ලෙනින් කිව්වෙ “හොඳම දේ දරුවන්ටයි ” කියාය, අපේ පාලකයන් හොඳම දේ උන්ගේ දරුවන්ට ලබාදී තිබේ

මේ දරුවෝද – දරුවෝය !!
අප මේ ගෙවමින් සිටින්නේ 21ක් වන සියවසයි. අප රට නිදහස ලබා දැනට වසර 73 කි. මේ වන විට චීනෙට අයිති වරායක් ද වරාය නගරයක් ඇතුළු බොහෝ දේ මේ රට තුළ තිබේ. ඇමරිකාවට අයිති ඉඩකඩම්, බලාගාර ඇතුළු බොහෝදේ ද මේ සිරිලක තුළ තිබේ. ඉන්දියාවට අයිති මහා තෙල් ටැංකි, වරාය ජැටි ඇතුළු බොහෝ සම්පත් ද මේ රට තුළ තිබේ. තව තවත් රටවලට අයිති ..…….
නුඹලා නුඹලාගේ දරුවන් වූ අප වෙනුවෙන් කුමක් ඉතිරි කර තිබේද ? අනාගතයේ අපේම දරුවන් අපෙන් විමසනු ඇත. දැඩි ලෙස ප්‍රශ්න කරනු ඇත.
මේ ඡායාරූප වලින් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ දුප්පත්ම පළාත වූ ඌව පළාතේ , මා ද වාසය කරන බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව ආසනයේ මීගහකිවුල වෙන්දේසියාය විදුහලයි. මේ විදුහලේ දරුවෝ ද දරුවෝ ය.
වී.අයි.ලෙනින් ලෝකයට කීවේ,
“හොඳම දේ දරුවන්ටයි ” කියාය.
එය අපේ රටේදී ද සැබෑය. අපේ පාලකයන් හොඳම දේ උන්ගේ දරුවන්ට ලබාදීම පිළිබඳ අපට ගැටළුවක් නැත. ගැටලුව ඇත්තේ මේ දරුවන්ගේ ද දේ පැහැරගෙන, උදුරාගෙන, සොරාගෙන, ඒ දේ කිරීම සම්බන්ධයෙන් පමණි.
අපට හා දරුවන්ට මේ පාර කැපුවේ පාලකයන්ය. මේ පාලකයන්ට මෙතෙක් පාර කැපුවේ මේ රටේ බහුතරයක් ඡන්ද දායකයන් ය. දැන් අප ආ පාරේ ඉම – කොන පෙනෙන මානයේ තිබේ. ඒ ඈතින් පෙනෙන කනත්ත වෙත අප නොයා යුතුය.
ඔබට අපට මේ පාරෙන් හැරී ගමන් කළ හැකි අලුත් මාවතක් විවර වී ඇත. එන්න, සිංහල, දෙමළ, මුස්ලිම්,…..බොදු , හින්දු ඉස්ලාම්, කිතුනු , …….සියලු දෙනාම එන්න. අපි අලුත් පාරට හැරෙමු. හොඳම දේ දරුවන්ට උරුම කර දෙමු. මේ දරුවන් වෙනුවෙන් ඔබත් යමක් කරමු.

– සමන්ත විද්‍යාරත්න (fb)

Leave A Reply

Your email address will not be published.

four × 5 =