ජනවාරිය තීරණාත්මකයි ! – තානාපතිවරු අනුර හමුවෙති

110

රට මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදයත් සමග දේශපාලන ක්ෂේත්‍රයේ ද තීරණාත්මක වෙනස්කම් රැසක් ලබන ජනවාරියේදී සිදුවීමට නියමිත ය.
තානාපතිවරු අනුර හමුවෙති
ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව සාර්ථකව පැවැත්වීමත් සමග ඒ පිළිබඳ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සහ තානාපති අංශවල විශේෂ අවධානයක් යොමු වී තිබේ. පසුගිය කාලය පුරා මේ අංශ ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාරය වඩාත් පුළුල් වී ඇති අතර, විශේෂයෙන් තානාපති අංශ එම බලවේගයේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා යොමු වී ඇත.
ශ්‍රීලනිපය වෙන පාරක
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් ද ජාතික ජන බලවේගය සමග එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉඟි පළවෙමින් පවතී. ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ද මෙවැනි සන්ධානයක අවශ්‍යතාව මතුකර තිබිණි.
චීනය සජිත්ට
එසේම මෙරට චීන තානාපතිවරයා පසුගිය කාලයේ උතුරු-නැගෙනහිර සංචාර කිහිපයක් සඳහා සහභාගි වීමත්, ඔහු හදිසියේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී උතුරු-නැගෙනහිර පළාත්වල කටයුතු සඳහා රුපියල් ලක්ෂ 196ක මූල්‍ය ආධාරයක් ලබාදීමත් සිදු විය. චීනයෙන් ගෙන්වූ පොහොර සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයත්, එම නැව ආපහු හරවා යැවීමත්, බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා දිගින්-දිගටම ඉන්දියාව සමග සමීප සම්බන්ධකම් ගොඩනගා ගැනීමේ උත්සාහයක නිරත වීමත් නිසා චීනය විපක්ෂය සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ තීරණයක් ගනු ඇතැයි මීට පෙර ද දේශපාලන විශ්ලේෂකයෝ අනාවැති පළකර තිබිණි.
තෙල් මිල පාලනය ඉන්දියාවට
එසේම චීනයේ මේ හැසිරීමත් සමග ඉන්දියාව මෙරට තෙල් අධිකාරය තමන් සතුකර ගැනීමේ මෙහෙයුම වඩාත් තීව්‍ර කර තිබේ. ඉන්දියානු තෙල් සමාගම විසින් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හරහා මෙවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවත්, ආණ්ඩුව පාර්ශ්වයෙන් ඊට උපරිම සහයෝගය ලබාදෙමින් සිටින බවත් පසුගිය නොවැම්බර් 21 දා ‘ලංකා’ පුවත්පත මගින් අනාවරණය කළේය. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද අවධානය යොමු කර තිබූ අතර, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයන් පිරිසක් තෙල් සංස්ථා පරිශ්‍රයේදී දින දෙකක විශේෂ සාකච්ඡා වටයක් සඳහා ද සහභාගි වී තිබිණි.
18න් සංචිත අවසන්
මේ අතර ලබන ජනවාරි 18 වැනිදා ගෙවීමට ඇති ණය වාරිකය සඳහා ප්‍රමාණවත් මුදල් ඇති බව තහවුරු වී තිබේ. එහෙත් රට සතු සියලු සංචිත වෙන් කොට එම ණය ගෙවීමෙන් පසු, 19 වැනිදා සිට බරපතළ සංචිත හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, එය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා තීරණාත්මක ලෙස බලපානු ඇති බවත් ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ණය මුදලක් ලබාදීමට කැමැත්ත පළකර තිබුණද, ඊට අදාළ කොන්දේසි රැසක් ඉන්දියාව පාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබේ. එම කොන්දේසිවලට අනුව අදාළ ණය මුදල සම්පූර්ණයෙන්ම යෙදවිය යුතුව ඇත්තේ ඉන්දියාවෙන් තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ය. කෙසේ වෙතත් අදාළ මුදල ද මෙතෙක් ලැබී නැත.
නයිජීරියාව ඇතුළු රටවල් රැසකින් ණය පදනම මත තෙල් ලබාගැනීමේ උත්සාහයන් රැසක් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල විසින් දරා තිබුණද, මෙතෙක් එම සාකච්ඡා ද අවසාන වී නැත. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා විසින් ද රටවල් ගණනාවක් සමග සාකච්ඡා පවත්වමින් ණය මුදල් ලබාගැනීමට උත්සාහ දරමින් සිටියද, මෙතෙක් එම සාකච්ඡා කිසිවකින් සාර්ථක ප්‍රතිඵල ලැබී නැතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
යුගදනවි අර්බුදය ඔඩු දුවයි
මේ අතර ආණ්ඩුවේ ප්‍රධානීන් වන ජනාධිපතිවරයා, මුදල් ඇමැතිවරයා, ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර සහ ඇමැතිවරුන් අතර පවතින අර්බුදකාරී තත්ත්වයත්, එම ප්‍රධානීන්ගේ සමීප ව්‍යාපාරිකයන් අතර පවතින ව්‍යාපාරික කඹ ඇදීමත් නිසා ලබන ජනවාරි මාසය තවදුරටත් තීරණාත්මක වීමට නියමිත ය. එසේම යුගදනවි බලාගාර ගිවිසුම පිළිබඳව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ තර්කය වූ කැබිනට් සාමූහික වගකීම කඩ කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමේ යෝජනාව ද ආන්දෝලනට තුඩු දී ඇත. එම යෝජනාව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ උපදෙස් මත බව ඇතැම් මාධ්‍ය මගින් ද වාර්තා කර තිබිණි.
ඇමැතිවරු පිල් බෙදෙති
එසේම තෙල් මිල සහ බඩු මිල සීග්‍රයෙන් ඉහළ යෑමත්, භාණ්ඩ මිල ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහීමට හිතාමතා ඉඩදීමත් යන කරුණුවලට විරෝධය දක්වමින් ජාතික ජන බලවේගය ඇතුළු පාර්ශ්ව රැසක් දිවයින පුරා විරෝධතා දැක්වීම ද ආරම්භ කර තිබේ. පොහොර ප්‍රශ්නය නිසා අස්වැන්න අඩුවීම සම්බන්ධයෙන් මේ වන විට පුරෝකතන රැසක් ඉදිරිපත් වී ඇති අතර, සිව්වැනියා ලෙස ඉවත් කරන ලද කෘෂිකරුම අමාත්‍යංශයේ ලේකම්වරයා ද පවසා තිබුණේ බරපතළ ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි. ආණ්ඩුව පත්වීමෙන් පසු එහි අත්තනෝමතික තීරණ සම්බන්ධයෙන් සංවාද කළ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරුන් සිව්දෙනෙකු මේ වන විට ඉවත් කර තිබේ.
2019 නොවැම්බර් මාසයේදී පත් කළ රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාට එම තනතුර දැරීමට හැකි වූයේ මාස නවයක කාලයක් පමණි. ඉන්පසු පැමිණි මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මාස හතකි. රෝහණ පුෂ්පකුමාර මාස තුනකි. මහාචාර්ය උදිත් ජයසිංහ මාස හයකි. පසුගිය 22දා ජනාධිපතිවරයා විසින් එම තනතුරට අලුතින් පත්කරන ලද්දේ එල්.බී.බණ්ඩාරනායක ය.
මෙම සියලු අර්බුදයන් පිළිබඳව අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ එළැඹෙන ජනවාරි මාසය ආණ්ඩුවේ ඉතිරි කාලය පිළිබඳව තීරණාත්මක වනු ඇති බවයි.

Previous articleකටානේ සභාපති එළවන්න චමල් කියයි
Next articleජවිපෙ රට පුරා උද්ඝෝෂණ මාලාව දෙසැ. 23 සහ 24

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here