ජේ.වී.පී. – ශ්‍රී ලංකා සන්ධානයක් ගොඩනැඟේ ද?

දයාසිරි ජයසේකර හදිසියේ ම ප්‍රකාශයක් කළේ ය. ඒ පිළිබඳව මුළුමහත් සමාජය තුළ ම කතාබහක් ඇතිව ඇත්තේ ය. ජවිපෙ සමඟ සන්ධානගතව රට වෙනුවෙන් යහපත් ගමනක් යා හැකි බව ඔහු කිව්වේය. පිරිසිදු පක්‍ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සමඟ දැන් හොරුන්, මිනීමරුවන්, මංකොල්ලකරුවන් නැති පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්ව සන්ධානගත වීමේ හැකියාවක් වෙන කවරදාකටවත් වඩා පවතින බව ඔහු කිව්වේ ය.

ඒ වාගේ ම ඒ කතාවේ “ජනතා විමුක්ති පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අලුත් යමක් කියලා හිතෙන්නේ නෑ. අප අතර සන්ධානයක් ගොඩනැඟෙන්න සියලු ශක්තීන් අප අතර තියෙනවා” යැයි ද කියා ඇත. “අද තියෙන තත්ත්වය ඊටත් වඩා පැහැදිලි ය. අද අපේ පක්‍ෂය තුළ දූෂිතයො නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිරිසිදු පක්‍ෂයක් බවට දැන් පත් වෙලා තියෙනවා” යැයි ද ඔහු අවධාරණය කර ඇත්තේ ය. එකවර ම වූ මේ ප්‍රකාශය සමාජය තුළ මහත් ආන්දෝලනයක් වී තිබේ. එය එසේ වන්නේ ජවිපෙ මෑතක දී ‘ජාතික ජන බලවේගය’ ලෙසින් පුළුල් ජනතා සන්ධානයක් ගොඩනැඟීමත් සමඟ ය. එම සන්ධානයට එක් වන ලෙස සියලු ප්‍රගතිශීලී බලවේගවලට ආරාධනා කිරීමත් සමඟ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, එක්සත් ජාතික පක්‍ෂයේ සහ අනෙකුත් දේශපාලන පක්‍ෂවලට බෙදී සිටින ඇත්තට ම රටට අවංකව ආදරය කරන බොහෝ පිරිස් සිටිති. ඒ සියලු දෙනා එකතු කර ගැනීම ජවිපෙ වගකීම ය. ජාතික ජන බලවේගය තුළ දැනටමත් එවැනි බොහෝ පිරිස් එකතු වී සිටිති. ඉදිරියේ දී තව තවත් එවැනි අය එකතු වීම වේගයෙන් වර්ධනය වනබව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් දෙදහස්පහලවේ වගේ සන්ධාන ආණ්ඩු රටට ආයෙත් අවශ්‍ය නැත. යහපාලන ආණ්ඩු වාගේ ආණ්ඩු රටට අවශ්‍ය නැත.  රටේ ජනතාව ඉල්ලා සිටින්නේ දැනට ඔය කියන පක්‍ෂවලට බෙදිලා ඉන්න ජනයාගේ එකතුවකි. ඒ වෙනුවෙන් ගොඩනැඟූ ජාතික ජන බලවේගය එකී අරමුණ ඉටු කරාවි යැයි ජනතාවගේ බලාපොරොත්තුවය. එම බලාපොරොත්තුව දයාසිරිගේ ප්‍රකාශය වාගේ ඒවායින් බිඳහෙළන්නේ නැති වේවි යැයි විශ්වාසය ජනතාවට ඇත්තේ ය.

එහි දී ජවිපෙ කිව්වේ, දේශපාලන පක්‍ෂ සමඟ එකතු වීමක් ගැන ද එසේ නැති නම්, දේශපාලන පක්‍ෂවල ඉන්නා ප්‍රගතිශීලී මිනිසුන් එකතු වීමක් ද යන්න විමසා බැලිය යුතු ය. අප දන්නා ඉතිහාසය තුළ ජවිපෙ – ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එකතු වී සන්ධානයක් ගොඩනැඟුවේ ය. එය සිදු වූයේ දෙදහස්හතර වර්ෂයේ දී ය. එයට බලපෑ ඓතිහාසික වටාපිටාවක් තිබිණි.

ඊට පෙරාතුව තිබුණේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය හෙබැ වූ ආණ්ඩුවකි. එම ආණ්ඩුව එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ගිවිසුමක් අත්සන් කළේ ය. ‘රනිල් – ප්‍රභා කුප්‍රකට ඊනියා සටන් විරාම ගිවිසුම’ ලෙස හැඳින්වූයේ එයයි. ඉන් සිදු වූයේ තාවකාලිකව යුද්ධය නතර වීම ය. එහෙත්, ටිකෙන් ටික එල්.ටී.ටී.ඊ.යට ඔවුනගේ අරමුණ යුද්ධයක් නැතිව ම ඉටු කර ගැනීමට ඉඩ සැලැසී ය. එරික් සොල්හයිම්ලා මැදිහත් වී උතුර හා නැඟෙනහිර සඳහා වෙන ම පාලනයක් ඇති කිරීමේ අන්තර් පාලන අධිකාරියක් පිහිටු වීමේ පිඹුරු පත් සැකැසීම ද සිදු වුණේ ය.

අනෙක් පැත්තෙන් රටේ ජාතික සම්පත් අමු අමුවේ විකුණා දැමීමෙන්, ‘රිගේනින් ශ්‍රී ලංකා’ වැඩසටහන ද ක්‍රියාත්මක වූයේ ය. එදා එහි පුරෝගාමී වැඩ කොටස ඉටු කළේ රාජපක්‍ෂ පාලනය සමඟ දැන් එකතු වී සිටින මිලින්ද මොරගොඩ ය. ඒ කියන්නේ, රට විකුණන, රට බෙදන මෙහෙයුමක් ක්‍රියාත්මක වූයේ ය. එයට එරෙහිව ජවිපෙ තනිව ම ජනතාවත් සමඟ මහා දැවැන්ත සටනක නිරත වූයේ ය. එනමුත්, එම පක්‍ෂයට පමණක් එය වැළැක්වීමේ හැකියාවක් නොතිබිණි. ඒ නිසා එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්ව අලුත් සන්ධානයක් ලෙස ‘බුලත් කොළය’ සන්ධානය ගොඩනැඟුවේ ය. ඉන් රනිල්ගේ හා ප්‍රභාකරන්ගේ වුවමනා පැරැද වීමේ හැකියාව ඇති වුණේ ය.

ගොඩනැඟූ ආණ්ඩුවේ නායිකාව වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ය. විධායක ජනාධිපතිනිය වූයේ ඇයයි. සුනාමි ඛේදවාචකය ඇති වූයේ මෙකී කාලය තුළ දී ය. ඉන් අනතුරුව චන්ද්‍රිකා ද වැඩ කරන්න පටන් ගත්තේ, එරික් සොල්හයිම්ලාට ඕනෑ විදියට ය. සුනාමියෙන් පසු සොල්හයිම්ලා අමුතු ම පන්නයේ යෝජනාවක් ගෙනාවේ ය. ඒ සුනාමි සහන මණ්ඩලයයි. එහි අඩංගුව වූයේ පස් දෙනකුගෙන් යුත් මණ්ඩලයක් උතුර හා නැඟෙනහිර පළාත් පාලනය කිරීම සඳහා පිහිටු වීමයි. එහි සභාපති වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කෙනෙකි. පස්දෙනාගෙන් තුන්දෙනකු ම එල්.ටී.ටී.ඊ. සංවිධාන සාමාජිකයන් ය. අනෙක් දෙදෙනාගෙන් එක්කෙනකු සිංහල අයෙකි. අනෙක් කෙනා මුස්ලිම් අයෙකි. මෙම මණ්ඩලය මඟින් මුළු පළාත් දෙක ම පාලනය කිරීම එහි ප්‍රධාන අරමුණ වූයේ ය. ඒ වාගේ ම වෙන ම විගණකාධිපතිවරයකු ද ඒ පළාත් සඳහා පත් කරන්නේ ය. විදේශ රටවලින් ආධාර ගැනීමේ හැකියාව ද ස්වාධීනව තීරණය කිරීමේ හැකියාව එකී මණ්ඩලයට තිබිණි. තව බොහෝ බරපතළ කරුණු එහි අඩංගු විය.

රනිල් නවත්වපු තැනින් චන්ද්‍රිකා පටන් ගත්තාය. ජවිපෙ එයට එකහෙළා ම විරුද්ධ වුණේ ය. ආණ්ඩුව ඇතුළේ ඉඳ එය පරාජය කරන්නට සියලු උත්සාහ දැරී ය. එහෙත්, විධායක ජනාධිපති බලය පාවිච්චි වුණේ ය. බලහත්කාරී ලෙස එය ගෙන එන්නට  ජනාධිපති චන්ද්‍රිකා උත්සාහ ගත්තා ය. මෙම යෝජනාව  පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ මෛත්‍රීපාල සිරිසේන සභානායකවරයා ය. ජවිපෙට එදා තිබූ මන්ත්‍රී ධුර තිස්නවය එයට එරෙහිව යෙදැවුණේ ය. කෙසේ හෝ පාර්ලිමේන්තුව තුළ එය සම්මත වීම වැළැක්වුවේය.

එයට එරෙහිව ආණ්ඩුවෙන් එළියට බැහැපු ජවිපෙ මහ ජනතාවත් සමඟ එක්ව එය පරාජය කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගියේ ය. රනිල්ටත් වඩා බරපතළ පාවා දීම සිදු කරන්න උත්සාහ කළේ චන්ද්‍රිකා ය. කෙසේ හෝ එය වැළැක්වීමෙන් පසුකාලීනව එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කර ගත හැකි වුණේ ය. එදා ජවිපෙ එසේ නොකළේ නම්, අද වෙන කොට ලංකාවත් උතුරු සුඩානය, දකුණු සුඩානය ලෙස සුඩානය බෙදුණා සේ රටවල් දෙකක් ලෙස බෙදුණු රාජ්‍යයකි. එදා ජවිපෙ ඉටු කළ කාර්යභාරය අද වෙන කොට බොහෝ අයට අමතක ය. ඒ වෙනුවට කියන්නේ, “අපරාදේ ජවිපෙ ඇමැතිකම් දාලා ගියේ” යන්න ය. ඇමැතිකම්වලට වඩා ආරක්‍ෂා කර ගත යුතු වූයේ රට ය යන්න තේරුම් ගෙන ඇත්තේ, ස්වල්ප දෙනකු පමණකි.

ජවිපෙ දේශපාලන පක්‍ෂ සමඟ සන්ධානගත වීමේ පාඩම ඉගෙනගත්තේ එතැනින් ය. එබැවින්, එකී මෝඩකම නැවත වතාවක් සිදු කරාවි යැයි සිතිය නොහැකි ය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අද ඉතුරු වී ඇත්තේ, විවිධ හේතු මත එහාට මෙහාට විසි වෙලා ආපු ස්වල්ප දෙනෙකි. හොරු, දූෂිතයන් නැද්ද යන්න විවාදසම්පන්න ය. ගිං – නිල්වලා  ව්‍යාපෘතිය මඟින් කෝටි ගණන් සල්ලි ගසාකද්දී, එහි විෂයභාර අමාත්‍යවරයා වූයේ නිමල් සිරිපාල ය. මෙවැනි උදාහරණ තව බොහෝ කියන්නට තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට ද තම පක්‍ෂය හැර යාමට බලපෑවේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලින් ඈත් විම නිසා ඇති වූ අවිශ්වාසයයි. පහුගිය ඊනියා යහපාලනය තුළ යූ.එන්.පී. – ශ්‍රී ලංකා හවුලක් වූ බව මුළු රට ම දන්නා දෙයකි. යහපාලන කාලයේ සිදු වූ බොහෝ වැරැදි, අඩුපාඩුවලට එහි වගකීම දැරූ සියල්ලෝ ම වගකිව යුතු ය. මෛත්‍රීපාල සිරිසේන පක්‍ෂ නායකයා ලෙස එහි බරපතළ වගකීමක් ගත යුතු ය.

එබැවින්, පක්‍ෂයක් ලෙස එකතු වීම පිළිබඳ බරපතළ වාද-විවාද, ප්‍රශ්න ඇත්තේ ය. එහෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා  එක්ව සිටින පිරිස් බහුතරයක් දෙනා අවංක ය. අවංක අරමුණක් සහිතව රාජපක්‍ෂ පවුල් පාලනයට එරෙහි වූවන් ය. අවංක අරමුණක් සහිතව රනිල්ගේ වැඩපිළිවෙළට විරුද්ධ වූවන් ය. අද වන විට ඔවුනගෙන් එල්ල වන බරපතළ විරෝධය වන්නේ තමන්ගේ පක්‍ෂය තව දුරටත් මේ රාජපක්‍ෂ පාලනය සමඟ හවුලේ ආණ්ඩු කිරීම ය. බිම් මට්ටමේ හැම දෙනා ම කියන්නේ, වහාම ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ය. තැන තැන පිහිටුවන බලමණ්ඩලවල දී පාක්‍ෂිකයන් කෑ ගහලා කියන්නේ මේ කුණුගොඩඩෙන් අයින් වන ලෙස ය. දයාසිරි ඔවුනට උත්තර දුන්නේ, “කලබල වෙලා එළියට බැහැලා අමාරුවේ වැටෙන්න ඕනෑ නැහැ” යනුවෙන් ය.

කොහොමත් මේ ආණ්ඩුව දැන් ගිලෙන නැවක් වී අවසන් ය. ගිලෙන නැවේ තව දුරටත් ඉන්නවා යනු තමන් ද ගිලී යාම ය. එබැවින්, නැවෙන් එළියට පැනීම තම තමන්ගේ ආරක්‍ෂාවට හොඳ ය. එහෙත්, තමන්ගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් එළියට පනින හැමෝ ම එකතු කර ගැනීම ගැන ජවිපෙ කල්පනාකාරී විය යුතු ය. අප දන්නා ජවිපෙ එසේ එකතු කර ගනීවි යැයි සිතිය නොහැකි ය. ඉතිහාසයේ පාඩමත් සමඟ එය කෙසේවත් සිදු විය නොහැක්කකි.

එනමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, එක්සත් ජාතික පක්‍ෂයේ සහ අනෙකුත් දේශපාලන පක්‍ෂවලට බෙදී සිටින ඇත්තට ම රටට අවංකව ආදරය කරන බොහෝ පිරිස් සිටිති. ඒ සියලු දෙනා එකතු කර ගැනීම ජවිපෙ වගකීම ය. ජාතික ජන බලවේගය තුළ දැනටමත් එවැනි බොහෝ පිරිස් එකතු වී සිටිති. ඉදිරියේ දී තව තවත් එවැනි අය එකතු වීම වේගයෙන් වර්ධනය වනබව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් දෙදහස්පහලවේ වගේ සන්ධාන ආණ්ඩු රටට ආයෙත් අවශ්‍ය නැත. යහපාලන ආණ්ඩු වාගේ ආණ්ඩු රටට අවශ්‍ය නැත.

රටේ ජනතාව ඉල්ලා සිටින්නේ දැනට ඔය කියන පක්‍ෂවලට බෙදිලා ඉන්න ජනයාගේ එකතුවකි. ඒ වෙනුවෙන් ගොඩනැඟූ ජාතික ජන බලවේගය එකී අරමුණ ඉටු කරාවි යැයි ජනතාවගේ බලාපොරොත්තුවය. එම බලාපොරොත්තුව දයාසිරිගේ ප්‍රකාශය වාගේ ඒවායින් බිඳහෙළන්නේ නැති වේවි යැයි විශ්වාසය ජනතාවට ඇත්තේ ය. එය එලෙසින් ම රැකීම ජවිපෙ වගකීමය. කොටින් ම ගත්තොත්, රටේ ජනයාගේ වුවමනාව වී ඇත්තේ, අවංක මිනිසුන්ගෙන් ගොඩනැඟෙන නව දේශපාලන බලවේගයක් රටේ පාලන බලය හෙබැවීමය. එය ඉටු කිරීම ගොඩනැඟුණු ජනතා සන්ධානයේ වගකීම සහ යුතුකම වන්නේය●

ජගදාක්‍ෂි

 

 

Leave A Reply

Your email address will not be published.

4 × 3 =