ජාතික ජන බලවේගය යතුර දෙන තුරුම බලා සිටිනවාද?

දෙසැම්බර් 20දා ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුවේ දී එහි නායක අනුර දිසානායක කීවේ, රට භාර ගැනීමට හා ගොඩනැඟීමට ජාජබය සූදානම් බව ය. අනුරගේ එම ප්‍රකාශය රට වනසන දේශපාලන නායකයන් නිතර කරන ආකාරයේ ව්‍යාජ ප්‍රකාශයක් නොවන බව පැහැදිලි ය.

එහෙත්, ඔවුන් හමුවේ මේ මොහොතේ පමණක් නොව දිගටම අභියෝග ගණනාවක් තිබිණි. එහි පළමුවැන්න වනුයේ, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාව ඔවුන්ට අඩු පංගුවක් හිමි කර දීම ය. ජනයා නොතකාහරින අවස්ථා කෙතෙක් වුවත්, එම ව්‍යාපාරය අනවරතව සිය පදනම් අදහස්වල නිමග්නව සිටීම ඔවුන්ට ඇති නොනැසෙන ඉවසීම ප්‍රකට කරන්නකි. ඉවසීම ධනාත්මකව සලකා බලන දවසක් අනාගතයේ උදා වෙයිද?

යතුර සොයා ගැනීම

ජනතාව කෙදිනක හෝ යතුර කරකවන තුරු බලා නොසිට යතුර කරකැවීමට අවශ්‍ය ලිහිසි තෙල ජාජබයට කෙමෙන් උත්පාදනය කළ නොහැකි ද? අනෙක් අතට තම දේශපාලන සතුරා කරන වැරැදි තමන්ට මතු වීමට හේතුසාධක වන බව සැබෑය. 2015න් පසු මහින්ද රාජපක්ෂ භාවිත කළ යතුරත්, 2019 නොවැම්බර් හා ඉන්පසුව සජිත් ප්‍රේමදාස භාවිත කිරීමට තැත් කරන එකම යතුරත් එයයි. ලංකාවේ පසුගාමී ධනවාදයේ ස්ථාපිතය සදහා තිබෙන ව්‍යාජ විකල්ප පක්ෂ දෙක, මෙම ක්‍රියාව විටින්විට කරන නිසා ජාජබය හුදෙක් එම ක්‍රමය එකම බලාපොරොත්තුව කර ගැනීම ප්‍රතිඵල විරහිත ය. ඊට සමාන්තරව හා සක්‍රිය ලෙස කිසියම් පෙරටුගාමී ක්‍රියාවලියක් ඔවුන්ට අවශ්‍ය ය.

චිලියේ සිද්ධ වූයේ එවැනි ක්‍රියාවකි. තරුණ ජනයා එහි ප්‍රමුඛත්වය ගත්හ. පුද්ගල නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය ඔවුන්ගේ උද්ඝෝෂණ තේමාවන් වූයේ ය. ලංකාවේ තරුණ ප්‍රජාව එසේ බලමුළු නොගැන්වෙන්නේ ඇයි? දිගු කලක් තිස්සේ සමාජ ව්‍යාපාර පිළිබඳ විශ්වාසය බිඳවැටෙමින් තිබීම ඊට එක් හේතුවක් විය හැකිය. අනෙක් අතට හුදෙකලා කැරුණු පුද්ගල පෞරුෂය හුදු පුද්ගල වුවමනාවන් පෙරදැරිව සිතීම මෙම පරත්වාරෝපණයට තවත් හේතුවකි. මෙය තනිකරම සංස්කෘතිකමය හුදෙකලාවක් බවට පත් වන විට සමාජයක් නිර්වින්දනය වීම ප්‍රතිඵලය ලෙස දැක්ක හැකි ය. වර්තමාන ලංකාවේ තරුණයෝ ඇඟ රිදෙන වැඩ ගැන නොසිතති. මේ තත්ත්වය තුළ ජාජබය කුමක් කළ යුතු ද?

ජාතික ජන බලවේගය යනු වර්තමාන ලංකාවේ තරුණයන් සුළුතරයකගේ හා තරමක් දුරට භූමියේ අරගල කළ වැඩිහිටියන් පිරිසකගෙන් සමන්විත ව්‍යාපාරයකි. දැන් ඔවුන් විරෝධතා පත්වන්නේත් නිශ්චිත කාල රාමුවක් තුළ ය. අනතුරුව මීඩියා ඉදිරියේ තද ප්‍රකාශයක් කර විසිර යති. ‘ජනමාධ්‍ය’ දේශපාලනයටත් වඩා අන්ත තක්කඩි ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන අතර ජනමාධ්‍ය හා දේශපාලකයා දැනුම්වත් තක්කඩිකමක ද නිරත වනු පෙනේ. ඒ දුෂ්ට දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප නොකර එහි කඳන් පණුවන් ලෙස දිවි ගෙවීම ඉෂ්ටාර්ථය කරගැනීමෙනි.

අද වැනි, රට මුළුමනින් අගාධයට වැටුණු මොහොතක, එනම්, වර්තමාන පාලකයන් තව මොහොතක්වත් රට පාලනය කිරීමට සුදුසු නැති අවස්ථාවක ඇත්ත දේශපාලන පක්ෂයක් කළ යුත්තේ කුමක් ද? තවදුරටත් කැමරා ඉදිරියේ රඟපෑම් දේශපාලනයේ නිරත වීම ද? නැතහොත්, මහජන දිවි පැවැත්ම උදෙසා නොනවතින ප්‍රජාතන්ත්‍රීය විරෝධතා ව්‍යාපාරයක නිමග්න වීම ද?

මේ වන විට රටෙහි ජනයා පසුවන්නේ බඩසයිනි. සහල් මිල තීරණය කරන්නේ ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයෝ ය. ඊට තීරණාත්මකව බලපෑමක් කරන මහජන දේශපාලන ව්‍යාපාරයක් නැත. ආණ්ඩුවේ පොහොර අත්තනෝමතිකත්වය නිසා ආහාර හිඟය උග්‍ර වෙමින් තිබේ. ගෑස් ළිප ඇතුළු සියලු පිපිරීම්වල වගකීම බැර වී තිබෙන්නේ ජනතාව පිටය. මේසයට මස් ලැබෙන අයට ආහාර පිළිබඳ ලොකු ප්‍රශ්නයක් නැතත්, කරවල කටු හොද්ද හා නිරිබත කෑමට සිදු වී තිබෙන ජනතාවකගේ ප්‍රශ්නය සරල නැත. ආදායම් මාර්ග බිඳවැටී ජනයා පීඩාවේ අන්තයට ගිය විට ඔහුගේ සිතීම බින්දුවට වැටීම ද ස්වාභාවිකය.
මෙවැනි පසුබිමකත් ජනයා පුදුම විදියට ඉවසන්නේ හා නිද්‍රාවට පත්ව සිටින්නේ තමන් නියෝජනය කරන බව ශරීරයට හා මනසට දැනෙන ජනතා මූලස්ථානයක් හා ව්‍යාපාරයක් නැති නිසා ය. අනුර දිසානායක කියන වගකීම භාර ගැනීම සම්බන්ධ වන්නේ එතැනට ය. ඒ කියන තැන සමඟ දිගටම ඇත්තේ අසම්බන්ධයක් නම්, එක්කෝ ද්‍රෘඪ සම්බන්ධයක් නොවේ නම් අනුරට හා ජාජබයට ජනතාව වගකීම දෙනු ඇතැයි සිතිය නොහැකි ය. වෙල්ලස්සේ අරගලයේ සිට අරාබි වසන්තය දක්වා සටන් පැනනැඟුණේ ජනතාව තුළින් යැයි බැලූබැල්මට පෙනී ගියත්, එකී පිබිදීම් සමඟ ගැටගැසුණු ප්‍රමුඛ දේශපාලන හුයක් තිබිණි. එම නූල කැඩී ගියහොත්, ජනතාව අවකාශයේ පාවෙන සරුංගලයක් බවට පත් වීම නොවැළැක්විය හැකි ය. මෙවැනි සංකීර්ණ මොහොතක නොනවතින විරෝධතා රැල්ලක් දියත් කිරීමට ජාජබයට හැකි නම්, එය ජනතාව ඉක්මන් කර යතුර කරකවා දීමට ද අවස්ථාවක් කර ගැනීමට පුළුවන.

මහින්ද රාජපක්ෂ ‘ජනඝෝෂා’, ‘පාද යාත්‍රා’ සංවිධානය කිරීම මඟින් ඔහු අයත් පක්ෂයේ නිඳි බිඳීම පමණක් නොව පීඩාවට ලක්ව සිටි විපක්ෂ සංවිධාන කිසියම් පිබිදීමකට ලක් කළේ ය. එම මැදිහත් වීම්වලට ගැඹුරු අරුත් නොතිබිණි. එහෙත්, එවැනි ක්‍රියා තුළ ගැඹුරු අරුත් නොසොයන ලංකාවේ ජනයා 17 වසරක එජාප පාලනයෙන් හිරිවැටී සිටි තත්ත්වය මඳක් සමහන් කර ගත්තේ ය. අද රට මුහුණ පා සිටින්නේ එදා එජාප පාලනයෙන් ජනයා බැට කෑ තත්ත්වයටත් වඩා බරපතළ අනතුරකට ය. එම පීඩාව වේලාසනින් පිබිදීම පිණිස පාදක කර ගත නොහැකි ද? එහි අරමුණ තදියමින් බලය ඇල්ලීම නොවේ. දීර්ඝ කාලයක් තිස්සේ සිදු වන විනාශයට තිත තැබීම ය.

ජාජබය වමට සිග්නල් දමමින් යන ගමන එක් විටම වෙනස් කළ නොහැකි බව සැබෑ ය. වමට සිග්නල් දමමින් ගොස් දකුණට නැඹුරු වෙනවා නම් ජාජබයට උදවු කරන මෙරට ලිබරල්වාදීන් රිසි ය. එසේ කියන්නේ කිසිසේත්ම ජාගර චිත්තයකින් නොව ධනේශ්වර සංවර්ධනය පතා ය. මෑත අවධියෙහි සිට එම පක්ෂය තුළ ක්‍රියාකාරී වන බහුතර පිරිස කොමියුනිස්ට්වාදීන් හෝ ගැලවෙන්නට බැරි සන්නාහයක් ඇඟලූ සමාජවාදීන් නොවෙති. ඔවුහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් වෙති. එමෙන්ම ලිබරල් ආස්ථානයක පසුවෙති. ඉකුත් 20දා ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරමින් වේදිකාවට නැඟුණු හැත්තෑපස් දෙනාගෙන් 75%ක්ම නිදහස් මතධාරීහු ය. ජාජබය එම විස්තෘතත්වය තව වර්ධනය කර ගත යුතු ය. මන්ද ජනතා මූලස්ථානය යනු පොලිස් මූලස්ථානය බඳු එකක් නොවිය යුතු නිසා ය.

තවත් ප්‍රශ්නයක් ජාජබයට තිබිය හැකි ය. ඒ රෙදි කඩාගෙන ලිබරල් වීමට ගියහොත්, තම දේශපාලන අනන්‍යතාව බිඳවැටීමට ඉඩ ඇතැයි යන සංශය ය. එහෙත්, වර්තමාන ලෝකය තුළ එසේ විය නොහැකි ය. කවර ව්‍යුහයක වැඩ කළත්, වඩා වැදගත් වන්නේ මහජන කේන්ද්‍රීය වශයෙන් ප්‍රතිපත්ති අභ්‍යාස කිරීම ය. විශේෂයෙන්ම පුරවැසි මනස සැහැල්ලු කළ හැකි රටක් හැදීම කවර දේශපාලන ක්‍රමයක හෝ පවර අරමුණ බව ප්‍රදර්ශනය වනවා නම් හා එය කෙමෙන් යථාර්ථයක් වන බව පෙනෙනවා නම් ජාජබයේ දේශපාලන සන්නාමය රටට ප්‍රශ්නයක් නොවේ. මේ කවර මැදිහත්වීමකට වුව ඇත්තේ පහසු මඟක් නොවේ.

 

ලෙනින් හා බැසිල්

ලෙනින් කීවේ “පියවරක් ඉදිරියට, පියවර දෙකක් පසුපසට, යළි වේගයෙන් ඉදිරියට…” යනුවෙනි. ලෙනින් එවැන්නක් කිව්වා දැයි කියාවත් නොදැන එම ක්‍රියාව ඉදිරි කාලය තුළ බැසිල් අනුගමනය කිරීමට ඉඩ ඇති බව අමතක නොකළ යුත්තකි. ගෙවී යමින් තිබෙන්නේ ගෝඨාභය වෙනුවෙන් චිත්‍රකර්මයෙහි යෙදුණු පිරිස්වලට චිත්‍ර වුවත්, එසේ දුරදිග නොබලා කළ කර්මය පටිසන් දෙන අවධියකි.

එසේ වුවත්, ලංකාවේ ජනයාගේ ස්වාභාවය අනුව බැසිල් වැනි අයකු ඉදිරි වසර තුන තුළ යළි ජනමනස පෙර තිබුණු තත්ත්වයට ගැනීමට, එනම් කර්මයට ප්‍රතිකර්මයක් කිරීමට ඉඩ තිබේ. එවැනි වික්‍රමයක් පෑමට මහින්ද රාජපක්ෂ ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ දමා දුන් පදනම ඉවහල් වෙයි. මහින්ද රාජපක්ෂ යනු යහපාලන ජනාධිපතිගේත් අගමැතිගේත් ඔළුවලට වෙඩි තැබිය යුතු යැයි ප්‍රසිද්ධියේ කිව හැකි මතවාදී ප්‍රචණ්ඩකාරීන් ගොඩනැඟූ චරිතයකි. බැසිල් පොදුජන පෙරමුණ ආරම්භයේ දීම මහජන අවකාශයේ පතුලටම ගොස් එක් එක් සමාජ තට්ටු කෙරෙහි වෙන වෙනම අවධානය යොමු කර ප්‍රචාරක ව්‍යාපාරය ගොඩනැඟුවේ ය. සංවර්ධන නිලධාරීහු, සමෘද්ධි නියාමකයෝ, ගොවි නියාමකයෝ ගම් මට්ටමෙන් බැසිල්ගේ සැලැස්ම ජනයා අතරට ගෙන ගියහ. රාජපක්ෂලා කියන පට්ටපල් බොරු වුව විශ්වාස කරන තත්ත්වයක් රටෙහි ස්ථාපිතව තිබීමෙන් ඔවුහු ඉහළම වාසියක් ගත්හ.

ජනපති හා මුදල් ඇමැති වැඩ අනාගත් මේ මොහොතේ මහින්ද දෙකකුල් ගැහි ගැහී හෝ අල්ලා ගෙන සිටින්නේ ශීඝ්‍රයෙන් දිය වෙමින් යන විශ්වාසය තරමක් දුරට හෝ රැකගනීම සඳහා ය. මහජනයාට අල්ලස් පෝලිමක් දී බැසිල් අවසාන පන්දු වාරවලදී හයේ පහරවල් කීපයක් එල්ල කළහොත්, සිදු විය හැක්කේ කුමක් ද? ලංකාවේ සිටින්නේ දේශපාලකයන් සේම අවරට ගිය ජනතාවක් නිසා ඔවුන් රාජපක්ෂලාගේ අවසාන ඕවරවල ක්‍රීඩාවෙන් ගිනිකන වැටීමට ඉඩ ඇත. ඒ නිසා මේ මොහොතේ ගමින් ගමට යන ජාජබය ගැමියන් හෝ අඩ නාගරික ජනයා ගෑස් ළිප් පිපිරීම, පිටි නැතිකම, සහල්, පෙට්‍රල් මෙන්ම ජීවන මිල අහස උසට යාමේ කෝපයෙන් කියන කතා පිළිබඳ එළැඹි සිහියෙන් කල්පනා කොට නිවැරැදි තක්සේරුවකට පැමිණිය යුතු වෙයි.

භූමිය මත දේශපාලනය

රටේ ජනයාගේ රසවින්දනය ටෙලිවිෂනයට කොටු වුණා සේ පක්ෂවල දේශපාලනයත් ටෙලිවිෂනයට කොටු වී තිබේ. ටෙලිවිෂන් දේශපාලනය නිසා පොළොවේ දේශපාලනය අතහැරෙමින් තිබීම බරපතළය. චිලියේ තරුණ ජනයා පාරට බටුයේ ෆේස්බුක් දේශපාලනයෙන් කළ හැකි ඉටිගෙඩියක් නැති නිසා ය.

කැමරා නැති නම් උද්ඝෝෂණ නොකරන ගොවීන්, කම්කරුවන් මෙන්ම දේශපාලකයන් සිටින රටක් බවට ලංකාව පත් වෙමින් තිබීම මඟින් ජනයා හා ක්‍රියාධරයා අතර සබඳතාව ද කෘත්‍රිම එකක් බවට හැරෙයි. ජාජබයේ මවු පක්ෂය වන ජවිපෙ තුළ සෑම කලෙකම ලොකු බරක් ඇද්දේ පහළම මට්ටමේ සාමාජිකයාය. ඔහුගේ අදහස් උඩු තලයට එනවා දැයි යන්න සැකසහිත ය. ඔවුන් පෝස්ටර් කිංලාගේ භූමිකාවෙහි පමණක් තැබීම නොකටයුතු ය. මන්ද, පක්ෂයේ නියම ක්‍රියාධරයෝ හැමදාම යට තට්ටුවෙහි සිටියහ. ඔහු සහ ජනයා අතර සම්බන්ධය ද තදබල එකකි. පොදු ජනයා මහමඟට කැඳවා ගැනීමේ වැඩිම ශක්‍යතාව ඇත්තේ ද ඔවුන්ට ය. හර්තාලයේ දී ජනයා, දේශපාලනඥයා පසු කර ගියේ ය. සැබැවින්ම භූමිය මත අරගලය විශ්වාස කරන මට්ටමට ජනයා පරිවර්තනය වන අවස්ථාවක එසේ විය හැකි ය.

ජාජබයේ විධායක සභාව නියෝජනය කරමින් චතුරංග අබේසිංහ නමැති තරුණ ව්‍යවසායකයකු එම සභාව ඇමතුවේ ය. එම තරුණයා නියෝජනය කරන ධාරාවට ආමන්ත්‍රණය කරන විධික්‍රමයක් ජාජබය සතු ද?

ඉකුත් ජනාධිපතිවරණයේ දී අලුත් ඡන්ද ලක්ෂ නමයක් පමණ වන ප්‍රමාණයෙන් සියයට 75කට වඩා ලැබුණේ වත්මන් ජනපතිට ය. එම 75% ම මේ වන විට සිය විශ්වාසය බිඳගෙන සිටිති. චතුරංග විසින් “එන්න අප හා එක්වන්න” කියූ පමණින් විජේවීරට තරුණයන් එක් වූ ආකාරයට නූතන තරුණයෝ ඊට එක් නොවෙති. තරුණයන් වෙනුවෙන් වෙනම වැඩ නැතත්, බුද්ධිගලනයට ඉඩ නොතබන, තම රට තුළම අනාගත ජීවිතය සුපුෂ්පිත වනු ඇති බවට විශ්වාසයක් ගොඩනඟන වැඩසටහනක් ජාජබයට තිබිය යුතුය.
ප්‍රගතිශීලී බලවේග සතුව දියුණු හා උපායමාර්ගික දුර දැක්මක් තිබිය යුතු බව ද අන්තෝනියෝ ග්‍රාම්ස්චි කීවේය.

– විමලනාත් වීරරත්න

Leave A Reply

Your email address will not be published.

5 × four =