නැඟිල්ල

කල්‍යාණිගෙ පොඩිඑකා නිඳාගන්න යද්දි නන්ද ඇහැව්වෙ, “අද රෑටත් ගිරිය යටින් කෑ ගහනව ද?” කියලයි.

“ඒක ඉතින් පේන හීනෙ හැටියට තමයි…” කියලා කොල්ල කියද්දී, ළඟ වාඩිවෙලා හිටි අත්තම්මා කිව්වෙ, “ආගමක් ධර්මයක් නෑ. සිරිතක් විරිතක් නෑ. ෆෝන් එකට මූණ ඔබාගෙන නැත්තං කොම්පියුටරේට මූණ ඔබාගෙන කිරා වැටි වැටී ඉඳල ඇඳට නඟිනවා. මනුස්සයො වුණා ම හිත සන්සුන් කරගෙන අදහන ආගමක්, දහමක් මෙනෙහි කරගෙන සන්සුන්ව නිඳාගන්න ඕනෙ. කොහෙ ද තිරිසන් සත්තු වගේ නෙ. ඉතින්, රෑ දෙගොඩහරියෙ බිරාන්ත වෙලා ගිරිය යටින් කෑ ගහනවා” කියලයි.

“අයියෙ… අපේ බල්ලත් රෑට උඩුබුරුලන්නෙ හීනෙන් බය වෙලා ද? අත්තම්මා කියන්නෙ, තිරිසන් සත්තු වගේ වුණා ම එහෙමයි කියල.” පොඩි එකා කෙඳිරුවෙ එයාගෙ වීරයා වුණු අයියණ්ඩිගෙ කනට.

අයියණ්ඩි උත්තර නොදී මඳ සිනාවක් විතරක් හෙළලා, නිඳාගන්න යන මලයගෙ පිටට තට්ටුවක් දැම්මෙ, අත්තම්ම සද්භාවයෙන් කිව්ව දේවල්  හාස්‍යයට ලක් කිරීම අනාදරයක් කියලා හිතපු හින්දයි.

“හිත සන්සුන් කරන් නිඳාගන්න පුළුවන් ද මේ දවස්වල. රෑට කන්න හදන පොල් සම්බෝලෙට දාපු අමුමිරිස් කරල් දෙකයි, දෙහි බාගෙයි, ගම්මිරිස් ඇට ටිකයි, පොල් ගෙඩියයි මතක් වෙන කොට හීන බලන්න නෙවෙයි, ඇඟේ මහන්සියටවත් නින්දක් එන්නෙ නෑ” කියල කිව්වෙ කල්‍යාණි.

“ඒක වෙන්න පුළුවන්… මට නං නිඳාගන්න බය හිතෙන්නෙ නින්දෙන් නැඟිටින කොට සිද්ධ වෙලා තියෙන විප්ලව දරා ගන්න බැරි හන්දයි. නඟින නැඟිලි ඔක්කොම නඟින්නෙ නින්දෙන්ම නෙ යකඩො…” එදා රෑ නන්දලගෙ ගෙදර නවාතැන් ගන්න ඇවිත් උන්නු මඝ කිව්වෙ නො සන්සුන් හඬකින්.

“නැඟිල්ලටත් වඩා මට නං දරාගන්නම බැරි නැග්ගෙව්වෙ අනවශ්‍ය පරිබෝජනෙ වළක්කන්න කියල කිව්ව එකටයි.” කල්‍යාණි එහෙම කියද්දී, මඝ කිව්වෙ “ අපි කොහෙ ද බං අනවශ්‍ය පරිබෝජනයක් කරන්නෙ…? අවශ්‍ය පරිබෝජනේවත් කොර ගන්න ඇති හැකිකමක් නැති එක නෙ අපිට වෙලා තියෙන්නෙ…? සිරිදූව කන සෙට් එකේ ඇත්තන්ට එකයි, එයැයිගෙ නෝනට එකයි, ළමයට එකයි, ලේකම්ට එකයි. ඊට අමතරව කන්තෝරුවල ඉන්න ඉහළ තානාන්තර දරන ඈයො. කොටින් ම නොමිලයේ ෆුවල් හම්බවෙන සෙට් ඇරුණ ම රස්සාවක් කරලා හම්බ කරන් කන මිනිහෙකුට අවශ්‍ය තරමටවත් පරිබෝජනෙ කරන්න බෑ” කියලයි.

“‌හැත්තැ අවුරුද්දක් විතර කියෙව්වට මේකෙ මලු‍ත් නෑ, පලතුරුත් නෑ, ධාන්‍යත් නෑ. වෙන කොහෙ හරි ඉන්න හිතෙන දූවකට පැනගන්න හිතනව නං හොඳා. අම්මල වගේ මිරිස් කරලයි, දෙහි බෑයයි, පොල් අඩ‌ලෙයි ගැන හූල්ල හුල්ලා නො ඉඳ.” අත්තම්ම එහෙම කියද්දී, අත්තම්මගෙ විප්ලවේ ගැන පුදුමෙන් වාගේ, උන්දැගෙ මූණ දිහා බලන් හිටි ලොකු ඉලන්දාරියා කිව්වෙ, “ඇයි අත්තම්මෙ මලු‍යි, පලතුරුයි, ධාන්‍යයි නැති වුණාට රටක් තියෙන එක සතුටු වෙලා තව ඩිංගක් ඉවසුවොත් නරක ද?” කියලයි.

අත්තම්මා කට කොනකින් හිනා වෙද්දී, නන්ද කිව්වෙ, “කලබල වෙලා නො නිඳා පහන් කළා කියල වැඩක් නෑ. රාත්තිරියෙ නඟින නැඟිල්ලට කොයි මොහොතෙ හරි පඩිත් නඟින්න පුළුවන්. සුබවාදීව හීන දකින්න පුරුදු වෙන එක සරීර සවුක්කියට හිතකරයි. මම නං ඒ සුබ සිහිනයේ ගිලිලා හොඳට නිඳියනවා” කියලයි.

“කොහෙ පඩි ද? ගෙදර පඩි ද, කන්තෝරුවෙ පඩි ද නින්දෙන් නඟින්නෙ…?” කල්‍යාණි අහද්දී, ලොකු කල්පනාවක ගිලිලා උන්නු මඝ කිව්වෙ, “එළවළුවලින් ලාබෙට ගන්න තියෙන්නෙ අළුකෙහෙල් විතර මයි. මට හිතෙන්නෙ ම ඒ බැහිල්ලෙත් තියෙනවා, අපිට අහු නොවෙන විශාල කෑල්ලක් කියලමයි” කියලා.

මඝගෙ සීරියස් ටෝන් එකට නං කල්‍යාණිගෙයි නන්දගෙයි කටවල් විතරක් නෙමෙයි, කල්‍යාණිගෙ අම්මගෙත් කට කන ළඟට ගියෙ ඉබේටමයි.

හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ

 

Leave A Reply

Your email address will not be published.

15 + 10 =