මේ සැමරුම් කරන්නේ ආයෙත් යුද්ධයක් ඉල්ලන්න නෙමෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති

නවරත්නම් තිවාකරන්

යුද්ධය අවසන් වෙලා තියෙන්නෙ. ඔවුන් යම් කිසි අරමුණක් වෙනුවෙන් සටන් කළා. ඒක හරි ද වැරදි ද කියන එක මොකක් වුණත්, ඒ මැරුණෙ කාගෙ හරි දරුවෙක්. එහෙමත් නැත්නම් කාගෙ හරි සහෝදරයෙක් නැත්නම් සහෝදරියක්. එහෙමත් නැත්නම් ඥාතියෙක්. ඔවුන්ට තමන්ගෙ මිය ගිය කෙනා සමරන්න අයිතියක් තියෙන්න ඕනෙ නේ ද? ඇයි ඒ අයිතියවත් උතුරේ ජනතාවට දෙන්න බැරි ? යුද්ධයෙන් මේ ජනතාව ඇති තරම් බැටකාල තියෙන්නෙ. දසදහස් ගණනක් ජීවිත අහිමි කරගෙන තියෙන්නෙ. ඒ මියගිය ඥාතීන් සමරන එකත් තහනම් කරලා, තවත් දකුණෙ ජනතාව ගැන වෛරයක් ඇති කරනවා වෙනුවට මිය ගිය අය සිහිපත් කරන්න, ඔවුන් වෙනුවෙන් හදවත් ඇතුළෙ තියෙන දුක අනෙක් අය එක්ක බෙදාගන්න නිදහසවත් දෙන්න. මේ සැමරුම් කරන්නෙ ආයෙත් යුද්ධයක් ඉල්ලන්න නෙමෙයි. මේ රටට යුද්ධයක් එපා කියල කවුරුහරි කියනවා නම්, ඒ එපා කියන පෙරමුණේ ඉස්සරහින්ම ඉන්නෙ අපි.

■  හැම අවුරුද්දකම මහවිරු දිනයක් විශ්වවිද්‍යාලය තුළත් සංවිධානය කරන්න හේතුව මොකක්ද?

මෙවැනි සැමරුමක් විශ්වවිද්‍යාලය තුළ සංවිධානය කරන්න හේතුව තමයි, යුද්ධය තියෙන කාලයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වීම. ඒ අයව අපට අමතක කරන්න බැහැ. ඔවුන් සිහිපත් කරන්න තමයි, අපි මේ දිනය සංවිධානය කරන්නෙ. මහ විරු දිනය දවසෙම අපි ඒ සැමරුම සිදු කරනවා. ඒක දැනට වසර ගණනකට පෙර සිටම අඛණ්ඩව සිදු කරන දෙයක්.

■  මහවිරු සැමරුම සම්බන්ධයෙන් උතුරේ ජනතාවට තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද?

යුද්ධයෙන් උතුරේ ජනතාව විශාල ප්‍රමාණයක් මරණයට පත් වුණා. හැම පවුලකම වගේ එක්කෙනෙක් හෝ ඒ විදිහට මිය ගිහින් තියෙනවා. ඒ නිසා උතුරේ ජනතාවට තමන්ට අහිමි වුණු කෙනා සිහිපත් කරන්න අයිතියක් තියෙනවා. ඒ දිනය ඔවුන්ට දැනෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම වගේ මේ දිනය ගැන සංවේදීයි. ඒත් හැම කෙනෙක්ම මේ දිනය සමරන්න ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි, ජනතාව භයට පත්වෙලා ඉන්න එක. තමන්ගෙ මිය ගිය ඥාතීන් සමරන එකත් අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දෙන්න හේතුවක් වෙන්න ඉඩ තියෙන තත්ත්වයක් තමයි දැන් තියෙන්නෙ.

■  එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට නම් කර තිබීම එවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන මූලික හේතුව නේද?

දැන් යුද්ධය අවසන් වෙලා තියෙන්නෙ. ඔවුන් යම් කිසි අරමුණක් වෙනුවෙන් සටන් කළා. ඒක හරි ද වැරදි ද කියන එක මොකක් වුණත්, ඒ මැරුණෙ කාගෙ හරි දරුවෙක්. එහෙමත් නැත්නම් කාගෙ හරි සහෝදරයෙක් නැත්නම් සහෝදරියක්. එහෙමත් නැත්නම් ඥාතියෙක්. ඔවුන්ට තමන්ගෙ මිය ගිය කෙනා සමරන්න අයිතියක් තියෙන්න ඕනෙ නේ ද? ඇයි ඒ අයිතියවත් උතුරේ ජනතාවට දෙන්න බැරි ? යුද්ධයෙන් මේ ජනතාව ඇති තරම් බැටකාල තියෙන්නෙ. දසදහස් ගණනක් ජීවිත අහිමි කරගෙන තියෙන්නෙ. ඒ මියගිය ඥාතීන් සමරන එකත් තහනම් කරලා, තවත් දකුණෙ ජනතාව ගැන වෛරයක් ඇති කරනවා වෙනුවට මිය ගිය අය සිහිපත් කරන්න, ඔවුන් වෙනුවෙන් හදවත් ඇතුළෙ තියෙන දුක අනෙක් අය එක්ක බෙදා ගන්න නිදහසවත් දෙන්න. මේ සැමරුම් කරන්නෙ ආයෙත් යුද්ධයක් ඉල්ලන්න නෙමෙයි. මේ රටට යුද්ධයක් එපා කියල කවුරුහරි කියනවා නම්, ඒ එපා කියන පෙරමුණේ ඉස්සරහින්ම ඉන්නෙ අපි.

■  තිස් වසරක යුද්ධය අවසන් වෙලා දැන් වසර දහයක් ගත වෙලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යන් විදිහට මේ මොහොතෙ ඔබ ඇතුළු සිසුන් මුහුණදෙන වෙනත් ප්‍රශ්න මොනවද?

යුද්ධය පැවතුණු කාලයේ උතුරේ සහ නැඟෙනහිර ජනතාව විශාල දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. දේපළ විශාල ප්‍රමාණයක් අහිමි වුණා. පාසල් පවා විනාශ වුණා. ඊට පස්සෙ කෙරුණ සංවර්ධනය ඇතුළෙත් අපි ඉන්නෙ පිටුපසින්. අවශ්‍ය පහසුකම් තවමත් සම්පූර්ණ වෙලා නැහැ. යාපනය විශ්වවිද්‍යාලය ගත්තත් එහෙම තමයි. යාපනයේ අපිට තිබුණ ප්‍රධානම සම්පත තමයි යාපනය පුස්තකාලය. ඒකත් ගිනි තියල විනාශ කළා. දැන් උතුරෙ ජනතාවගේ ජීවිත ගොඩනඟන මූලික තැන වෙන්නෙ යාපනය විශ්වවිද්‍යාලය. මොක ද? අපිට නැවතත් නැඟී සිටින්න නම්, අධ්‍යාපනය ලැබීම අත්‍යවශ්‍යයි. ඒත් ඒ දේ සඳහාවත් අවශ්‍ය වටාපිටාව ප්‍රමාණවත් නැහැ. අවශ්‍ය තරම් ගොඩනැඟිලි විතරක් නෙමෙයි, මේස පුටු පවා ප්‍රමාණවත් නැහැ. විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගන්න අවුරුද්දක විතර කාලයක් ගත වෙනවා. උපාධියක් ලබාගෙන පිට වෙන කොට අවුරුදු විසි හතක් විතර වයසක් ගත වෙලා. අවසන් වසර විභාගවලට මුහුණ දීලා ප්‍රතිඵල එන්න මාස දහයක පමණ කාලයක් ගත වෙනවා. මාස තුනකින් ප්‍රතිඵල දිය යුතු වුණත්, යාපනය විශ්වවිද්‍යාලයේ දී ඒක එහෙම වෙන්නෙ නැහැ. ඒ නිසා උපාධිය ලබා ගන්න තවත් කල් ගත වෙනවා. ඒ වෙන කොට ආර්ථික ප්‍රශ්න කර වටටම ඇවිත්. පශ්චාත් උපාධියක් ගැන හිතන්න ගොඩක් අයට පුළුවන්කමක් නැහැ. අනෙක් පැත්තෙන් විශ්වවිද්‍යාලයෙන් පිට වෙන වැඩි දෙනකුට රැකියා ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනෙ, විශ්වවිද්‍යාලයේ තියෙන ගැටලු නිසා අධ්‍යාපන කටයුතු කරගෙන යන්න බැරුව සිසුන් සිය දිවි නසා ගන්න අවස්ථාත් තියෙනවා. සමහර සිසුන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් තමයි, අධ්‍යාපන කටයුතු කරන්නෙ. තවත් අය විශ්වවිද්‍යාලය හැර යනවා මේ ප්‍රශ්න දරා ගන්න බැරිව.

 ඔබ කියන ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ශිෂ්‍ය සංගමය විදිහට ඔබ කරන මැදිහත්වීම මොන වගේද?

අවසන් විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද කිරීමට විරුද්ධව අපි විරෝධතාවක් සංවිධානය කළා. විශ්වවිද්‍යාල පරිපාලනයත් එක්ක සාකච්ඡා කළා. ඔවුන්ට අපි ඒ පිළිබඳව ලිඛිතවත් දැනුම් දුන්නා. සුබසාධන ගැටලු සම්බන්ධයෙනුත් අපි ඔවුන්ව දැනුවත් කළා. ඒත් ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණෙ නැහැ. ඊට පස්සෙ අපි උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාරවරයාත් හමු වෙලා කතා කළා. ඒත් ප්‍රශ්න තවමත් එතැනම තියෙනවා.

■  මේ ප්‍රශ්නවලින් වැඩි ප්‍රමාණයක් ලංකාවේ අනෙක් විශ්වවිද්‍යාලවල සිසුන්ටත් මුහුණ දෙන්න වෙලා තියෙන ගැටලුම තමයි. එවැනි තත්ත්වයක් ඇතුළේ තනිව සටන් කරනවා වෙනුවට ඔවුන් සමඟ එකතු වෙලා අයිතීන් දිනා ගන්න සටන් කරන්න සූදානමක් නැද්ද?

මේ ප්‍රශ්නවලට සිංහල, දෙමළ කියල භේදයක් නැහැ කියල අපි දන්නවා. විශ්වවිද්‍යාලය ඇතුළෙ තියෙන පොදු ප්‍රශ්න වෙනුවෙන් අපි එකට තමයි, දැනටත් සටන් කරන්නේ. සිංහල සිසුන්ගෙත් සහයෝගය ඒ වෙනුවෙන් තියෙනවා. අධ්‍යයන කටයුතුවල දීත් ඒ සුහදතාව අපි අතරේ තියෙනවා. ඒ වගේම ශිෂ්‍යයන්ට බලපාන පොදු ප්‍රශ්න වෙනුවෙන් ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල එක්ක එකතු වෙලා සටන් කරන්න අපි සූදානම්. ඒත් තවමත් ඒක හොඳින්ම ක්‍රියාකාරී තලයට ඇවිත් නැතිකමේ ප්‍රශ්නයක් තියෙනවා.

■  උතුරේ ශිෂ්‍ය ප්‍රශ්නත්, පොදුවේ උතුරේ ජනතාවගේ ප්‍රශ්නත් වෙනුවෙන් උතුරේ දේශපාලකයන්ගේ මැදිහත්වීම මොන වගේද?

උතුර නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ඉන්නේ දෙමළ ජාතික සන්ධානය. ඒක ඇතුළෙ ඉන්න සුමන්තිරන් සහ සම්බන්ධන් වගේ අය උත්සාහ කරන්නෙ ව්‍යවස්ථා වෙනස්කම් තුළින් යමක් දිනා ගන්න. ඒ අය එවැනි මැදිහත් වීමක් කරද්දී, අනෙක් මන්ත්‍රීවරුන් උතුරේ තියෙන අනෙක් ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්න ඕනෙ. එහෙම මැදිහත් වීමක් කරනවා නම් ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න පුළුවන් වෙයි. ඒත් ඒ දේ හරියට සිදු වෙන බවක් පෙනෙන්නෙ නැහැ. උතුරේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් කරන සටන දැන් අවුරුදු තුනකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු වෙනවා. ඒත් ඒකටවත් ඔවුන් හොඳ මැදිහත් වීමක් කරන්නෙ නැහැ.

■  ශිෂ්‍ය ප්‍රශ්නවලදී වාගේම පොදු ප්‍රශ්නවලදීත් තියෙන උත්තරේ එක්ව සටන් කිරීම කියල ඔබ හිතන්නෙ නැද්ද?

පොදු ප්‍රශ්නවලදිත් තියෙන උත්තරේ ඒක තමයි. ඒත් ඒ වෙනුවෙන් හොඳ විශ්වාසයක් අපිට ඕනෙ කරනවා. මොක ද? දෙමළ ජනතාව කියන්නෙ දශක ගණනාවක් ම රැවටීමට ලක් වුණු පිරිසක්. ඔවුන් තුළ දකුණ සම්බන්ධයෙන් විශ්වාසය හදන එක පහසු දෙයක් නෙමෙයි.

■ සංවාද සටහන

  සදීෂ් සෙල්වරාජ්

Leave A Reply

Your email address will not be published.

4 × one =