පී. බී. ඉල්ලා අස් (කරයි)වෙයි ගාමිණී සෙනරත් එයි

පසුගිය කාලය පුරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ දැඩි විවේචනයට ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අද (27) දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදී ඇති අතර ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිළිගනු ලැබ ඇත.

නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් පත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

විශේෂයෙන්ම ජනාධිපතිගේ වැඩිමල් සොයුරු අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර ඇති අතර පී.බී.ගේ උපදෙස් මත ක්‍රියාකිරීම නිසා ජනාධිපතිවරයා සහ රට බරපතල අගාදයකට ගොස් ඇති බවද චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ජනාධිපතිවරයා ඉදිරිපිට දීම පී.බී. ජයසුන්දරට පැවසු බව අද මාධ්‍ය වාර්තා කර තිබිණි.

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී වත්මන් කර්මාන්ත ඇමති විමල් වීරවංශ එවකට පී.බී. ජයසුන්දර හදුන්වාදෙනු ලැබූයේ ආර්ථික ඝාතකයෙකු ලෙසය. මහින්ද රාජපක්ෂ රජය පිරිහීමට ප්‍රධාන හේතුව ලෙස ද විමල් එවක පී.බී. ජයසුන්දරට ප්‍රසිද්ධියේම චෝදනා කළේය.

ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීමෙන් පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක පත් කිරීමට නියමිත ය.

පරපරිපාලන සේවය කීර්තිමත් නිලධාරියකු වන අනුර දිසානායක මහවැලි, වාරිමාර්ග, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර හොබවා ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යකු වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි .

Leave A Reply

Your email address will not be published.

3 + fourteen =