චෞර රාජපක්ෂලාගේ චෞර ගනුදෙනු – මේ රහසිගත සමාගම කාගේ ද? අනුරගේ තොරතුරු ඇසුරෙන් තවත් ඔබ්බට…. !

‘යුගදනවි’ බලාගාරය විකිණීම සහ එල්.එන්.ජී. ගෑස් සැපයීමේ ගනුදෙනුව පිටුපස ‘මිග් – 27’ ගනුදෙනුවට එහා ගිය තක්කඩි වැඩක්……!
“Sri Lanka Power Holdings LLC” නමැති රහසිගත සමාගම ඇමෙරිකාවේ ලියාපදිංචි කර ඇත්තේද බදු දැලෙන් රිංගා යා හැකි ‘තක්කඩි’ සමාගමක ය. (සම්පුර්ණ විස්තර පහත)
අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ ‘යුගදනවි’ විදුලි බලාගාරයේ රජය සතු කොටස් සියයට හතළිහක් විකිණීම සහ එල්. එන්. ජී. ගෑස් සැපයීමේ ගනුදෙනුවට අදාළ ගිවිසුම පිටුපස තවත් ‘අභිරහස්’ ගණනාවක් පවතින බව , ඔහු හෙළිදරව් කළ මූලික තොරතුරු ඔස්සේ තවදුරටත් විමසා බැලීමේදී අනාවරණය වේ. ලිපිය අවසානයේ ලබාදී ඇති ‘ලින්ක්’ හරහා සියලු විස්තර ඔබටද ගැඹුරින් දැනගත හැකි ය.

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ අයියා මලෝ සහ නාමල් පුතා එකතු වී මුළු අමාත්‍ය මණ්ඩලයටම කොකා පෙන්වීම……….

ඇමෙරිකාවේ ‘New fortress Energy ‘ සමාගමට කෙළවරපිටියේ ”යුදගනවි’ විදුලි බලාගාරයේ කොටස් සියයට හතළිහක් විකිණීම සහ මෙරට සියලුම විදුලි බලාගාර සදහා එල්. එන්. ජී. ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ලබාදීමේ ගනුදෙනුව පිළිබද රාජපක්ෂ අයියා මලෝ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ රජය සහ ඉහත සමාගම අතර ඇති ද්වීපාර්ශවික ගනුදෙනුවක් ලෙස යි. එහෙත් ඊට අදාළව මහ රෑ අත්සන් කරන ලද ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඔවුහු ඉදිරිපත් කළේ නැත.
අමාත්‍ය මණ්ඩලයේ කවර හෝ අමාත්‍යවරයකු මේ ගිවිසුම ඉල්ලා සිටියේ ද නැත. එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක සහ සමගි ජනබල වේගය දිගින් දිගටම ඉල්ලා සිටියේ ය. එහෙත් මාස දෙකක් ගතවීත් ආණ්ඩුව ඒ ඉල්ලීම ඉටු කළේ නැත. අදාළ ගිවිසුම එලෙස සගවා සිටියේ ඇයිද යන්න දැන් ‘සක්සුදක්’ මේ පැහැදිලි ය. කෙසේ වෙතත් රාජපක්ෂ අයියා මලෝ රෙද්ද අස්සේ ගසාගෙන සිටි හොර ගිවිසුම අනුර කුමාර දිසානායක අතට පත්වී තිබේ. එසේ නොවන්නට අද මේ හෙළිදරව්ව වුවද සිදු වන්නේ නැත.
ගෝඨාභය රාජපක්ෂගේ කුප්‍රකට මිග් 27 ගනුදෙනුව මෙන් මේ ගනුදෙනුවටත් Sri Lanka Power Holdings LLC නමින් තුන්වැනි පාර්ශ්වයක්…..

මිග් ගනුදෙනුව අමතක අයට..

මිග් 27 ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගනුදෙනුවේදී ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ රටට ප්‍රකාශ කළේ එකී ගනුදෙනුව ශ්‍රි ලංකා රජය සහ යුක්රේන රජය (රාජ්‍යයන් දෙකක් අතර) සිදුවන සෘජු ගනුදෙනුවක් බවයි. එහෙත් අවසානයේ මිග් 27 යානා වෙනුවෙන් මුදල් ගෙවා තිබුණේ එංගලන්තයේ ‘බෙලිමිස්ස හෝල්ඩීන්ස්’ නමැති තුන්වැනි පාර්ශ්වයකට ය. එම තුන්වැනි පාර්ශ්වය යුද උපකරණ අලෙවියට සම්බන්ධ ආයතනයක් නොව , ප්‍රවාහන සේවා සපයන සමාගමකි. ලසන්ත වික්‍රමතුංගේ ජීවිතය අහිමි වූයේද මේ දූෂිත ගනුදෙනුව නොබියව රටට හෙළිදරව් කළ නිසා ය.

අදත් ඒ  සූත්තරයමයි

අද ඉහත ගනුදෙනුව සිදුවන්නේ ද ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකාවේ New Fortress Energy Inc සමාගම සමග යැයි රාජපක්ෂලා පොළොවේ හැපි හැපී කියා සිටියද , ඊටද Sri Lanka Power Holdings LLC යනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ Delaware ප්‍රාන්තයේ ඇති Corporation Trst Center (CT Corporation) හී ලියාපදිංචි කර ඇති සමාගමක් (අනුබද්ධ සමාගමක් ලෙස) සම්බන්ධ බව ගනුදෙනුවේ ප්‍රධාන පාර්ශවකරුවන් දෙදෙනා ගෙන් එක් අයකුවන ඇමෙරිකාවේ New Fortress Energy Inc සමාගමේ මේ ගනුදෙනුවට සම්බන්ධ තොරතුරුවලින් සනාථ කර ඇත.

රහසිගත සමාගමේ ලිපිනය වැරදි ලෙස යොදා ඇත්තේ නොමග යැවීමටද ?

අප කතා කරන රහසිගත සමාගම ලියාපදිංචි කර ඇති ලිපිනය No : 1206 Orange Street , Washington DE 19801 ලෙස අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ගිවිසුමේ සදහන් කර ඇති ලිපිනය එය වූ බැවිනි. එහෙත් Washington DC මිස DE යනුවෙන් තැපැල් කාණ්ඩ අංකයක් (Zip code) එකක් නැත. එම ලිපිනයම DE – Zip code හරහා පරීක්ෂා කරන විට 1206 N Orange Street , Wilmington DE – 19801 යනුවෙන් නිවැරදි ලිපිනය පෙනෙන්නට තිබේ. DE Zip code යෙන් හදුන්වන්නේ ඇමෙරිකාවේම ඉතා කුඩා ජනගහනයක් ඇති Delaware ප්‍රාන්තයයි.

‘ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංග්ස් එල්.එල්.සී.’ රහසිගත සමාගම ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ඇති සමාගමක ලියාපදිංචි කළේ ඇයි ?

ඇමෙරිකාවේ Delaware ප්‍රාන්තයේ ඇති ප්‍රාන්ත නීතියක් වූ Delaware General Corporation law යටතේ වාණිජ සමාගම්වලට බදු දැලෙන් රිංගා යාමේ ‘කූට’ අවස්ථාවක් හිමිවී තිබේ. එමෙන්ම ඕනෑම රටක වාණිජ සමාගම් ලියාපදිංචි කිරීම සදහා වෙනමම ආයතනයක්ද එහි පිහිටුවා ගෙන තිබේ. එම ආයතනය Corporation Trst Center (CT Corporation) ලෙස හැඳින්වේ. එහෙයින් , ඇමෙරිකාවේ අනෙකුත් ප්‍රාන්තවල සේම ලොව පුරා ඇතැම් වාණිජ සමාගම් තම වෙළෙද සමාගම ඉහත (CT Corporation) හී ලියාපදිංචි කර තිබේ. හාස්‍ය ජනක දේ නම් , Delaware ප්‍රාන්තයේ සමස්ත ජනගහනය නව ලක්ෂ පනස් දහසක්වන විට ඉහත ආයතනය හරහා ලියාපදිංචි වී ඇති වාණිජ සමාගම් සංඛ්‍යාව ලක්ෂ දහයකි.
ඇමෙරිකාවේ මධ්‍යම රජය කළ සමීක්ෂණයකට අනුව වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 9.5 ක පමණ බදු මුදලක් නොගෙවා බදු දැලෙන් රිංගා යාමට තම සේවා දායකයන්ට ඉහත ලියාපදිංචි කිරීමේ ආයතනය (CT Corporation) අවස්ථාව උදාකර දී තිබේ. නව ජනාධිපති ජෝ බයිඩන් මේ බදු අක්‍රමිකතාව විමර්ශන සිදුවිය යුතූ යැයි ප්‍රකාශ කර තිබේ.

මේ ගනුදෙනුව කොතරම් අනතුරු දායකද ?

රටේ ජාතික සම්පතක කොටස් විකුණමින් සහ එල්. එන්. ජී. ගෑස් සැපයමේ (වසර පහක ගනුදෙනුව ඇමෙරිකාවේ ඩොලර් බිලියන පහක) ගනුදෙනුව සදහා රහසිගතව පිහිටුවාගෙන ඇති Sri Lanka Power Holdings LLC සමාගම ශ්‍රි ලංකාවේ හෝ ඇමෙරිකාවේ සාමාන්‍ය සමාගම් රෙජිස්ටර් ආයතනයක් ලියාපදිංචිය නොකර ඉහත Delaware හී ( CT Corporation) හී ලියාපදිංචි කර ඇත්තේ ගනුදෙනුව සිදුවන විට ශ්‍රී ලංකා රජයට හෝ ඇමෙරිකානු රජයට ගෙවීමට සිදුවන ආදායමට සාපේක්ෂව ගෙවිය යුතු අති විශාල බදු මුදල නොගෙවා පැහැර හැරීම පිණිස ය. ආරම්භයේදීම එවන් ‘කූට’ ක්‍රියාවකට අවතීර්ණ වී ඇති ආයතනයකට මේ රාජ්‍ය දේපළ විකිණීම කොතරම් අනතුරු දායකද ? චෞර රාජපක්ෂලා තමන්ගේ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට පවා මේ රහසිගත සමාගම වසන්කර ඇත්තේ , ඒ හරහා ඔවුන්ට ද ඉහත රහසිගත සමාගමෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන දැවැන්ත කොමිස් මුදල් සම්භාරය හෙළිදරව් වීම වළක්වනු පිණිස මිස අන් කාරණයක් නිසා නොවේ.

මේ රහසිගත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කව්ද ?

රටේ රාජ්‍ය සම්පතක කොටස් මිලට ගැනීම සහ මහා පරිමාණයෙන් LNG ගෑස් සැපයීම වෙනුවෙන් ඇමෙරිකාවේ New fortress Energy සමාගම රාජපක්ෂලාගේ පුර්ණ දැනුවත් භාවය සහිතව ශ්‍රී ලංකාවේ පොදු මහජනතාවට හොර රහසේ අටවා ගෙන ඇති මේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කව්ද ? යන්න රාජපක්ෂලා මේ රටට හෙළිදරව් කළ යුතුය. මන්ද යත් මේ ජාතික සම්පත් රාජපක්ෂ අයියා මලෝ මැදමුලනෙන් ගෙනා බූදලයක් නොවන නිසා ය.

මේ චෞර ගනුදෙනු අහවර වන්නේ කවදා ද ?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ සැණින් තම ගජ මිතුරු මහා පරිමාණ වාණිජ සමාගම් හිමිකරුවන්ට වාසි සැළසෙන ලෙස රාජ්‍ය ආදායමින් සියයට තිහකට ආසන්න පාඩු සිදු කරමින් බදු ගණනාවක් කපා හැරියේ ය. ඔවුන්ගේ පක්ෂයේම කොටස්කාර ඩියූ ගූණසේකරට අනුව බදු ‘සමා’ දාහතරක් ගෙනවිත් තිබේ. මහා පරිමාණ සීනි බදු වංචාව , පොල් තෙල් බදු වංචාව , කාබනික විගඩමේ පාඩුව , නැනෝ යූරියා ගෙන්වීමේ වංචාව , සයිනොෆාම් එන්නත් ගෙන්වීමේ ගනුදෙනුව , කොරෝනා මර්දන අරමුලේ සැක කටයුතු ගනුදෙනු , ජපානයන් ලැබුණු යෙන් මිලියන අටසියය , ණය ලබා ගැනීමේදී පොළී ප්‍රතිශත පිළිබඳ සැක කටයුතු ගනුදෙනු ඇතුළු ගෙවුණු දෙවසර තුළ පමණක් රටට සිදුකර ඇති මූල්‍ය විනාශය අතිමහත් ය.
රටට අත්‍යවශ්‍ය ආහාර , ඖෂධ , ඉන්ධන ටිකවත් ආනයනය කරගත නොහැකිව ආර්ථිකය තෙරක් නොපෙණෙන අගාධයකට ගිලෙමින් තිබියත් , අති බහුතරයක් ජනතාව එදාවේල සරිකර ගැනීමට නොහැකිව දහ අතේ ලතවෙන අවස්ථාවක රාජපක්ෂලාගේ සුපුරුදු ‘චෞර ගනුදෙනු’ එලෙසම සිදු වෙමින් පවතී. ඔවුන්ගේ ‘අසූචි’ භක්ෂකයෝ ඒ සියල්ල සාධාරණීකරණය කරමින් තවදුරටත් රට ගිලෙන ආගාධයට ම තල්ලු කරමින් සිටිති.
හිත් පිත් ඇති මිනිසුනි…..! බලව…. නිදිගැට පිසදමා සිදුවෙන විපතක තරම….!

– පෝද්දල ජයන්ත

2021 – 12 – 26 ‘ලංකා’ පුවත්පත

Leave A Reply

Your email address will not be published.

18 − two =