බ්‍රැඩ්මන් ඉක්මවා ගිය ඕස්ට්‍රේලියානු Hum-bull වෝනර්

“ඬේවිඞ් වෝනර් ගෙන් නොදැවී ලකුණු 335 ක්,” එය කෙතරම් විශිෂ්ට ඉනිමක් දැයි තරගය නැරඹූ අයකුටනම් එකහෙළාම පැවසිය හැකිය. ඇඩිලේඞ් ඕවල් පිටියේ දී ඔහු ලබාගත් ලකුණු ප්‍රමාණය එම ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයෙකු ලබා ගත් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වන්නේය. එසේම ඔහු ලබා ගත් ලකුණු 335 හේ ඉණිම විශිෂ්ට වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් ටෙස්ට් තරගයක දෙවෙනියට ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව නිසාවෙන්ම පමණක් නොවේ. ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලෝකයෙන්ම බිහිවූ අති දක්ෂ පිතිකරුවෙක් වන ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන් ටෙස්ට් තරගයකදී වාර්තා කර ඇති හොඳම ඉනිම වන ලකුණු 334 ද මෙහිදී වෝනර් විසින් ඉක්මවා යාම නිසාය.

එය එසේ වන විට මීට පෙර  ක්‍රිකට් පොතේ වෝනර් ගේ නම ඉදිරියේ කළු පැල්ලමක් සටහන් වී තිබුණි. ඒ පසුගිය වසරක දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයක දී පන්දුව පලුදු කිරීමට අනුබල දීමයි. එවකට ඔහු කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේය. මේ නිසා ඔහුට මෙන්ම නායකයාව සිටි ස්ටීව් ස්මිත්ට හා පන්දු යැවු ක්‍රීඩකයාට ද තරඟ තහනමක් ලබා දීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේය.

නමුත් ඉන්පසු පැවති මාධ්‍ය සාකච්චාවේ දී ඔහු කඳුළු සලමින් ප්‍රකාශ කළේ පන්දුව පලුදු කිරීමේ චෝදනාවට සම්බන්ධ වීමෙන් පසු නැවත කිසි දිනෙක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා නොකරන බවයි. එහිදී නිහතමානී වෙමින් ඔහු ප්‍රකාශ කළේ තමන් කළ වරද නිසා ඕස්ට්‍රේලියානු ක්‍රීඩාලෝලීන්ගෙන් සමාව අයැදි අතර එම ක්‍රියාව නිසා රටේ කීර්ති නාමයට ඇතිවූ බලපෑම ගැන කනගාටු වන බවයි. තවද තමන්ට අවශ්‍ය වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් රටට ගෞරවයක් ගෙන ඒම පමණක් බව ඔහු අද ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබේ.

දඬුවම එරට පාලක මණ්ඩලය ගත් නිවැරදි තීරණයක් විය. වැරදිවලට දඬුවම් ලබා දීම මෙන්ම වැරදි නිවැරදි කරගෙන නැවත පිටියට පැමිණීමට අවස්ථාව ලබා දී නැවතත් සිය දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලබා දීමද  එරට ක්‍රිකට් බලධාරීන් සිදු කළ වැදගත් ක්‍රියාවකි. ඒ වරදෙන් රටට ඇති කළ අපකීර්තිය සම්බන්ධයෙන් සැඟවෙන්නට උත්සාහ නොකර, ලෝකය ඉදිරියේ වරද පිළිගනිමින් සමාව අයැදීම ද වෝනර් පෙන් වූ උසස් මහත්මා ගතියකි. එසේම සිය ජීවිතය කරගත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් නොවී ඔහු තහනම් කාලය පුරාම පුහුණුවේ රැදෙමින් නැවත පිටියට පිවිස දක්ෂතා දක්වන ආකාරය එක සිදුවීමකින් සියල්ල අහවර කොට පශ්චාත්තාප වන මිනිසුන්ට නොසැලී නැගෙන හැටි කියා දෙන පාඩමකි.

Hum-Bull ලෙස සිය මිතුරු ක්‍රීඩකයන් අතර ප්‍රකට වෝනර් තවමත් නොනැවතුණු දක්ෂතා අතරය. හෙට අදටත් වඩා විශිෂ්ට ඉනිමක දී වෝනර් ගැන අලුතින් ලියන්නට තවත් වාර්තා එක් විය හැකිය. අද වන විට ඔහුගේ ටෙස්ට් අස්වැන්න මෙපමණය.

1987 ඔක්තෝබර් 27 නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ උපත ලද ඬේව්ඞ් ඇන්ඩෲ වෝනර් නැමති වමත් කසකරුවා මුලින්ම  ජාත්‍යන්තර තරගයකට මුහුණ දුන්නේ 2009 වර්ෂයේ දකුණු අප්‍රිකාවට එරෙහිව හෝබාර්ට් පිටියේ පැවති  එක්දින තරඟයකදීය. ඉන් වසර 2කට පසුව එනම් 2011 ජනවාරි මස දකුණු අප්‍රිකාවටම එරෙහිව සිය මංගල පන්දුවාර විස්සේ තරගයට ක්‍රීඩා කළ වෝනර් ටෙස්ට් වරම් දිනා ගන්නේ එම වර්ෂයේම දෙසැම්බර් මස බ්‍රිස්බේන් හිදී නවසීලන්තයට එරෙහිවය. වේගවත් පිතිකරණ රටාවක් අනුගමනය කරන වෝනර් එදා සිට අද දක්වා ටෙස්ට් තරග 81 දී ඉනිම් 148 ක්‍රීඩා කර ලකුණු 6947 ලබා ඇති අතර එයට ද්විත්ව ශතක 2 ක්, ශතක 23ක් හා අර්ධ ශතක 30ක් ඇතුළත් වේ.

එසේම වෝනර්ගේ මෙම ඉනිමෙන් පසු ක්‍රීඩා ලෝකයම ගරු කරන මනුෂ්‍යත්වයේ ප්‍රකාශනයක් පිළිබඳවද වාර්තා වේ. ඒ වෝනර්ගේ හෙල්මටය සම්බන්ධවය. නොදැවී ලකුණු 335 ලබා ක්‍රීඩාගාරයට යන අතරතුර වෝනර් තමා පැළඳ සිටි හෙල්මටය සිපගෙන තරගය නැරඹීමට පැමිණ සිටි තරුණ නරඹන්නෙකුට ලබා දුන්නේය. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග බව සනාථ කරමින්  එම හෙල්මටය දකුණු අප්‍රිකාවේ අලුතින් ඉදිවන ක්‍රිකට් කෞතුකාගාරය වෙත පරිත්‍යාග කරන බව ක්‍රීඩාලෝලියා විසින් සමාජ මාධ්‍ය හරහා පසුව දැනුම් දෙන ලදී.

චතුර චාමින්ද

Leave A Reply

Your email address will not be published.

2 × 5 =