ඉතිහාසයට යාවේ නමැති දෙවි කෙනෙකු එක්වන්නේ ඒ සිදුවීම සමඟයි.

ජේසුස් තුළින් බලාපොරොත්තු වූයේ සමකාලීන හා ආසන්න ඉතිහාසය තුළ ජුදයාව යටත් කරගෙන සිටි ග්‍රීක – රෝම අධිරාජ්‍යයාගේ නිදහස්වීමයි. නමුත් ජේසුස් එය හුදෙක් ඊශ්‍රායල්ගේ ජාතික විමුක්තියෙන් ඔබ්බෙහි රදවනු ලැබීම ඊශ්‍රායල් වරුන් හා ජේසුස් අතරේ ගැටුමේ කේන්ද්‍රය විය.

ජේසුස් පීඩිතයෙකු ඉපිද පීඩිතයින්ගේ පැත්ත තෝරා ගත්තේය. සම්ප්‍රදායික නැණවතුන් නැවතත් වෙනුවට විමුක්ති ප්‍රඥාව ඇති ධීවරයා ගොවියා තෝරාගත්තේය. ව්‍යාජ සුසිල්වතා වෙනුවට අව්‍යාජ පව්කරුවා ව තෝරා ගත්තේය. මේ සියල්ල ජිබ්රාන් ලියා තබන්නේ අධිරාජ්‍යවාදයේ දෙව්වරුන්ගෙන් සියල්ල පැහැරගෙන සැබෑ පීඩිතයා අත එය පත් කිරීමක් වශයෙනි. එය සැබැවින්ම විශිෂ්ට ගෙත්තමකි.

“එය තරු එළියද සඳ රැස් ද සමඟ පහළට බැස රූපකායක් සේ හැඩගැසී එක් කාන්තාවක ගේ දෝතෙහි බිලිඳකු බවට පත් වූයේය. එය සිදු වූයේ එඩේරුන් රැයේ ආපදාවන් ගෙන් තම බැටලු රංචු රැකවල් කලා වූ ස්ථානයකදීය.
ගවයන් හට කෑම දීම සඳහා යොදාගත් දැව ඔරුවෙක වූ වියැළි පිදුරු මත වැතිර නිඳා සිටියේ බිළිඳෙකි.

බන්ධනවල බරින් පීඩිත හදවත්වලින් ද පරමාත්මය උදෙසා දැඩි ආශාවෙන් පසු වන ආත්මාවලින්ද ප්‍රඥා ලබනු පිණිස දැඩි පිපාසයහකින් පෙළෙන්නා වු සිතුවිලිවලින් ද නිර්මිච සිංහාසනයක් මත අසුන්ගෙන සිටියේ රජ කෙනෙකි.
තම මෑනියන්ගේ ඇඳුම්වලින් වෙළෙන ලදු ව සිටි ඔහු කිරි දරුවෙක් විය. ඔහු තම මුදු මොළොක් බවින් ජුපිටර් දෙවියා ගේ අතින්, රාජ බලය පිළිබඳ යෂ්ටිය උදුරාගෙන එය තම බැටළු රැළ හා සමඟ මහපොළොව මත වීඩා හරිමින් හුන් අසරණ එඩේරා වෙත බාර කළේය.

මිනර්වා දෙවඟන වෙතින් ප්‍රඥාව රැගෙන එය විල් තෙර වූ තම ඔරුවෙහි වාඩි වී හුන් අසරණ ධීවරයා ගේ දිව මත තැබුවේ ඔහුය. තම ශෝකය ඔස්සේ ඇපොලෝ දෙවිය්න කෙරෙන් සතුට පෙරාගත් ඔහු, දොරටවු අබියස සිටගෙන බැගෑපත් ලෙස ආයාචනය කරමින් හුන් ප්‍රාර්ථනාවිරහිත තැනැත්තා වෙත එය පිරිනැමුවේය. තම සුන්දරත්වය ඔස්සේ වීනස් දෙවඟ වෙතින් ලබාගත් සුන්දරත්වය, ඔහු තම පීඩකයන් කෙරෙහි තැතිගෙන හුන්, පාපයට නැඹුරු වූ ගැහැනිය ගේ ආත්මය තුළ රහසින් තැන්පත් කළේය.

බාල් ඔහු ගේ බල සිහසුනින් පහළට ඇද දමා, ඔහු වෙනුවට තම ශ්‍රම ශක්තියෙන් කෙත් බිමෙහි වීජ වපුරන ගොවියා ඒ ස්ථානයෙහි තැබුවේ ඔහු ය.”

මේ සියල්ල තුල මතුව පෙනෙන්නේ ජිබ්රාන් ශුද්ධ වූ බයිබලය හොඳින් හදාරා ඇතිවා පමණක් නොව ශුද්ධ වූ බයිබලයේ සෘජුව සඳහන් නොවන භූ දේශපාලනික යථාර්යේද හොඳින් තේරුම් ගෙන තිබු බවයි.

අප ආරම්භයේදිම සඳහන් කළ ලෙස ජිබ්රාන් සාමුහික විමුක්තියත් පෞද්ගලික විමුක්තියත් එකිනෙක වෙන් නොකළ අධ්‍යාත්මිකත්වයක් සහිත වූවෙකි. ඒ නිසා ඔහු යේසු බිළිඳාගේ උපත ස්වකීය පෞද්ගලික විමුක්තියේද උපත සමඟ තදානුබද්ධව සම්බන්ධ කරයි. එමගින් යේසුස් හුදෙක් දේශපාලනික මෙසායා කෙනෙකු බවට පත් නොකරයි.
“එක් මිනිසෙකු ගේ හදවතෙහි අහු මුලු සියල්ල ආලෝකවත් කරන්නා වු කුඩා ගිනි දළුව, විවිධ ජාතින් කෙරෙහි පවත්නා සනාන්ධකාරය ආලෝකවත් කරනු පිණිස අහස් ගැබින් පහළට බැස එන්නා වූ දීප්තමත් මහ ගිනි දළුවක් හා සමානය. කුමක් හෙයින් ද යත්. එක් ආත්මයක් තුළ ඇත්තා වූ මූලද්‍රවයයන්ද ආශාවන් ද හැඟීම් ද සකල මිනිස් වර්ගයා ගේ ම ආත්ම තුළ ඇත්ත වූ එවන් දැයින් ලේෂමාත්‍රයකුදු වෙනස් නොවන බැවිනි“

ජේසුස්ගේ ව්‍යාපාරය හුදු දේශපාලනික ව්‍යාපාරයක් වීම යේසුස්ව වරදවා කියවීමක් බව ජිබ්රාන්ගේ දැක්මයි. එසේම ජේසුස්ගේ ව්‍යාපාරය හුදු ආත්ම ගැලවීමේ පෞද්ගලික විමුක්තියේ ව්‍යාපායරක් නොවන බවද ඔහු පසක් කරයි. ජේසුස්ගේ ධර්මය, ජේසුස් ගොඩනැගු ව්‍යාපාරය අධ්‍යාත්මික දේශපාලන ව්‍යාපාරයක් බව ඔහු ජේසුස් ගැන ලියු සෑම රචනාවකින්ම මතු කර දක්වයි.

ජිබ්රාන් යේසු බිළිඳා කෙටි ගi කාව්‍ය නිමා කරන්නේ පෞද්ගිලක අධ්‍යාත්මික විකසිත වීම සමඟ යේසු බිළිඳාගේ උපත සම්බන්ධ කරමිනි.
“මාගේ ප්‍රියාදරීය. එක්තරා රැයක දී නැත. එක් හෝරාවෙක දී මගේ ජීවිතයේ ගත ව ගිය වර්ෂවලින් එක් ක්ෂණයක් ඉවතට දැමිණ. කුමක් හෙයින් ද යත්, මගේ ජීවිතයේ ගත වූ සියලු වසරවලට වඩා ඒ ක්ෂණය අලංකාරවත් වූ බැවිනි. ඉහළ අහස් ගැබෙහි ප්‍රභා මණ්ඩලයෙන් පරමාත්මයාණෝ මා කරා පැමිණ, ඔබ ගේ දෙනෙතින් මා දෙස බැලු හ. ඔබ ගේ බසින් මා ඇමැතු හ. ඒ බැල්මෙන්, ඒ වදනින් ආදරය උපත ලැබීය. එය මාගේ සෝබර හදවතෙහී ලැගුම්ගත්තේය.“

ජිබ්රාන් ප්‍රියාදරියගේ බසින් එනම් ප්‍රේමයේ බසින් ප්‍රේමයේ බැල්මෙන් දෙවියන් තමන් තුළ උපත ලද බව සඳහන් කරයි. ඒවනාහි දෙවියන් යනු ප්‍රේමයයි යනුවෙන් දෙවියන් ව ප්‍රතිඅර්ථකථනය කළ ජේසුස්ගේ ප්‍රේමයේ දහම ජිබ්රාන් විසින් එහි ගැඹුරු අර්ථයෙන් අවබෝධ කරගත් බව කියා පාන්නකි. ඔහු තව දුරටත් ඒ ප්‍රේමයේ සෙනෙහසේ උපත මෙසේ චිත්‍රණය කරයි.
“මගේ ළය මඬල තුළ වූ පිදුරු ඇතිරියෙහි ලැගුම්ගෙන හුන්නේ මහ බලැති සෙනෙහසකි. එය මහා කරුණාවේ පිළියෙන් ඔතනු ලැබු සෙනෙහසක් විය. මගේ හුදෙකලාව ප්‍රසන්න වූ දැයක් බවට ද, මගේ දුක්ඛීත භාවය යශෝරාවය බවටද මගේ ශෝකය ප්‍රීතිය බවට ද පෙරළමින් ආත්මයේ ළය මඬල මත වැතිර සිටින්නා වු මොළකැටි බිළිඳෙකි.“

“මගේ මියගිය දවස් කරා තම ස්වර්යෙන් ජීවයද, මගේ වැලැපෙන දෑස කරා තම ස්පර්ශයෙන් ආලෝකයද රැගෙන පැමිණියා වූ ඔහු පරාලෞකික සාරයේ සිංහාසනය මතට ඔසවනු ලැබු රජ කෙනෙකි.”

(ගද්‍ය කාව්‍ය උපුටා ගැනීම ආනන්ද අමරසිරිගේ පෙර සඳහන් කෙරුනු ග්‍රන්ථයෙනි.)

– මහින්ද නාමල්

 

Leave A Reply

Your email address will not be published.

eleven − one =