හොඳ නිර්මාණයකට අභියෝග ජයගන්න බැරිකමක් නැහැ

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ

සුරංග ලක්මාල් සෙනෙවිරත්න

‘කොළඹ අපි ආවා’, ‘අංගාණි’ සහ ‘අනවරත’ වැනි සුවිශේෂී ටෙලි නිර්මාණ රැසක් ඔබ වෙත ගෙන ආ සුරංග ලක්මාල් සෙනෙවිරත්නගේ නවතම ටෙලි නිර්මාණය වන ‘කකුළුවෝ සහ මකුළුවෝ’ තව නොබෝ දිනකින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙනු ඇත. එහි මුහුරත් උලෙළ පසුගිය දෙසැම්බර් දෙවන දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්විණි.

සුරංග සමඟ කරන මේ කතාබහ ඔහුගේ ඒ නවතම නිර්මාණය පිළිබඳවය.

■  ලංකාවේ ටෙලිනාට්‍ය අවකාශය දේශීය සහ විදේශීය මෙගා ටෙලිනාට්‍ය ප්‍රවණතාවන් විසින් අත්පත් කරගෙන ඉන්න මේ වගේ වෙලාවක ඇයි ඔබ ටෙලි නිර්මාණයක් කරන්න හිතුවෙ ?

ටෙලිනාට්‍ය කියන්නෙ තවමත් යමක් කරන්න පුළුවන් කලා මාධ්‍යයක් කියල මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි ටෙලි නිර්මාණයකට අත තියන්න කල්පනා කරපු පළමුවැනි හේතුව. අනෙක් පැත්තෙන් මම  අනෙකුත් කලා මාධ්‍යවලත්, ඒ කියන්නෙ කෙටිකතාව, නවකතාව වගේම මාධ්‍ය ක්ෂේත්‍රය තුළත් කටයුතු කරමින් ඉන්නවා. ඒ අතුරෙන් මගේ මූලික විෂය ක්ෂේත්‍රය වෙන්නෙ රූපවාහිනී මාධ්‍යය. දැනට අවුරුදු විස්සකට වැඩි ප්‍රමාණයක් මම රූපවාහිනී මාධ්‍යය තුළ කටයුතු කරමින් ඉන්නවා. ඒ අත්දැකීම් ඇසුරෙන් හොඳ නිර්මාණයක් ජනතාව අතට පත් කරන්න ඕනෙ කියන වුවමනාවත් මට තියෙනවා. ඒ වුවමනාව යථාර්ථයක් බවට පත් කර ගන්න යද්දි අර කලින් කියපු අභියෝගය තියෙනවා තමයි. ඒත් හොඳ නිර්මාණයකට ඒ අභියෝගය ජය ගන්න බැරිකමක් නැහැ.

■  ඔබේ අලුත් නිර්මාණය ඇතුළෙ මොන වගේ තේමාවක්ද කතා කෙරෙන්නෙ ?

පළවෙනියෙන්ම කියන්න ඕනෙ, මම මගේ ටෙලි නිර්මාණයක් ඇතුළෙ සීමා කර ගත්ත තේමාවකට කොටු වෙන්නෙ නැහැ කියන එක. ඒ වෙනුවට පැති කිහිපයකින් හිතන්න දේවල් ගොඩක් නිර්මාණය ඇතුළෙ කතාබහට ලක් වෙනවා. හැබැයි ඒක වෙන්නෙ රසවින්දනයට බාධාවක් නොවෙන විදිහට. රසවින්දනය දෙන්න බැරි නම් මුල, මැද, අග අඛණ්ඩ සම්බන්ධයක් දෙන, පූර්වාපර සන්ධි ගැළපෙන කතාවක් තිබුණට වැඩක් නැහැ. ‘කකුළුවෝ සහ මකුළුවෝ’ ටෙලිනාට්‍ය තුළ අවධානයට ලක් වෙලා තියෙන්නෙ සමාජය තුළ ජීවත් වෙන විවිධ වයස්වල පිරිස් ගමේ සහ පවුලේ මුල්වලින් ගැලවිලා ගිය, සමාජයේ පොදු ප්‍රවාහයෙන් විතැන් වුණු පිරිසක් මුහුණ දෙන ජීවන අත්දැකීම් පිළිබඳව. එවැනි චරිත නිර්මාණය වීමට හේතු වෙන සමාජ, දේශපාලන ප්‍රශ්නත් මේක ඇතුළෙ කතා වෙනවා. ඒ නිසයි මම කියන්නෙ මේ ටෙලිනාට්‍යය ඇතුළේ කතා වෙන නිශ්චිත තේමාව මේකයි කියල කියන්න අමාරුයි කියල.

■  මේ වෙනකොට ලංකාවේ ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා, ඔවුන්ට වැඩි වශයෙන් බලන්න ලැබෙන සීමිත පවුල් කතාව වගේ ආකෘතිවලට ඇබ්බැහි වෙලා ඉන්න තත්ත්වයක් ඇතුළේ ඔබ කියන වෙනස් විදිහේ ආකෘතියක ටෙලිනාට්‍යයක් සම්බන්ධයෙන් සංවේදී වෙයි කියල හිතනවද?

මගේ උත්සාහයත් ඒකම තමයි. එකම කතා තේමාවකට යට නොවුණු, වෙනස් ආකෘතියක නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ලබා දීමෙන් තමයි, අපි අර කලින් කතා කරපු අභියෝගය ජය ගන්නත් පුළුවන් වෙන්නෙ. කියන්න යන දේ මොකක් වුණත්, ඒක කියන විදිහ ජනතාවට සංවේදී වෙන්නෙ නැත්නම් ඒක අසාර්ථකයි. ආකෘතිය සහ රිද්මය තුළින් ජනතාවට සමීප වෙන්න පුළුවන් කියල මම හිතුවෙ ඒ නිසයි. රසවිඳින්න පුළුවන් වෙනස් දෙයක් ජනතාව වැළඳ ගනියි කියල විශ්වාසයක් මට තියෙනවා.

■  සාමාන්‍යයෙන් ටෙලි නිර්මාණයක් කරද්දී, ජනප්‍රිය නළු නිළියන් යොදා ගැනීමෙන් එය හොඳින් විකුණා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් ඔබ ජනප්‍රිය නළු නිළියන් වගේම නවක නළු නිළියනුත් යොදාගෙන තමයි, මේ නිර්මාණය කරන්නෙ. ඇයි ඒ විදිහට නවකයන්ට අවස්ථාවක් දෙන්න ඔබ කල්පනා කළේ ?

ඒකට පළමුවැනි හේතුව තමයි, මම කැමරාවක් ඉදිරිපිට කරන රංගනය පිළිබඳ උගන්වන ගුරුවරයෙක්. දැන් අවුරුදු කිහිපයක් තිස්සෙ ‘අපේ ටීවී ඇකඩමි’ කියන ආයතනය පවත්වාගෙන යමින් රංගනය පිළිබඳ වැඩමුළු පවත්වනවා. ඒකත් ටිකක් වෙනස් විදිහෙ වැඩක්. ඒකෙදි මගේ අරමුණ වෙන්නෙ ඇත්තටම රඟපාන්න පුළුවන් ‘සැප නළුවෙක්’ ගොඩනඟන එක. සැප නළුවා කියන එකෙන් මම අදහස් කරන්නෙ භෞතික සුඛ විහරණය ලබන කෙනෙක් කියන එක නෙමෙයි. පහසුවෙන් රංගනයේ යෙදෙන, රංගන කාර්යයේ දී ඒ දේ හරියටම කරන, දැනුම්වත්භාවයෙන් යුතු, විනයක් ඇති, සාමාන්‍ය ජීවිතයේ දී අතිශය සාමාන්‍ය කෙනෙක් බවට පත් වුණ කෙනෙක්. ඒත් අද අපි දකිනවා, ඇතැම් අය කැමරාව ඉදිරියේ නෙමෙයි රඟපාන්නෙ, සාමාන්‍ය ජීවිතයේ දී. ඒ වෙනුවට මහ පොළොවට බැහැපු නළුවෙක් තමයි මම ‘සැප නළුවා’ කියන එකෙන් අදහස් කළේ. එවැනි රංගන ශිල්පීන්, ශිල්පිනියන් පිරිසක් බවට පත් විය හැකි නවක පිරිසක් මම අඳුනගෙන තියෙනවා. ඔවුන්ව තමයි මම මගේ ටෙලි නිර්මාණයේ නවක ශිල්පීන්, ශිල්පිනියන් විදිහට සම්බන්ධ කර ගත්තෙ. මම මේ කියන දේ හරි ද වැරදි ද කියන එක නිර්මාණය බලන ප්‍රේක්ෂකයා තීරණය කරයි.

■  අපේ ටීවී ඇකඩමි’ එකත් අනෙක් රූපවාහිනී පාඨමාලාවන්ට වඩා වෙනස් කියල ඔබ කියනවා. ඒ ගැනත් යමක් සඳහන් කළොත් ?

ඇත්තටම ඒක පාඨමාලාවක් විතරක්ම නෙමෙයි. දැනට රංගන කාර්යයේ යෙදෙන ජනප්‍රිය නළු නිළියන්, නවකයන් වගේම දරු දැරියන් එකට එකතු වෙලා එක පවුලක් වගේ තමයි අපි මේ වැඩමුළුව කරගෙන යන්නෙ. ඉක්මනින් ජනප්‍රිය වීමට පාරක් හදනවා වෙනුවට හැම දෙයක් ගැනම දැනුමක්, අවබෝධයක් දෙන එක අපේ වැඩමුළුවේ ප්‍රධාන අරමුණක්. රංගනය කියන්නෙ විශාල පරාසයක් ඇතුළෙ විහිදුණු දෙයක්. ඒක මාස කිහිපයකින් අවසන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කැමරාව ඉස්සරහ ‘රඟනොපා ඉන්න එකත්’ රංගනයේ ප්‍රධාන කොටසක්. රංගනය වගේම අනෙකාට ප්‍රතිචාර දැක්වීමත් රංගනයේ දී ඉතාම වැදගත්. ඒ නිසාම ඉක්මනින් මොකක් හරි චරිතයක් කරලා, ජනප්‍රිය වෙන්න හිතාගෙන එන අයත් තේරුම් ගන්නවා තමන්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියන එක. එහෙම තේරුම් ගන්න අයට මම දන්න ප්‍රමාණයෙන් මඟපෙන්වීම තමයි මේ වැඩමුළුව තුළින් කෙරෙන්නෙ.

■  කකුළුවෝ සහ මකුළුවෝ’ ටෙලිනාට්‍යයට ළමා නළු නිළියන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන තිබෙනවා. කුඩා දරුවන් සමඟ නිර්මාණ කටයුත්තක යෙදීම පහසු දෙයක් නෙමෙයි. ඔවුන් තෝරා ගැනීමේදීත්, ඔවුන් සමඟ කටයුතු කිරීමේදීත් ඔබට තියෙන අත්දැකීම මොන වගේද?

පළවෙනියෙන්ම මම කියන්නම්, මේ නිර්මාණය සඳහා දරුවන් තෝරා ගැනීම ගැන. ඒකෙදි මම කිසිම වෙලාවක හිතවත්කම් මත කිසිම දරුවෙක් තෝරා ගත්තෙ නැහැ. මේ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක රවීන්ද්‍ර ප්‍රියදර්ශනගේ පුතත් ප්‍රධාන චරිතයක් කරනවා. හැබැයි ඔහු මම තෝරා ගත්තෙ නිෂ්පාදකවරයාගේ පුතා වීම කියන කාරණය මත නෙමෙයි. ඔහු තුළ විශේෂ හැකියාවක් තියෙනවා කියලා මම දැක්කා. අපේ වැඩමුළුවේ කාලයක් අධ්‍යයන කටයුතුවල නිරත වුණා. මෙහි අනෙකුත් චරිත කරන දරුවනුත් එහෙමයි. රංගනය ගැන පුහුණුවක් ලබපු අය. ඔවුන්ගෙ හැකියාවන් මොන වගේ ද කියන එක නිර්මාණය තුළින් දැක ගන්න පුළුවන් වෙයි. අනෙක් පැත්තට දරුවන් එක්ක වැඩ කිරීම දුෂ්කර වුණත්, හරිම තෘප්තියක් ලැබෙන දෙයක්. ඔවුන් ඉගෙන ගන්න උනන්දුයි. ඒ වගේම ඔවුන්ව ගොඩනඟන්න පහසුයි. මම මුලින් කියපු ‘සැප නළුවන්’ වීමේ විභවය තියෙන විශාල පිරිසක් මේ දරුවන් අතරෙත් ඉන්නවා. ඒක මට නම් අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තුවක්.

සංවාද සටහන – චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

20 − two =