කපටි ගැටවලට හිරවෙන ක්‍රීඩාව

මේ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ ගැන ලිවිය යුතු සටහනකි. නමුත් රටක් වශයෙන් පරාජිත තත්ත්වයට අපව තල්ලු කරන්නේ පරිපාලනමය තත්ත්වයන් බව පැහැදිලි කරමින් ඒ අවස්ථාව දිනා ගන්නට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පෙරට ආවේය. ඒ නිසා ක්‍රීඩාවේ ජයග්‍රහණ ගැන උදම් ඇනීම වෙනුවෙන් සැකසී ස්ථීර වටපිටාවක් නොමැතිකම සලකා නිලධාරි යාන්ත්‍රණය ගැන ලියන්නට වීම කනගාටුදායකය.

රටක සහ ලෝකයක ක්‍රීඩාව පරිපාලනය කරන ව්‍යූහය පළමුව හඳුනාගත යුතුය. ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පරිපාලන පුටුවල අසුන් ගන්නා ඇමතිවරුන්ගේ සිට පරිපාලනය සඳහා පැමිණෙන බොහෝ අය හඳුනා නොගන්නේ මේ තත්ත්වයය. ඔවුන්ට විෂය පථයේ ඇති බලතලවලට ක්‍රීඩා අමාත්‍යාංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝග මත ඔලිම්පික් කමිටුව හැසිරිය යුතුය යන මිථ්‍යාව ඇතුළත් කරන්නට ක්‍රීඩා අමාත්‍යාංශයේ දශක ගණනක් කුණු කමින් පෝෂණය වන නිලධාරීන් සමත් වන්නේය. ඊට හේතු ලෙස දක්වන්නේ, වරින් වර ඔලිම්පික් කමිටුව නඩත්තුවට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වෙන්කර තිබෙන මුදල්ය. රටේ ලියාපදිංචි ක්‍රීඩාවන් අතරින්, ඔලිම්පික් ක්‍රීඩා ලෙස ලියාපදිංචි ක්‍රීඩාවන්ට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රදානයන්, උපදේශන සේවාවන් ආදි විවිධ දේ සැපයීම සහ ක්‍රියාත්මක කිරීම එරට ඔලිම්පික් කමිටුවේ වගකීමය.

මේ සෑම ක්‍රීඩාවක්ම රටේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ක්‍රීඩාය. ඒ ක්‍රීඩාවන්හි ජාත්‍යන්තර සංවිධාන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට බැඳී ඇති ආකාරයෙන් දේශීය වශයෙන් ද පවතින  ක්‍රීඩා පරිපාලනවල දිගුවක කොටසක් ලෙස ජාතික ඔලිම්පික් කමිටුව හඳුනාගත යුතුය. එසේම ක්‍රීඩා අමාත්‍යාංශයේ ඔලිම්පික් කමිටුව විවේචනය කරමින් ඊට අත පොවන්නට ඇති අයිතිය පෙන්වන අයගේ සුජාතභාවයද සැලකිල්ලට ගත යුතු වන්නේය. ඒ බොහෝ දෙනා මේ ඔලිම්පික් ක්‍රීඩාවකට සම්බන්ධ පුහුණුකරුවෙක්, විනිසුරුවරයෙක් හෝ අඩුම තරමේ තාක්ෂණික නිලධාරියෙක් හෝ වීමට ඇති සම්භාවිතාවය ඉහළම අගයක් ගන්නේය.

ඒ නිසා ඔලිම්පික් නිලවරණවල ඇරියස් පියවා ගැනීමේ වගකීම බොහෝ විට ඒ ඒ  ක්‍රීඩා පරිපාලන මේ නිලධාරින් පිට දමන අතර ඒ වෙනුවට ඔලිම්පික් සංගමය මූලිකත්වය නොදෙන සංචාර විදේශ පුහුණු වැනි ඒවායේදි ඒ කැපවීමට ප්‍රතිචාර ද ලැබෙන්නේය. තරග සංචාර යනු ද අමාත්‍යාංශය  ක්‍රීඩා සංගම් වෙනුවෙන් වියදම් කරන දේවල් බැවින් ගතුකීම් කෙටවීම්වලට අවශ්‍ය ගෙවීම් ද අමාත්‍යාංශයම දරන්නේය. නමුත් මේ දේහයන් දෙකේ වෙනස්කම් හඳුනාගෙන එකතු විය හැකි තැන් මේ විරසකවීම් හමුවේ සිදු නොවේ. ඇත්ත එබඳුය. සිංහයන් සහ කොටි, සටනට යොමු කොට, හිවලුන් මඟුල් කන බව තේරුම් නොගන්නා මොළයකට මේ ව්‍යසනයෙන් රටේ ක්‍රීඩාව ගලවා ගන්නට අපහසුය.

ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක වැඩ සටහන මෙහෙයවන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් තමන්ට පළපුරුදු පිරිසක් නැති වුව ද, ජාතික ක්‍රීඩා උළෙල සංවිධානයේදී ද අනාගන්නා පිරිස් සමඟ මෙවර ක්‍රීඩා උළෙලෙ මෙහෙයවීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යාංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව පවරා ගන්නේය. රටෙන් සැතපුම් දහස් ගණනක දුර සිදුවන මේ ක්‍රියාවලියට ඉල්ලාගෙන එන පිරිසට දී ඔලිම්පික් කමිටුව ගිමන් හරින්නේය. එහෙත් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් දෛනිකව විශාල වාර්තා ප්‍රමාණයක් සංවිධාන කණ්ඩායමට රටක ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කළ යුතුය. මේ සියල්ල පිළිබඳව අඩුම තරමේ සංචාරයට නික්මීමට ප්‍රථම හෝ වත්මන් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් උපදෙසක් ගන්නට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උත්සාහ කළා නම් මේ නෑම ඇඟ සෝදා ගැනීමකින් හෝ නිමා කරගන්නට තිබිණ. ඔහු 2016  දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේදී සාර්ථක වූ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකි. නේපාලයට වඩා ප්‍රදේශීය ගුවන් තොටුපළකින් ගොඩ බසින්නට තිබූ එම උළෙලේ කත්මණ්ඩු තරමටවත් සශ්‍රීක නොවූ පොළවක ඔහු එවකට ක්‍රීඩා ඇමතිවරයා වූ දයාසිරි ජයසේකර ද සමඟ එක්ව ගිනියම් වෙමින් තිබූ තත්ත්වයන් බුද්ධියෙන් සහ මානවීය ගුණයෙන් සිසිල් කළ ආකාරය අපූරුය.

වීසි කරන්නට ගොස් ගා ගැනීම

අනවශ්‍ය මැදිහත්වීම නිසා ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබුණේ පාර්සල් කරන ලද අසූචි ගොඩකි. එය වීසි කරන්නට යාමෙන් දැන් හතර අතටම දුර්ගන්ධය පැතිරෙමින් ඇත. සියල්ලගේ අත්වල තැවරී ඇත. ඒ සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉල්ලා ගත් අසූචි පොදියට ඇඟිල්ල ගසා ඔලිම්පික් කමිටු ලේකම්වරයා ද මාධ්‍ය ඉදිරියට පැමිණ සිය ඇඟිල්ල රටේ නාසය ළඟටම දිගු කර අවසන්ය.

මේ සමඟ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ගණකාධිකාරිවරයා නේපාලය බලා යන්නේ ව්‍යාපාරික පංතියේය. එයද කටාරය හරහා ය. නොවැම්බර් 29 වන දින ඔවුහූ නේපාලයට සැපත් වෙති. ගැටලුකාරී තත්ත්වයන් උද්ගතවන්නේ ඉන් පසුවය.

කටාර් ගමන පහසු නිසා තෝරා ගන්නට ඇත. ඇතැම් විට නවදිල්ලිය හරහා යන්නට ගියේ නම් එහි පාරිසරික තත්ත්වයන් නිසා වෙනත් ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවන්නට තිබිණි. එය අධ්‍යයනයකින් පසුව සිදුකළේ නම් නවදිල්ලිය හරහා යන්නට ගොස් අසරණ වූ අපහසුතාවයට පත් වූ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට එම අවස්ථාව දෙන්නට තිබිණ.

ඊටත් පෙරද පූර්ව සංවිධාන කටයුතුවලට යැයි පවසමින් නේපාලයට ගොස් ඇති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඒ සඳහා අමාත්‍යාංශයෙන් ලබාගෙන ඇති මුදල පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් 2430 ක් සහ ඇමෙරිකානු ඩොලර් 2130 කි. ඒ අනුව මෙන්ම පෙර එරටට යාම හරහා ද එන ක්‍රීඩකයන්ට වැටී නිදන්නටවත් තැනක් සූදානම් වී නැත. මේ තත්ත්වය තුළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ගැලවුම්කරුවා වන්නට උත්සාහ කරන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාය. ඔහු පෙන්වා දෙන්නේ ළඟදී ස්වභාවික අනතුරකින් මිදී නැඟිටින නේපාලයට හිතමිතුරන් සේ උදව් කරන්නට පීඩාව ඉවසන ලෙසය. තරග උළෙලට පෙර පාලක දෙපිරිස පස මිතුරන්ව සිටියත් පහළින් අභියෝග එනවිට පාලකයන් ලෙස එක පිළකට එකතු වන බව මෙය හොඳ සාක්ෂියකි.

සියල්ලගේ අභිමානය රැකෙන්නේ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මතය. එයට ඉඳුම් හිටුම් සහ කෑම බීම ද වැදගත්ය. එහි අඩුපාඩුව නේපාල සංවිධානයේ නම් එය සම්බන්ධීකරණය කළ පුද්ගලයෝද වැරදිය. ක්‍රීඩක කණ්ඩායමට කාමර 34 ක් වෙන් කරන බව කියූ හෝටලයේ අවසානයේ කාමර 34 ක් නැත්නම් එහි වරද එය සම්බන්ධීකරණය කළ පුද්ගලයන් 34 ට ගණින්නට නොදත් කුඩා දරුවන් වීම යැයි නොසලකා හරින්නද? එය ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්වභාවය වන්නේය. ‘පිටින් හැඩ නම් මරු’ කීමේ තත්ත්වයය.

ක්‍රීඩකයන්ට තැන් තැන්වලට යන්නට වීම සහ එහිදී තමන්ගේ උපකරණ රැගෙන යන්නට සිදුවීම ගැන අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අදහස එය සුළු දුරක් බවය. නමුත් ස්ථාන හතරකට ඔවුන් කැඳවන් නොයා තමන් හෝ තමන්ගේ නිලධාරියෙක් යොදවා ඔවුන්ට සුදුසු තැනක් සොයාගෙන එනතෙක් ක්‍රීඩක කැළ රඳවා ගන්නට තිබිණි. අනතුරුව බඩු ඔසවන්නෙක් යොඳවා හෝ එම හෝටලය හරහා ගෙවීමට එම බඩු ගෙන ගොස් දෙන්නට තිබිණි. ඊට යන වියදම ට්‍රැවල් කාඞ් හරහා පියවන්නට හැකියාව තිබේ. මන්ද මුතුගල මහතා අත මෙන්ම ගණකාධිකාරිවරයා අතද ට්‍රැවල් කාඞ් ඇති අතර අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති එම කාඞ්පතක වටිනාකම ඩොලර් 25000 කි. එය ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 90 කි.

නිලධාරීන්ට ගෙවන ඩොලර් දීමනාවේ නම් ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරීන්ද පරිපාලනයට සම්බන්ධ අයද සිටිති. පරිපාලනයට සම්බන්ධ අය සිටීම ගැන කිසිදු විවේචනයක් නැත. මෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් හැරුණු විට සෙසු අයගේ විදේශ සංචාර සම්බන්ධ තෝම්බුව, අලුත් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ හෝ පරීක්ෂා කළ යුතුය. ගොස් තිබෙන සංචාර, ඒවායේ ස්වභාවය ආදිය සලකද්දී ක්‍රීඩක -ක්‍රීඩිකාවන්ට මෙවැනි අඩම්තේට්ටම්වලට මුහුණ නොදී පහසුකම් දීම අතපසුවන්නට නොහැකිය.

ඒ තරමට ඔවුන් ජාත්‍යන්තර තරග දැක අත්දැකීම් ලබා තිබිය යුතුය. නමුත් වැඩක් නැත. තමුන්ගේ නවාතැන් අර්බුදයක් ඇති නොවන ලෙස සකසා ගැනීම හැර වෙන දෙයක් ඔවුන් දන්නේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන්නේය. පොදු අනුග්‍රහයන් යටතේ තරග උළෙලක් ආවරණය කළ විට සාමාන්‍යයෙන් ඒ පිළිබඳව කළ කී දේ සම්බන්ධයෙන් පුවත් වාර්තාවක් සැපයීම මේ වාර්තාකරු නම් අඛණ්ඩව සිදු කර ඇත. නමුත් නිරීක්ෂකයන් එසේ කරන්නේද? ඔවුන් යෝජනා කර ඇත්තේ මොනවාද? නැවත නැවත ඒ වරදම ක්‍රීඩාවට වෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් විමසා බැලිය යුතුය.

■  නිශ්මං රණසිංහ

Leave A Reply

Your email address will not be published.

eleven − 1 =