ChildFund වෙතින් මඩකලපුවට ජලය සහ සනීපාරක්ෂක පහසුකම්

ChildFund Sri Lanka විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පාසල් සහ ප්‍රජාවන් හට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දෙමින්, ඔවුන්ගේ ජල අවශ්‍යතාව සහ සනීපාරක්ෂක සෞඛ්‍ය කටයුතු සඳහා අඛණ්ඩව මැදිහත් වෙමින් වසර දෙකක ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කර ඇත.

එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා පැවැති ජල හිඟය බරපතළ ප්‍රශ්නයක්ව තිබිණි. යුද්ධයෙන් පීඩාවට පත් වූ මෙම ජනතාව නියඟයේ සහ ගංවතුරේ බලපෑම්වලින් සහ භූගත ජලය සිඳී ගොස් ජල මූලාශ්‍ර සීමිත වී යාම හේතුවෙන් තව දුරටත් ගැටලුවලට මුහුණ දුන්හ.

ChildFund Sri Lanka සංවිධානය විසින් මෙම ජනතාවට ස්ථාන කිහිපයක පිරිසිදු පානීය ජල ව්‍යාපෘති සහ සනීපාරක්ෂක පහසුකම් සපයා දෙනු ලැබූ අතර ආන්තික හා අවදානමට ලක් විය හැකි දරුවන්ගේ සහ එම පවුල්වල සෞඛ්‍ය තත්ත්වයන් නඟාසිටුවීමට ද පියවර ගනු ලැබී ය. මඩකලපුව දිස්ත්‍රික්කයේ ළමයින් 5,000කට වැඩි ප්‍රමාණයකින් සහ වැඩිහිටි පුද්ගලයන් 8,000කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත ගම්මාන හයක් සහ පාසල් 30ක් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් විය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල්වලට සහ ජනතාවට ජලය සහ සනීපාරක්ෂක කටයුතු සලසා දීමේ ව්‍යාපෘතියේ 2 වන අදියර’ යටතේ ප්‍රජාමූලික ජලසම්පාදන යෝජනා ක්‍රමයක් ස්ථාපනය කිරීමට කටයුතු කර ඇති අතර, එමඟින් කොතියාපුලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් හට මේ වන විට ඔවුන්ගේ නිවෙස් වෙත සෘජුවම නළ ජලය ලැබී තිබේ. වවුනතිව් කොට්ඨාසයේ පුහුණු මධ්‍යස්ථාන 06ක් සහ පාසල් 30ක් සඳහා ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ද මෙම ව්‍යාපෘතිය මඟින්  ලබා දී තිබේ. නිසි සෞඛ්‍ය හා සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමට කරන ලද දැනුම්වත් කිරීමේ වැඩසටහන් මඟින් එම පුරුදු ජනතාව අතර ප්‍රවර්ධනය කර ඇත.

ChildFund Sri Lanka සංවිධානයේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ දිනන්ත තඹවිට මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසී ය: “පාසල් තුළ පිරිසිදු පානීය ජලය සඳහා ඇති දුර්වල ප්‍රවේශයන්, සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම සහ යහපත් සනීපාරක්ෂක භාවිතයන් පිළිබඳ දැනුම නොමැතිකම දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි අභියෝග එල්ල කරන බව ChildFund හි අපට වැටහී තිබෙනවා. හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමෙන් වඩා හොඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයන් හා පාසල් කාර්යසාධනයක් ළමයින් අතර ඇති කිරීමෙන් ඔවුන්ට උසස් ජීවන තත්ත්වයන්ට ළඟා වීමට බලාපොරොත්තු ඇති කර තිබේ.”

මෙම ව්‍යාපෘතිය සඳහා ChildFund New Zealand (රු. 6,60,53,668.00) විසින් අරමුදල් සපයනු ලැබූ අතර Action Unity Lanka  ආයතනය සමඟ එක්ව ChildFund Sri Lanka විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී●

 

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

one × 4 =