“තමාගේ හරිත කෘෂිකර්මාන්තයක් වැඩපිළිවෙළට නිලධාරීන්ගෙන් සහය ලැබුනේ නෑ”

- ජනාධිපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුවත්පත් කර්තෘවරුන් සමග අද (27) පැවති හමුවේදී පවසා ඇත්තේ හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍ය සහාය නොලැබුණු බවයි.

තම ධුර කාලයෙන් පළමු වසර 2 කොවිඩ් වසංගතය වෙනුවෙන්ම කැපකිරීමට සිදුවුවද භාරගත් සියලු වගකීම් ඉතිරි වසර තුනේදී ඉටුකරන බවද ජනපතිවරයා මෙහිදී පවසා ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවේදී පුවත්පත් කතෘවරුන් වත්මන් පොහොර ගැටලුව පිළිබඳ විමසූ අවස්ථාවේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණ බවයි.

තමන් ආරම්භ කළ හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වැඩපිළිවෙලට ගොවීන් මානසිකව සුදානම් කිරීමේ වගකීම එම නිලධාරීන් අතින් නිසි පරිදි ඉටුනොවූ බව ජනාධිපතිවරයා පවසා තිබේ.

ශක්තිමත් විදෙස් සංචිත ඇති සංවර්ධිත රාජ්‍යක ආර්ථිකයට කොවිඩ් නිසා ඇති වන බලපෑමට වඩා ශ්‍රී ලංකාව තුළ මතුවූ තත්ත්වය වෙනස් බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

නමුත් තත්ත්වය හැකි තරම් පාලනය කර ගැනීම සඳහා ආනයන නතර කිරීම ඇතළු පියවර රැසක් ගත් බවත්, ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

බොහෝදෙනා කතාබහට ලක්නොකළත් ආනයන සීමාකිරීම් හමුවේ ගම්මිරිස් ගොවියන්ගේ ආදායම ඉහළ යාම, කහ වගාකරුවන්ට හොඳ මිලක් ලැබීම, එතනෝල් ආනයනය නතර කිරීම නිසා මෙරට උක් ගොවීන්ගේ ආදායම ඉහළ යාම වැනි ධනාත්මක කරුණු රැසක් ද සිදුවූ බව ජනාධිපතිවරයා පැවසුවේය.

එමෙන්ම තමා ධුරය ආරම්භ කළ පසු විදේශ ණය ලබාගනිමින් කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ නොකළ බවත් පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම රටේ ප්‍රමුඛ අවශ්‍යතාවක් වූවත් ඊට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රමාණවත් සහයක් නොලැබෙන බවත්, ජනාධිපතිවරයා කියාසිටියේය.

ඇතැම් රාජ්‍ය ආයතනවලට ලේකම්වරු, සභාපතිවරු පත්කිරීමේදී උගත්කම මෙන්ම දේශපාලන ධාරාව පිළිබඳ අවබෝධයක් ඇති සමතුලිත පිරිසක් පත්කිරීම වැදගත් බවත් තමා පත්කළ ඇතැම් නිලධාරීන් උගත්කම අතින් පරිපුර්ණ වුවත් රාජකාරී කිරීමේදී යම් දුරස්ථභාවයක් දක්නට ලැබෙන බව ජනාධිපතිවරයා පැවසුවේය.

Leave A Reply

Your email address will not be published.

seventeen − two =