අතීතයේ වැජඹුණ වර්තමානයේ ගිලිහුණ බහුභාර්යාවෝ

බහුභාර්යා සේවනය වගේම බහුපුරුෂ සේවනය පිළිගත් සමාජ චාරිත්‍රවලට පටහැනියි කියලා කවුරුත් දන්නා කරුණකි. නමුත්, මුස්ලිම් භක්තිකයන්ට ඔවුන්ගේ ආගම අනුව ස්ත්‍රීන් හතර දෙනෙක් විවාහ කරගැනීමට අවස්ථාවක් පවතී. වෙනත් මුස්ලිම් රටවල එම සංඛ්‍යාව හත්දෙනකු දක්වා ඉහළ යන බව දැකිය හැකි ය. කෙසේ නමුත්, වත්මන් සමාජ ක්‍රමයට අනුව එක් පුරුෂයකුට එක් ස්ත්‍රියක සරණ පාවා ගැනීමට අවස්ථාව නීතියෙන්ම සලසා දී ඇත.

නමුත්, පැරැණි සිංහල සමාජයේ විශේෂයෙන්ම උඩරට ප්‍රදේශවල පුරුෂයන් කිහිප දෙනකු එක් ස්ත්‍රියක බිරිඳ වශයෙන් තබා ගැනීම බහුල ලෙස පැතිරුණු පිළිගත් සිරිතක්ව පැවැතිණි. එදා සමාජයේ මේ සිරිත ගැන පිළිකුලෙන් කතා කිරීමක් හෝ ලජ්ජාසහගත තත්ත්වයක් හෝ හිනාවට කරුණක් හෝ වූයේ නැත. මෙම සිරිත උසස්, කුලවත් පවුල්වල මෙන්ම දුප්පත් පවුල්වල පවා සිරිතක් ලෙස පැවැතිණි.

මේ පිළිබඳව ඵෙතිහාසික කරුණු සොයා ගැනීම අසීරු ය. නමුත්, උඩරට ප්‍රදේශවල මේ සිරිත පැවැති බවට සාක්ෂි බෙහෙවින් හමු වේ. පහතරට මුහුදුබඩ ප්‍රදේශවල සිට  යුරෝපීය සිරිත් මෙරටට සංක්‍රමණය වී ඒවා මුල්බැස ගන්නා තෙක්ම මේ පැරැණි චාරිත්‍රය අනුගමනය කර ඇති බවට සාධක හමුවේ.

අප රටේ උසස්ම පුද්ගලයාට හිටියේ එක්  භාර්යාවක් පමණයි. නමුත්, එක් කාන්තාවකට බොහෝ විට පිරිමින් දෙදෙනෙකු සිට ඇත. ලංකාවේ ඕලන්ද යුගයේ අතරමං වුණු ඉංග්‍රීසි ජාතිකයකු වූ රොබට් නොක්ස්ගේ ලියැවිලිවලින් ඒ බව සනාථ වේ. මෙකී විවාහ සිරිත දෙමාපියන්ගේ මැදිහත් වීමත් ඇතිව සිදු කළ ඒවා වෙයි. ලංකාවේ පෘතුගීසි ආධිපත්‍යය පැවැති කාලයේ රිබෙයිරෝ විස්තර කර ඇත්තේ මේ ආකාරයටයි.

“ඔවුන්ගේ විවාහ හාස්‍යජනක කාරණයකි. ගැහැනු ළමයෙක් තම කුලයේ පුරුෂයකු සමග විවාහ ගිවිස ගනී. (ඇයට කුලයෙන් පිට විවාහ විය නොහැකි ය. නෑදෑයන් කැමැති නම්, විවාහය කර දෙනු ලබයි. පහුවැනිදාට ස්වාමිපුරුෂයාගේ සහෝදරයකු ඔහුගේ ස්ථානය හිමි කර ගනී. සොහොයුරන් හත්දෙනකු සිටින්නේ නම්, රාත්‍රී මාරුවෙන් මාරුවට බෙදා ගනිමින් කෙනාගෙන් කෙනාට වැඩි අයිතිවාසිකමක් නොමැති වන ලෙස ඇය ඒ හැමදෙනාගෙම බිරිඳ බවට පත් වන්නී ය.

දහවල් කාලයේ දී ඇයගේ කුටිය ප්‍රයෝජනයට ගෙන නොමැති බව ඔවුන්ගෙන් කිසිවෙක් දුටුවේ නම්, අවස්ථාවේ හැටියට ඔහුට ඇය සමඟ අඹු-සැමියන් ලෙස හැසිරිය හැකි ය. ඔහු එහි සිටින තුරු වෙනත් කිසිවකුට එහි ඇතුළු විය නොහැකි ය.  විවාහ ගිවිස ගත් පුද්ගලයා කවුරු වුවත්, ඔහුට අනෙක් අය ප්‍රතික්ෂේප කළ නොහැකි ය. මන්ද යත්, ඇය ඒ සැමගේම බිරිඳයි.  බාල සොහොයුරා විවාහ වුවහොත්, පමණක් ඔහුගේ බිරිඳ පිළිබඳව අනෙක් සොහොයුරන්ට අයිතිවාසිකම් කිව නොහැකි ය. නමුත්, ඔහුට අනෙක් සොයුරන්ගේ බිරින්දෑවරුන් පිළිබඳව අයිතියක් ඇත. පුරාණයේ වැජඹුණු වත්මනයේ ගිලිහුණු බහුපුරුෂ සේවනය මෙයයි.

■ සචීරා තත්සරණී
Leave A Reply

Your email address will not be published.

8 − six =