ආයිබොවන්ඩ නත්තල් සීයේ..,

21

අපේ නත්තල් සීයා ලොකු තෑගි මල්ලක් ලෑස්ති කරනවා ඇති නේද මේ දවස්වල ? ඔය නත්තල් තෑගිබෝග ලෑස්ති කර ගන්ඩ කලින් මෙහාට ආවට කමක් නැද්ද කියලා අපෙ සෑර්ගෙන් අහල බැලුවොත් හොඳා. සෑර්ට හොඳටම තදවෙලා ඉන්නෙ උන්නැහැ ඇරෙන්ඩ අනිත් හැමෝම පිස්සු කෙළිනවා කියල. ඒක හංදා සෑර්ගෙ හිතට නෑල්ලුවොත් නත්තල් සීයව වුණත්, ආපහු හරවලා යවන්ඩ අපේ සෑර් පසුබට වෙන්නෙ නැහැ.
සීයට කියන්ඩ මේ ඊයෙ පෙරේදත් අපේ චීනෙ බාප්පොච්චිලා නත්තල් තෑගිවලට එවපු පෝර නැවක්ම සෑර් රිටර්න් කොළා නොවැ. අපේ සෑර්ට මොන තරන් තද වුණා ද කියනව නං ඩොලර්වලින්ම මිලියන ගාණක් උන්ට ගෙවල දැම්ම නෙ. ආයෙ අපෙ සිරිලංකාව පැත්ත පළාතේ ආවොත් බලාගෙනයි කියලා චීනුන්ට හොඳවෑයින් දෙකකුත් කියලයි පිටමං කොළේ.
සීයා බාගෙ වෙලාවට හිතයි අපි ආඩම්බරකොමට කියනවා කියල. අනේ එහෙම හිතන්ඩ එපා රත්තරං සීයේ. නැති බැරි කාලේ සීයා අපිට කොරපු උදව්-උපකාර කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඒත් රටේ සවුබාග්ගිය පිටාර ගලන යුගයකයි දැන් අපි දිවිගෙවන්නෙ. ඒක හංදා වැඩි කරන විරුවා නමින් පොරොසිද්ද අපේ සෑර්, එක එකා ඉස්සරහා අපි පීචං වෙනවට ඇබින්දක්වත් කැමති නැහැ. ඔය වෝල් බෑන්ක්කාරයොයි, අයිඇම්ඇෆ් එකේ එකාලයි අපිට බලහත්කාරයෙන් වගේ ආදාර කොරන්න වලිකනව නෙ. අහස උසට සඳ-හිරු සෑයවල් බැඳපු, එල්ලෙන පාලම් තනපු, කෝවිඩ් ඔසු හොයපු අපි වගේ සේස්ට ජාතියකට අවමාන කොරන්න ආවොත් ජනාදිපති කොමිසමක් දාලා දැඩි දඬුවන් දෙනවා කියපු ගමන් උන් බයෙන් ගැහි ගැහී දුවපු හැටි දැක්ක නං නත්තල් සීයට හීනාවෙලම පණ යයි.
සත්තයි නත්තල් සීයේ… මේ නත්තලට නං සීයා අපේ රටට නෑවිත් ඉන්න එක හොඳා. අපි වෙනුවෙන් ලෑස්ති කොරපු තෑගි මල්ල වෙන දුප්පත් රටකට දෙන්ඩ. නිකමට කල්පනා කොරල බලන්ඩ සීයේ, ඔය ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව නැත්තන් නවසීලන්තය වගේ දුප්පත් රටවල්වල මිනිස්සු අද මොන තරං අමාරුවෙන් ද ජීවත් වෙන්නෙ කියලා. ඒ රටවල්වල මෝඩ, උද්දච්ච නායකයො කෙරෝනාව අස්සෙ රසායනික පෝර තහංචියකුත් දාල නේ. එහෙ අහිංසක ගොයියන්ට නැනෝ ද මොකක් ද කියල කාබනික පෝරක් දීලලු. ඒ පෝරෙන් හමන මාර ස්මෙල් එකට වහවැටිල බලුකුක්කො ඇවිත් ගොයම කනව ය කියන්නෙ.
බලන්ඩකො නත්තල් සීයෙ ඒ රටවල්වල මිනිස්සු මොන තරං පව්කාරයො ද කියනව නං ගෙවල්වලට ගේන ගෑස් ටැංකි හිටං පුපුරනවලු නෙ. ඒ මඳිවට නත්තල් කටේම තියෙද්දි, රට පාලනේ කරන ගොන්තඩියො ඉන්දන මිලත් නග්ගල. නත්තල් කන්ඩ ගිය එකාගෙ පර්ස් එක පික්පොකැට් ගැහුව වගේ වැඩක් නෙ සීයෙ ඒ රටවල්වල ලොක්කො පොඩ්ඩන්ට කොරල තියෙන්නෙ. ඒව නං හත්මුතු පරම්පරාවටම සහගහන අපරාද… නැද්ද මං අහන්නෙ සීයෙ.
එක අතකින් බලපුවහම නත්තල් සීය කියලත් මක්ක කොරන්ඩ ද…? ඒ රට රාජ්ජවල එකාලා ලබා උපන් හැටියට නොවැ සාගතේ මැරෙන තත්තයක් උදාවෙලා තියෙන්නෙ. කොහොම උනත් නත්තල් සීයෙ උනුත් ඉතිං අසරණ නරපණුවො නෙ. නත්තල් සීයලාගේ ගැලවුම්කාරයා වන ජේසුතුමා කුරුසියේ ඇනුම් කෑවෙත් අයුත්තියට, අසාදාරනේට විරුද්දව හටන් කොරපු හන්දලු නෙ. එහෙව් එඩිතර පරහිතකාමී උත්තමයකුගේ උපන් දිනේ සමරන නත්තල් මංගල්ලේ සමස්ත ලෝකවාසීන්ටම සාමයත්, සතුටත් උදා කරන නව යුගයකට පාර පෙන්වන අලුත්ම පන්නයෙ නත්තලක් වේවා කියල අපි ඔක්කොම එකට අත්වැල් බැඳගෙන ප්‍රාර්තනා කොරමු නේද නත්තල් සීයෙ●

විශ්ව මිත්‍ර
Previous articleනව මාවතකට හැරිය යුතුයි
Next articleවිනී හෙට්ටිගොඩ කාටූන් – ලංකා – 12.26

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here