නව මාවතකට හැරිය යුතුයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච් රේටින්ග්ස්’ (Fitch Ratings) ආයතනය විසින් මේ සතියේ දී ලංකාව ණය ගෙවීමේ හැකියාව අතින් CCC මට්ටමේ සිට CC මට්ටම දක්වා පහත දමනු ලැබී ය. 2015දී එය  BB- මට්ටමේ පැවැති අතර ක්‍රමයෙන් 2016  B+ මට්ටමට ඉහළ ගොස් නැවත අඩු වන්නට විය. 2018 අවසානයේ B- මට්ටමට අඩු වී 2020 CCC මට්ටමට පහත වැටිණි. 2021 දෙසැම්බර් වන විට CC මට්ටම දක්වා තවත් පහතට වැටී ඇත.

රටේ ආර්ථිකයේ ගමන්මඟ පිළිබඳ කිසියම් අදහසක් මෙයින් ඇති කර ගත හැකි ය. දශක ගණනාවක් තිස්සේ ඇති වූ බිඳවැටීම වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු වඩාත් වේගවත් වී ඇති බව පැහැදිලි ය. ආණ්ඩුවේ වගකිවයුත්තන් පැත්තෙන් නිතරම කොවිඩ් ප්‍රශ්නය හේතුවක් ලෙස දැක්වීමට උත්සාහ කළත්, ආණ්ඩුව ගනු ලැබූ ජනතා විරෝධී තීරණ අතිවිශාල ප්‍රමාණයක් නිසා මේ තත්ත්වය ඇති වූ බවට පැහැදිලිවම කරුණු දැක්විය හැකි ය.

ඊනියා දේශපාලන පළිගැනීම් කොමිසමක් හරහා බරපතළ දූෂණ හා අපරාධ චෝදනා ඇති අය නිදොස් කොට නිදහස් කරන ලදී. එපමණක් නොව එවැනි අය වගකිව යුතු තනතුරුවලට ද පත් කරන ලදී.  කිසිදු වගවිභාගයකින් තොරව මුදල් අච්චු ගැසීම නිසාවෙන්ද  බරපතළ තත්ත්වයක් ඇතිව තිබේ. නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය 11%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා කර ඇත. 

ඊනියා දේශපාලන පළිගැනීම් කොමිසමක් හරහා බරපතළ දූෂණ හා අපරාධ චෝදනා ඇති අය නිදොස් කොට නිදහස් කරන ලදී. එපමණක් නොව එවැනි අය වගකිව යුතු තනතුරුවලට ද පත් කරන ලදී.

කිසිදු වගවිභාගයකින් තොරව මුදල් අච්චු ගැසීම නිසාවෙන් ද බරපතළ තත්ත්වයක් ඇතිව තිබේ. නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය 11%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා කර ඇත.

ඩොලර් හිඟය නිසාවෙන් ආනයන නතර කර තිබේ. බොරතෙල් ගෙන්වීමට නොහැකි වන්නේ ද   එනිසා ය.

අද ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යද්දී, අපේ රටේ තෙල් මිල ජනතාව තව දුරටත් කබලෙන් ළිපට ඇදදමමින් ඉහළ දමනු ලැබ තිබේ. බොරතෙල් බැරලය ඩොලර් 100ක පමණ මිලක කලින් පැවැතිණි. පහුගිය මාසවල ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදයේ පැතිරීමත් සමඟම යුරෝපයේ රටවල සංචාරක සීමා පැනවීම නිසා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් අඩු විය. එය ඩොලර් 60ක පමණ සීමාවකට අඩුවිය හැකි යැයි උපකල්පනය කරනු ලැබ තිබේ.

ජාතික සම්පත් විකුණා දැමීමත්, ක්‍ෂණික කාබනික වගා ව්‍යාපෘතිය වැනි අමනොඥ තීරණ නිසාවෙනුත් අර්බුද උත්සන්න විය. ගොවියන්ට දකින්නටවත් නොලැබුණු චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්නට සිදු වීම එක් සිදුවීමක් පමණි.

මූල්‍ය අර්බුදයට තාවකාලික පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත හැරීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස වන්නේ ජනතාව කළ යුත්තේ ඡන්දයෙන් පාලකයන් පත් කර ගැනීම පමණක් බවයි. ඔවුන්ගේ උපදේශය වන්නේ අන් සියලු දේ වෙළෙඳපොළ මත තීන්දු වීමට ඉඩහැරිය යුතු බවයි. රාජ්‍ය වියදම් කපා හැරීමත්, රාජ්‍ය දේපළ විකුණා දැමීමත් ඒ උපදෙස් ය. අපේ රටේ ඩොලර් උල්පත් විකිණීමට උපදෙස් දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. වානේ සංස්ථාව, ටයර් සංස්ථාව, උක් කර්මාන්ත, සිමෙන්ති කර්මාන්ත, කඩදාසි කම්හල්, වරායවල්, රාජ්‍ය වතු ඇතුළු බොහෝ ඩොලර් සම්පත් අපට අහිමි වූයේ ඒ ඊනියා උපදෙස් නිසා ය.

ඇතිව තිබෙන සියලු තත්ත්වයන් පෙන්නුම් කරනුයේ වහ වහාම රට මේ විනාශකාරී මාවතෙන් නිවැරැදි මාවතට ගත යුතුව තිබෙන බවයි. එවැනි මාවතක රට ගෙන යාමට නම් ජනතාවාදී වැඩපිළිවෙළක් වටා ජනතාව ශක්තිමත්ව පෙළගැසිය යුතුව තිබේ. එසේම මෙවැනි ගමනක් සඳහා අවංකභාවය, නිර්භීතභාවය හා පරිත්‍යාගශීලීභාවය අත්‍යවශ්‍ය වන්නේ ය. 2022 වසරේ රට එවැනි මාවතකට හැරවිය හැකි ද යන්න අවසාන වශයෙන් තීරණය වන්නේ ජනතාව මතය●

Leave A Reply

Your email address will not be published.

five + four =