සම්බන්ධතා යන්නම අසම්මත නොවේද?

මිනිසාගේ සම්භවයෙන් පසුව ගෙවා දමා ඇති දිගු කාල ප්‍රාන්තරය තුළ මිනිසා සමඟම බොහෝ දේ පරිණාමය වී ඇත. සංස්කෘතියද එලෙස පරිණාමය වෙමින් යන්නකි. සංස්කෘතිය යනු කිසිවිටෙක එක තැනක රඳන්නක් නොවේ. ග්‍රීක කවියෙකු මෙන්ම දාර්ශනිකයෙකු වූ හෙසියොඩ් ගේ කාව්‍ය සංග්‍රහයක ද මිනිසාගේ යුග පහක් දැක්වෙන අතර ඉන් පළමු යුගය වන ස්වර්ණමය යුගයේදී මිනිස් වර්ගයා තුළ න්‍යෂ්ටීය පවුලක් නැත. ඒ පිළිබඳව සිතුවම් අමුණා ඇත. න්‍යෂ්ටීය පවුල හෙවත් එක් පිරිමියෙකුට සහ එක් ගැහැනියකට පමණක් දාව උපදින දරුවන්ගෙන් සමන්විත පවුල පිළිබඳ සංකල්පය පැනනැගුනේ කුමන යුගයකදීද යන්න නිශ්චිතවම පැවසිය නොහැකි වුවත් එය වඩාත් තදබල ලෙස ඉස්මතු වන්නේ හාත්වන සියවසෙන් පසුව එන යුරෝපීය සන්දර්භය තුළ ය. විශේෂයෙන් මිශනාරි ආගම තුළින් මතු කළ මෙම න්‍යෂ්ටීය පවුල හැරුණුකොට අනෙක් පවුල් ව්‍යාභිචාරී ලෙස නම් කිරීමේ ක්‍රමවේදය සහ පසුව එම රටවල් විසින් ආක්‍රමණය කරන ලද රටවලට ද පැතිර ගිය වික්ටෝරියානු සදාචාරය තුළින් මෙම න්‍යෂ්ටීය පවුල වඩාත් සවිමත් වූ බවක් පෙනේ. සැබවින්ම න්‍යෂ්ටීය පවුල ධනවාදයට රුකුල් දෙන්නක් බව මාක්ස් ද කියා තිබේ. න්‍යෂ්ටීය පවුල තුළින් හුදෙක් එක් පවුලක දියුණුවට මිස සමස්තය වර්ධනය සඳහා ලොකු බලපෑමක් වන බවක් නොපෙනේ. ඒ වෙනුවට එයින් හටගන්නා ගැටුම්, තම පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඇතිවන පෙළඹුම හරහා තවත් පාර්ශවයන් අගතියට පත්වීම සිදුවිය හැකි ය. ලංකාව යනු එයට හොඳම උදහරණයකි.

මංජුල සේනාරත්න ගේ දෙවැනි ගැහැනිය කෘතියට පාදක වන්නේ වයස අවුරුදු හැටේදී තම බිරිඳ සහ දරුවන් තිදෙනා අතහැර දෙවැනි ගැහැනියක් වෙත යන වික්‍රම නානායක්කාර නම් සමාජයේ වැදගත්, එතෙක් වෙනත් ගැහැනියක් කෙරෙහි රහසින් වත් බැල්ම යොමු නොකළ චරිතයකි. මෙම සිදුවීමේදී වඩා වැදගත් සාධකය වන්නේ එය දරාගැනීමට අසීරු වන්නේ ප්‍රංශ සමාජයට නොව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකීය සමාජයට වීම ය. කෙසේ වුවද වයස අවුරුදු හැටේදී තම බිරිඳ සහ දරුවන් හැර යන පුද්ගලයා වෙත එල්ලවන චෝදනාවන් සුළුපටු නොවේ. එමෙන්ම එයින් දරුවන්ට විදින්නට සිදුවන අපකීර්තියද සුළුපටු නොවේ. න්‍යෂ්ටීය පවුලේ ලක්ෂණය මෙයයි. ඔබ සමාජයට හොඳ කරනතාක් සුදු චරිතයකි. සමාජය අමතක කර තමන් වෙනුවෙන් යමක් කළ විට කළු චරිතයකි. වික්‍රම නානායක්කාර මැදිවන්නේ මෙකී උභතෝකෝටිකයට ය.

යළිත් පළමු මාතෘකාවට හැරෙන්නේ නම්, සම්මත හෝ අසම්මත ආදර සබඳතා යනු හුදෙක් අපගේ සංස්කෘතියන් විසින් නිර්මාණය කළ ඒවා ය. එහෙත් එවැන්නක් ඇතිවන්නේම තමන්ට කියා යමෙකු අයිතිකර ගැනීමට යාමේදී නොවේද? එසේ නම් අප පැරණි ක්‍රමයට නැවත යා යුතුදැයි කෙනෙකු අසන්නට හැක. එහෙත් නැවත එතැනට යන්නට හැකියාවක් නැත. මන්ද යත් දැන් අප සිටින්නේ එය ඉක්මවූ තත්වයක ය. එනිසාම මෙය සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඉතා සරල කාරණාවක් ඉතා දැඩි සංකීර්ණයක් බවට පත්වීම කෙතරම් නම් ඛේදවාචකයක්ද? මංජුල සේනාරත්න තමන්ගේ දෙවැනිි ගැහැනිය කෘතිය හරහා සමීප කරන්නේ මේ ගැටළුවේ ඇති සංකීර්ණතාවය යි. ඉතින් අපට කළ හැක්කේ මෙවැනි සම්බන්ධතා දෙස වඩා බුද්ධිමත්ව හා සහකම්පනයෙන් යුතුව බැලීම ය. එසේ නොවන විට, අනියම් සැමියා සමඟ එක්ව සැමියා ඝාතනය කළ බිරින්දෑවරු, අනියම් බිරිඳ නිසා බිරිඳ දරුවන් සමඟ පුළුස්සා මැරූ සැමියන් ගැන අපට අසන්නට ලැබෙනු ඇත. න්‍යෂ්ටීය පවුල සැමවිටම ගැටුමට මග කියන්නකි.

පොත ගැන කතාකරන්නේ නම් මා ඉතාම ප්‍රිය කරන භාෂාවකින් කතුවරයා එය ලියා තිබේ. එමෙන්ම පොත පුරාම වරින්වර අපව විවිධ ප්‍රශ්න කිරීම්වලට ලක්කරයි. එමෙන්ම සමහර තැන් ඉතා ආත්මීය වෙයි. සමහර තැන් හැඟීම් වලින් දෑස් තෙමාලයි. මේ සියල්ල මැද ඔබට පවුලක කතාවක කෙතරම් අදුරු තැන් තිබේදැයි වටහා ගත හැකි ය. ඉතින් ඒ අඳුරු තැන ආලෝක කරන්නට දෙවැනි ගැහැනිය පොතට හැකියාවක් ඇත. ඒ නිසා ඔබ මෙය කියවිය යුතුය. උපුටා ගැනීම් නොකරන්නේ ඔබගේ රසාස්වාදයට ඉඩ තබමිනි. එහෙත් එක් කොටසක් පොත කියවාගෙන යන විටම උපුටාගත යුතු යැයි මට සිතිණි. ඒ ලිවීමේ සහ කියැවීමේ සූක්ෂමතාව ගැන යමක් කියන්නට ය. ඒ වනාහි එක තැනක දී බල්ලෙකු සමඟ යන ප්‍රංශ ජාතිකයා බල්ලා ජරා කළ පසු ෂොපිං බෑගයක් ගෙන ඒ සියල්ල එකතු කර කුණු බක්කියකට දැමීම ය. මෙය කතාවෙහි ලොකු වැදගත්කමක් නැති ඉතාම කුඩා කොටසක් ලෙස පෙනෙන්නේ වුවද ඉන් කාර්යයන් දෙකක් ඉටුවෙයි. එකක් අපිට අපි ගැන නැවත සිතාබැලීමට කාරණයකි. දෙවැන්න ප්‍රංශ ජාතිකයාගේ සකස්වීම කෙබඳුද යන්න ගැන අපට දෙන ඉඟියයි. එය එමා ඇතුළුව තවත් බොහෝ කාරණාවලට අදාළ කරගත හැකි ය. අනපේක්ෂිත මොහොතක් මිනිස් ජීවිතවලට ඇතිකරන බලපෑම කෙතරම්ද යන්න මෙම නවකතාව තුළ මැනවින් සටහන් වී තිබේ. ඉතින් ඔබ කියවන්න.

– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

15 + 17 =